‘තෙල් නොලැබුණහොත් මැතිසබයට එන්නේ නෑ’ මන්ත්‍රීවරුන්ගෙන් ​කතානායකට පැමිණිල්ලක්


සුජිත් හේවාජුලිගේ

ඉන්ධන ලබා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් නොයෙදුව හොත් පාර්ලිමේන්තු රැස්වීම්වලට ඉදිරි දිනවල සහභාගි නොවන බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී ඇත. ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් කතානායකවරයාට මෙසේ පැමිණිලි කර ඇති මන්ත්‍රීවරුන් අතර වැඩි පිරිසක් උතුරු නැගෙනහිර ඇතුළු ඈත දුර බැහැර ප්‍රදේශවල අය වෙති.

මේ අතර ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පසුගිය පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වූයේ නැත.  


සමහර මන්ත්‍රීවරුන් සහභාගි වූයේ එක රැස්වීමකට හෝ දෙකකට පමණි.  


අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා තීරණාත්මක ඡන්ද විමසීමක් ලබන සතියේ පැවැත්වීමට නියමිත අතර මේ සඳහා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය වැදගත් වෙයි.  


මේ අනුව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන ලෙස කතානායකවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි දැනගන්නට ඇත.