දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ......
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ......
ඒ උතුම් මව් පදවිය පිළිබඳව විශාරද ගුණදාස කපුගේ ගැයූ ඉතාමත් හෘදයාංගම ගීයක පදවැලකින් බිඳකි. එවන් මහා කරුණා ගුණයෙන් හෙබි මව්වරු සැබවින්ම මතු බුදුවන්නට තරම් සුදුසුකම් ලබති. දසමසක් කුසදරා දරුවන් බිහිකර ගත රුහිරු කිරි කර පොවන, නේක දුක් වළඳන මෙවන් උතුම් මව්වරු අතරේ වසර 99ක් තරම් දිගු කලක් දීර්ඝායු වළඳමින් දිවිගෙවන සොඳුරු මවක් අපට මුණ ගැසුණේ නෙළුව ඇඹලේගෙදර උතුර ගම්මානයෙනි.
ඇය තවමත් ඇගේ සියලු කර්තව්‍යයන් කිසිවකුගේ හව්හරණක් නොමැතිව ඉටුකරන්නීය. වත්තේ තේ දළු නෙළන්නීය. උපැස් යුවළක් පවා නොමැතිව පොතක් පත්තරයක් කියවන්නීය. ඇය සැබවින්ම ගමේ කාගේත් නොමඳ ආදරයට පාත්‍රවෙමින් සැමගේ ආදරය මැද යෙහෙන් දිවිගෙවන්නීය. ඇය දරුවන් පස් දෙනෙකු මෙලොවට බිහි කළ මවක් සේම මුනුපුරන්, මිනිපිරියන් 31 දෙනෙකුගේ මිත්තණියකි.
තවලම ගමගේ ලීලාවතී මෙලොව එළිය දුටුවේ 1918 ජූලි මස 15 වැනිදා හිනිදුම්පත්තුවේ ඕපාත ඇල්ගිරිය ගෙදරදීය. ඒ දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක සිව්වනියා ලෙසිනි. අපි ඇයව අතීතාවර්ජනයකට රැගෙන ගියෙමු.
“මම ඉපදුණේ හිනිදුම ඕපාත ඇල්ගිරිය ගෙදරගමේ 1918 ජුලි 7 වැනිදා. මගේ පවුලේ හය දෙනයි. අයියලා දෙන්නයි, මල්ලියි, නංගිලා දෙන්නයි. මම පවුලේ හතරවැනියා. මගේ තාත්තා පීටර්. එයා කළේ වී ගොවිතැනයි. පස්සෙ අක්කර කාලක විතර රබර් වැව්වා. මම ඕපාත ඉස්කෝලේ හයේ පන්තියට යනකම් ගියා. ඒ කාලයේ අපේ පන්තියේ හිටියේ ළමයි හතර දෙනයි. එතනින් ළමයි තුන්දෙනෙක් හිටපු ගමන් ඉස්කෝලේ එන එක නැවැත්තුවා. ඒක නිසා මම විතරයි පන්තියේ ඉතුරු වුණේ. පස්සෙ මමත් පාසල් ගමන නැවැත්තුවා. මට උගන්වපු ගුරුතුමිය තැන්නේගෙදර ඉස්කෝලෙහාමිනේ. එයා අපට හරිම කරුණාවෙන් ඉගැන් වූවා.”
පාසල් ගමන අඩාළ වුණු ලීලාවතී ගෙදර නතරවී අම්මාගේ තාත්තාගේ වැඩපිළවලට උදව් වූවාය. සෙමෙන් සෙමෙන් තුරුණු වියට පියනගද්දී වැඩි කල් නොයාම ඇගේ පියා ඇයට විවාහ යෝජනාවක් රැගෙන ආවේය.
“අපේ තාත්තාගේ යාළුවෙක් ගෙනාපු විවාහ යෝජනාවකින් මම 1940 ජනවාරි මාසෙ 16 වැනිදා අැඹලේගෙදර ගමේ එදිරිසිංහ පීටර් මහත්තයත් එක්ක විවාහ වුණා. මගේ මහත්තයා මාව බලන්න ආව දවසේ එහෙම්ම අපේ ගෙදර නතර වුණා. ඊට පහු වෙනිදා එයා මාව එයාගේ ඇඹලේගෙදර ගෙදරට එක්කගෙන ගියා. එදා ඕපාත ඉඳලා සැතපුම් 8ක් පයින් ඇවිත් තවලම ඉඳලා තිරක්කලෙන් තමයි නෙළුවට ආවේ. අෙප් මහත්තයාගේ ගෙදරට යන්න තිරිකලෙන් බැහැලා ඔරුවකින් ගිංගඟෙන් එගොඩවෙලා තමයි ගියේ. උදේ 8.00ට ඕපාතින් පිටත්වුණු අපි දෙන්නා ගෙදරට එනකොට හවස 4.00-500 විතර වුණා.”
“එදා මම මේ ගමට එනකොට ගමේ ගෙවල් 10යි තිබුණේ. මේ පැත්ත පළාතක කඩයක් තිබුණේ නැහැ. අපේ මහත්තයා උදේ පාන්දරම හිනිදුම කඩේට ගිහින් මාසෙකට කන්න බඩු එකපාර ගෙනත් දානවා.”
ඇගේ කල්පනාව, මතකය තවමත් ඉතාමත් යහපත්ය. තවමත් ඉතා ප්‍රියමානාප බවකින් යුත් ඇයගේ සොඳුරු අතීතය ගැන තවත් බොහෝ දේ ඇය අප සමග පැවසුවාය.
“එදා අපිට ආදායම් මාර්ගයක් විදියට රබර් අක්කර කාලක් තිබුණා. ඒක තමයි ආදායම් මාර්ගය වුණේ. අපිට ජීවත් වෙන්න ටිකක් අමාරු වුණත් අපි හරි සන්තෝසෙන් ජීවත් වුණා. රබර් කිලෝවක් එදා වික්කේ රුපියල් දෙකකට. ඒකාලයේ නෙළුව නගරයටම තිබුෙණ් කඩ දෙකයි.”
“මමත් මහත්තයත් ජීවත් වුණේ පහළොස් රියන් මැටි ගෙදරක. ගෙදර බැඳපු එක ගලක් දෙන්නෙකුට උස්සන්න බෑ. ඒත් ගේ හදන්න අහල පහල අය උදව් කළා. නවසිය හැත්තෑ ගණන්වල හාල් පොලු, මිරිස් පොලු ආපු කාලෙ අපි පුදුම දුකක් වින්ඳා. වත්තෙ පුළු පුළුවන් විදියට මොන මොනාහරි හිටෝ ගත්තා. දවසට එකවේලයි බත් උයාගෙන කෑවේ.”
අපිට දරුවො පස් දෙනෙක් හිටියා. පුතාලා දෙන්නයි. දුවලා තුන්දෙනයි. අද වෙනකොට මම ඒ දරුවන්ගෙත් දරු මුනුපුරෝ මිනිපිරියෝ 31 දෙනෙක්ගේ මිත්තණියක්. ලොකුම මුනුපුරාගේ පුතාටත් වයස අවුරුදු 45ක් වෙනවා. මගේ පවුලේ ඉතිරි වෙලා ඉන්නේ නංගිලා දෙන්නා විතරයි. එක්කෙනෙකුට වයස අවුරුදු 93යි. අනෙක් නංගිට වයස අවුරුදු 87යි.
අද වෙන විටත් ඇගේ සියලු දරු මුනුපුරන්ගේ නිබඳ ආදරය, සෙනෙහස ඇය විඳින්නීය. ජීවිතයේ සැඳෑ සුවය රිසි සේ විඳගන්නා ඇගේ සියලු වැඩකටයුතු කරගන්නට තරම් සවිබල ඇය සතුය. හිමිදිරි පාන්දර 5.00ට අවදිවෙන ඇය තම ගෙවත්තේ තේ දලු නෙළන්නට තරම් තවමත් ශක්ති සම්පන්නය. යහපත් කායික හා මානසික ශක්තියෙන් හෙබි ඇය උපැස් යුවළක් භාවිත නොකර පුවත් පත් කියවන්නීය. ඇගේ නිවෙස අසලින් ගලාබසින ගිංඟගට ගොස් දිය නාගන්නා ඇයට පන් පැදුරු වියන්නට හා කැවිලි පෙවිලි සකසන්නටද හැකියාව ඇත්තීය. ඊට අමතරව කැත්තේ උදැල්ලේ වැඩකටයුතුවලට පවා අද ද ඇය සමත්කම් දක්වන්නීය. හතර පෝයටම නිවෙසේ සිල් සමාදම් වන අැය තවමත් තම නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වල උත්සව අවස්ථාවන්වලට පවා සහභාගී වීමට අමතක නොකරන්නීය.
බත්, කිරිහොදි සහ පලා මැල්ලුම් නිතර නිතර ආහාරයට ගැනීමට ඇය රුචියක් දක්වන අතර නීරෝගී සුවයට හොඳ ආහාර රටාවකට හුරුවීමට අත්‍යවශ්‍ය බවද ඇගේ මතයයි.
ඇගේ 99 වැනි උපන් දිනයේදී පසුගිය 15 වැනිදා ඇගේ සියලු දරුවන් හා මිනිපිරි, මුනුපුරන් එකතුවී දානමය පුණ්‍යකර්මයක් පවත්වා ඇයට දිගාසිරි පතා අැත. සැබැවින්ම ඔවුන්ගේ නිබඳ සෙනෙහස ලබමින් ඉතා වාසනාවන්ත දිවියක් ගතකරන බව තවලම ගමගේ ලීලාවතී මෑණියන් අප හා පැවසුවේ උතුරා යන සතුටක් සිත්හි දරාගෙනය. අපි ඇයට තිර ජීවනය පතමු.
සටහන
දුෂ්‍යන්ත කුමාර
නෙළුව පියරත්න ජයවික්‍රම