ඇමැතිධුරයක් භාරගත් හරින් කියයි
(දයාසීලි ලියනගේ)
‘ගෝඨා ගෝ හෝම්’ යන්න තමා තව දුරටත් විශ්වාස කරන නිසා අමාත්‍ය ධුරයක් භාරගනිද්දී ජනපතිගේ මුහුණවත් නොබැලූ බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
සමගි ජන බලවේගය මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සංචාරක හා ඉඩම් ඇමැතිවරයා ලෙසටත්, මනුෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා ඇමති ලෙසටත් පසුගිය සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර හරීන් ප්‍රනාන්දු මහතා මෙම අදහස පළ කළේ ඉන් අනතුරුවය.
රටට අවශ්‍ය පක්ෂ දේශපාලනයක් ද අර්බුදවලට විසඳුමක් ද යන්න කල්පනාකර ගතයුතු තීරණයක් ලෙස සළකා ඇමැති පත්වීම් ලබා ගත් බව පැවැසූ හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගෙන් අමාත්‍යධුරය බාර ගැනීමේ දී පිළිකුලක් හා කැතක් දැනුන බව ද සඳහන් කරයි.
අමාත්‍යධුර භාර ගත්තත් සමගි ජන බලවේගය අතහැර නොමැති බවත් තමන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වුවත් සජබය සමග අමනාපයක් ඇතිකර නොගන්නා බවත් ඒ මහතා සඳහන් කරයි.
ආණ්ඩුවේ කටයුතුවලට බැසිල් රාජපක්ෂ මහතා බාධා කළහොත් තමා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව ද හරීන් ප්‍රනාන්දු මහතා මෙහි දී කීවේය.