හිටපු ඇමතිට මැති ඇමතින්ට ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි


ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් 
ඉකුත් සිකුරාදා ඉල්ලා අස්විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යවමින් ඒ මහතා තම ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.   
එම ලිපියේ මෙසේද සඳහන් වේ.   


මා ධුරයේ රාජකාරි බාරගත් දිනයේ සිට ජනාධිපතිතුමන් ලෙස ඔබතුමාගේ ආශිර්වාදය නිබඳව මා හට ලැබුණ නමුදු, මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අයත් විෂය පථය බාරව සිටි වගකිවයුතු අමාත්‍යවරයාගේ හෝ මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහාය මා වෙත නිසියාකාරව ​නොලැබුණු බව කනගාටුවෙන් වුව ද ප්‍රකාශ කරමි. කෙසේ නමුත් අභිනවයෙන් පත්වූ විෂයභාර අමාත්‍යතුමා සහ රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රමුඛ මූල්‍ය ක්ෂේත්‍රයට නායකත්වය ලබාදෙන නව කණ්ඩායම් මෙම කෙටි කාලය තුළදී ලබාදුන් සහ​යෝගය පිළිබඳව කෘතඥ වෙමි.  


බහුතරයක් ආණ්ඩු පාර්ශවය නියෝජනය කරන මැති ඇමැතිවරුන් සිදුකර සිටියේ මෙම අර්බුදය මැඩ පවත්වා ගැනීමට සහාය ලබාදීම වෙනුවට විවිධ සාවද්‍ය ප්‍රචාරණ සිදුකරමින් මෙම අර්බුදය තව තවත් උත්සන්න කිරීමට උත්සාහ කිරීමයි. එයට හේතුව වන්නේ මුල සිටම මාගේ ප්‍රතිපත්තියේ රැඳෙමින් දූෂණ අක්‍රමිකතාවන්ට කිසිදු සහායක් ලබා නොදීම ද යන්න වග මා ඉදිරියේ ඇති ප්‍රශ්නාර්ථයකි. ඔවුන්ගේ එම ප්‍රයත්න සියල්ල ඉවසීමෙන් දරා සිටිමින් මාගේ වගකීම මෙතෙක් දුරට ඉටු කිරීමට මා තීරණය කර සිටියේ වෘත්තිකයෙකු ලෙස ඔබතුමාගේ රජය හා සම්බන්ධ වෙමින් දූෂණ අක්‍රමිකතාවලින් හෙබි රාජ්‍ය යාන්ත්‍රණය තුළ අදූෂිකත්වය වෙනුවෙන් ක්‍රියාකාරීව යම් දෙයක් හෝ කිරීමට මාගේ තිබූ දැක්ම මතය. මෙම පටු දේශපාලනික තත්ත්වය සමාගමට පමණක් නොව අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි ද බලපවත්නා බව මාගේ හැඟීමයි.   


මේ සියලු කාරණා පිළිබඳව සලකා බලා, ගෑස් අර්බුදය සහ ඉන් ඔබ්බට ගොස් වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධව මා තුළ පවත්නා ප්‍රතිපත්තිමය කරුණු කාරණා මත 2022 අප්‍රේල් 14 වන දින සිට සභාපතිධුරයෙන් මා ඉල්ලා අස්වන බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි.