“ඉටුකම” අරමුදලේ සල්ලි සෞඛ්‍ය සේවයට ඉල්ලයි


(පද්මිණි මාතරගේ)   

රටේ මේ මොහොතේ බරපතල අර්බුදයකට ලක්ව ඇති සෞඛ්‍ය සේවාව බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යාමට සෞඛ්‍ය ආරක්ෂක හා සමාජ ආරක්ෂක අරමුදලක් ලෙස පිහිටුවා ඇති ‘ඉටුකම’ අරමුදල යටතේ තැන්පත්ව ඇති රුපියල් බිලියන 2ක මුදල සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලබාදෙන ලෙස, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහ බැංකු අධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.  

කොවිඩ් වසංගත තත්ත්වය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යාමට මෙම අරමුදල පිහිටුවා තිබිණ.   


එම අරමුදල සතුව මේ වනවිට රුපියල් බිලියන 02ක මුදලක් ඇති බව එම අරමුදලේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති බවත් එම වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.   
එම ඉටුකම අරමුදලේ ප්‍රධාන පරමාර්ථය ලෙස දක්වා ඇත්තේ සෞඛ්‍ය සේවාව බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යාම ය.   


මේ මොහොතේ සෞඛ්‍ය ප්‍රතිපාදනවල බරපතල ප්‍රශ්නයක් තිබෙන බවත්, එය සැලකිල්ලට ගනිමින් අදාළ එම රුපියල් බිලියන 2ක මුදල සෞඛ්‍ය සේවාව බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යාම සඳහා අදාළ ඉල්ලීම මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගෙන් ලිඛිතව කරනු ලැබූ බවත් ඒ මහතා කීය.   
එම අරමුදල මහ බැංකු අධිපතිවරයා යටතේ පවතින අතර ඔහු එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබයි.