ඉදිරි සති දෙක තුනේ ඉන්දියාවත් පරදවයි?
(දයාසීලි ලියනගේ)
සෞඛ්‍ය සේවයේ 6000කට අධික පිරිසක් කොරෝනා ආසාදිතයන් වී සිටීම නිසා ප්‍රධාන රෝහල්වල කටයුතු පවත්වා ගෙනයාම අසීරු වී ඇති බවත් ඉදිරි සති දෙක ඇතුළත දී මේ තත්ත්වය පසුගිය සමයේ ඉන්දියාවේ පැවැති තත්ත්වයට නොදෙවෙනි වනු ඇති බවත් වාර්තා වේ.
මේ වන විටත් රත්නපුර හා කරාපිටිය රෝහල්වල හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර හෙද පුහුණු ආයතනය වසා දමා ඇත. පේරාදෙණිය රෝහලේ 40 කට ආසන්න පිරිසකට ආසාදනය වී ඇති බව සඳහන් වේ. කළුබෝවිල හා කොළඹ මහරෝහලද හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන මට්ටම ඉක්මවා ඇතැයිද වාර්තා වේ.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් කළ විමසීමේදී උන්වහන්සේ ප්‍රකාශ කළේ හෙදියන් 1500කට අධික පිරිසක් මේ වනවිට කොරෝනා ආසාදිතව සිටින බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නලින් ද හේරත් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ රෝහල්වල තදබදය බෙහෙවින් බරපතළ කරුණක් වී ඇති බවය. අසාධ්‍ය රෝගීන් සඳහා ඔක්සිජන් අවශ්‍යතාව හා දැඩි සත්කාර ඒකකවල පහසුකම් වහාම වැඩි දියුණු කළ යුතුව ඇති බවද ඔහු කීය.
රෝහල්වල මෙතරම් තදබදයක් තිබියදී කොළඹ මහරෝහල අසල මහල් 18කින් සමන්විත ගොඩනැගිල්ල තවමත් රෝගීන් සඳහා විවෘත වී නැති බවද වාර්තා වේ.
මේ අතර රෝහල් බොහොමයක මෘත ශරීරාගාරවල ඉඩකඩ ප්‍රශ්නයක් පවතින බවද වාර්තා වේ.