උඩට මිස පහළට නොයමු


ඉන්දියාව සමඟ පැවති පළමු එක්දින තරගය අතිශය දුර්වල ලෙස පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සටහන ලියැවෙන බ්‍රහස්පතින්දා දිනයේ දී දෙවැනි එක්දින තරගයට මුහුණ දෙයි. දඹුල්ලේ පැවති පළමු තරගය පරාජය වූ ආකාරය දුර්වල කණ්ඩායමක ලක්ෂණ කියාපෑවේය. ධනුෂ්ක සහ දික්වැල්ල පසුගිය තරග කිහිපයේ දී සිදු කළ ආකාරයෙන් හොඳ ආරම්භයක් ලබා දුන්නද එම ආරම්භය ඉදිරියට ගෙන යෑමට මැදපෙළට හැකි වූයේ නැත.

අනෙක් අතින් අවශ්‍යම මොහොතේ ලැබුණු උඩපන්දු ද අතහැරුණි. ඒවා ඇල්ලුවා කියා තරගය ජයගන්නට බැරි වුවද සටනක් දුන්නා යන ජවය ගැනීමට තිබුණි. එතැනට කණ්ඩායම පැමිණියේද නැත. මේ නිසා බොහෝ දෙනා කණ්ඩායම සම්බන්ධයෙන් බලාපොරොත්තු කඩකර ගත්හ.   


එහෙත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ක්‍රීඩා පිටියට ද පැන එයින් පසු කණ්ඩායම් දෙක ගමන් ගන්නා බස් රථවලට ද යන්නට නොදී විරෝධය පළ කිරීම අනුමත කළ නොහැකි තත්ත්වයකි. මෙය දුර්වල ප්‍රේක්ෂකයන්ගේ තත්ත්වයයි. එය සිදු නොවිය යුත්තකි. තිලංග සුමතිපාල ඉලක්කකරගෙන එහිදී ඇසුණු ඇතැම් සටන් පාඨ නිසා මෙය ඇතැම්විට ඔහුට විරුද්ධ පිරිසගේ කාර්යයක් දැයි සිතේ.

එය එසේ වූවා නම් බොර දියේ මාළු බෑමක් සිදුවන්නට යන බව පෙනේ. අප පසුගිය සතියේදීද කතා බහ කළ කණ්ඩායම මෙවැනි තත්ත්වයකට පත්වෙද්දී සිදුවිය හැකි අනතුරු ගැනය. එය දඹුල්ලේදී දැක ගත හැකි විය. මතක තබා ගත යුත්තේ ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් යනු ආගමක් නොවේ. ක්‍රීඩකයන් යනු දේව දූතයන් නොවේ. අප ඉන්දියනු ප්‍රේක්ෂකයාට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින පිරිසකි. මේ නිසා අප මතක තබා ගත යුත්තේ අපේ කණ්ඩායම ඉන්දියාවේ කණ්ඩායමේ මට්ටමට වර්ධනය විය යුතු වුවත් අපේ ප්‍රේක්ෂකයන් ඉන්දියානු ප්‍රේක්ෂකයාගේ තත්ත්වයට පහළට වැටිය යුතු නැති බවයි.  


මේ ප්‍රතිචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද වගකීමක් තිබේ. එසේ කියන්නේ ‍වන් ටීම් වන් නේෂන් කියමින් ශ්‍රී ලාංකිකත්වයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් කර බලාපොරොත්තුවක් නැති මිනිසුන්ගේ එකම පැතුම ක්‍රිකට් බවට පත් කිරීමට ඔවුන් පසුගිය කාලයේ ගෙන ගිය ප්‍රචාරණ ක්‍රමවේදය දෙස බලමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ප්‍රචාරණයක් අවශ්‍ය නැත. මිලියන 22 ක රටේ ජනතාවට ෆේස් බුක් ප්‍රොෆයිල් පින්තූරය රාමු කරගත්තා කියා වැඩක් නැත. වඩාත් වටින්නේ ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරීමයි. එවිට ජනතාව තමන්ට කැමති ආකාරයෙන් කණ්ඩායමට සහයෝගය පළ කරන්නට පටන් ගනියි.

පසුගිය සමයේ සිදුවන්නේ එයට හාත්පසින්ම වෙනස් දෙයකි. කණ්ඩායම දුර්වල වෙද්දී කණ්ඩායම වෙත ප්‍රේක්ෂකයන් බැඳ ගැනීමට අලෙවි උපක්‍රම යොදයි. ගීත නිර්මාණය කරයි. ක්‍රිකට් ආගමක් කරන්නට හදයි. ඒ හරහා ක්‍රිකට් සමග සිටින පිරිස වැඩි කිරීමට උත්සාහ කරයි. එහෙත් බාල බඩු අලෙවි කළ විට සිදුවන්නේ පාරිභෝගිකයා කෝප වීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදුවී ඇත්තේද එයයි. අප කියන්නේ අලෙවිකරණ ක්‍රම යොදාගෙන ක්‍රිකට් අලෙවි කරන්නට නොගොස් ක්‍රිකට් කණ්ඩායමේ ඇති දක්ෂතාවය මත එයට අලෙවි වීමට ඉඩ හරින ලෙසයි.

මෙය ගෞරවණීය ආයාචනයක් වන්නේ මෙසේ ගියහොත් සියල්ලම සල්ලි බවට තීරණයවී ක්‍රීඩකයන්ගේ එකම අරමුණ ක්‍රීඩා කිරීම නොව සංචිතයේ ඉඩක් වෙන්කර ගැනීම පමණක් වන තැනට කටයුතු යෙදෙන බැවිණි. සනත් ජයසූරිය පසුගිය දා දෙරණ නාලිකාවේ සාකච්ඡාවකට සහභාගී වෙමින් නිරන්තරයෙන් කිව්වේ, ‍හොඳ ක්‍රිකට් ගසන්නට අවශ්‍ය බවයි. හොඳ ක්‍රිකට් ගසන්නට අවශ්‍ය වුවමනාව ක්‍රීඩකයන්ට තිබේද යන්න අපට ගැටලුවකි. සනත් කියූ එක් දෙයක් මතකයේ තබා ගත යුතුය. පා දඟ පන්දු යැවිය හැකි පිට දඟ පන්දු යැවිය හැකිය. පිතිකරුවන් කිහිපදෙනෙකු කණ්ඩායමේ සිටින බව ඔහු කියයි. එහෙත් මේ අය පුහුණු විය යුත්තේ තරගය පැවැත්වෙන දා උදෑසන නොව පුහුණුවීම් වලදී බව සනත් පෙන්වා දුන්නේය.

එය කැපවීම සම්බන්ධ කතාවකි. මේ කතාව කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති නොව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 445 ක් ද ටෙස්ට් තරග 110 ක් ද ක්‍රීඩා කළ එක්දින සහ ටෙස්ට් ලකුණු 20,000 කට වඩා රැස් කළ එම අංශවලදී කඩුලු 431 ක් දවා ගත් සනත් ජයසූරිය ය. ඔහු කියනා දෙය හෝ සිතන්නට ක්‍රීඩකයන් යොමු කරවීම කළමනාකාරීත්වයේ වගකීමයි. මෙය කිසිසේත්ම ක්‍රීඩකයන්ගේ වරදක් නොවේ. කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ ඇති වී ඇති ආකල්පයයි. මේ තරුණ ක්‍රීඩකයන් ඉක්මනින් දියුණු වෙනවා එතෙක් ඉවසන්න යැයි නික් පෝතාස් කිව්වේ ගෙවී ගිය බදාදාය. එය පෝතාස් කියන්නට අවශ්‍ය නැත. ක්‍රිකට් ගැන දන්නා මේ රටේ මිනිස්සු එය දනිති. තරුණ ක්‍රීඩකයන් රොත්තක් එක විට කණ්ඩායමට පැමිණි විට මෙය සිදුවෙයි. ඔවුන් පරාජය ලබමින් අත්දැකීම් ලබමින් දියුණු වනු ඇත. මෙය අතිශය සරළ සමීකරණයකි. දැන් අපට සිදුව ඇති ප්‍රශ්නය අත්දැකීම් ඇති ක්‍රීඩකයන් ද තරුණයන් සමග අසාර්ථක වීමයි.   


පන්දු යවන්නන් දුර්වලවීම සහ ආබාධවලට ලක්වීම ද ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රශ්නයකි. ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර උපරිමයෙන් ක්‍රීඩා කරන සමයේ මෙවැනි ගැටලුවක් තිබුණේ නැත. මේ ගැටලුව බොහෝවිට එන්නේ පළමුව පන්දුවට පහරදුන් විටය. උදාහරණයක් ලෙස පසුගිය වසර දෙකක කාලයේදී එක්දින තරග 23 කදී පළමුව පන්දුවට පහරදී ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 15 ක්ම පරාජයවී තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරගය 1 ලකුණකින් ජයගෙන ඇති අතර අනෙක් ජයග්‍රහණ අයර්ලන්තය සමඟ 2ක් සහ ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය සමග එක් තරගයක් ලෙසින් සටහන් වෙයි.

ඔස්ට්‍රේලියාව සමග තරග ජයග්‍රහණය උපරිම දඟ කැවෙන තණතිලිවල ලැබූ ජයක් බව අමතක කළ යුතු නැත. මේ ආකාරයේ ලකුණු රැක ගැනීමට නොහැක්කේ පන්දු යැවීමේ දුර්වලතාවය නිසා. පසුගිය සමයේ මාලිංග ක්‍රීඩා කළේ නැත. නුවන්ගේ රිද්මය සම්පූර්ණයෙන් ගිලිහුණි. නුවන් ප්‍රදීප් සහ ලක්මාල් නිරන්තර ආබාධයන්ට ගොදුරු වෙති. ධම්මික ප්‍රසාද්ට වූයේද එයයි. හේරත් එක්දින තරගවලින් සමුගත්තේය. සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කළ පසු ඔහුගේ රිද්මය ගිලිහුණි. මේ සියල්ල සිදුවිය. අනෙක් අතින් මාලිංග නැවත පැමිණියද ඔහුට විශ්වාසයක් ඇති කිරීමට පන්දු රකින්නෝ අසමත් වූහ. හොඳින් බැලුවහොත් පන්දු රකින්නන් වැඩි වශයෙන් අත්හැර ඇත්තේ මාලිංගගේ පන්දු ඉදිරියේ පැමිණි උඩ පන්දුය.   


මේ සියල්ල අස්සේ වාසනාවද ශ්‍රී ලංකාවට නැත. පළමු තරගයේ දී රෝහිත් ෂර්මා ඔහුගේ අවාසනාවට දුවද්දී දැවී යද්දී ඉන්දියාව ඉදිරියේ වාසනාව කැරකේදැයි අපට සිතුණි. නමුත් එය තනි සිදුවීමක් විය. ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරග 3 දීම ශ්‍රී ලංකාව කාසියේ වාසිය පරාජයට පත්විය. එය තරගයේ තීරණයට බලපෑම් නොකළද ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවයන්ට බලපෑම් කළේය. පළමු එක්දින තරගයේ දී ද එය එසේමය. එසේ කියන්නේ වර්තමාන ප්‍රවණතාව යනු හඹා යෑම වීම නිසාය. මේ නිසා මේ සටහන ලියැවෙන දිනයේ පැවැත්වෙන දෙවැනි තරගයේ දී හෝ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවීමට ලැබෙන්නේ නම් වැදගත්ය.

එහෙත් එය පාලනය කළ නොහැකි තත්ත්වයකි. පාලනය කළ හැකි තත්ත්වය වන්නේ උඩ පන්දු රැක ගැනීම හා ලකුණු කපා හැරීමයි. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන් පන්දු යවන අවස්ථාවේ දී මිඩ් විකට් සහ එක්ස්ට්‍රා කවර්ස් ක්‍රීඩකයා පිතිකරු ලෝන් ඕන් සහ ලෝන් ඕෆ් දෙසට පන්දුව යොමුකර ලබා ගන්නා එක ලකුණ කපා දැමීමේ රුසියෙකු විය යුතුය. ධනුෂ්ක ගුණතිලක සහ චාමර කපුගෙදර දඟ පන්දු යවන්නන් හමුවේ ඒ ස්ථාන දෙකේ පන්දු රැකිය යුත්තේ එහෙයිනි. උපුල් නායකයා වූවාට කම් නැත. ඔහු තමන්ට හොඳින්ම පන්දු රැකිය හැකි ලෝන් ඕන් ඕෆ් කලාපවල සිටින්නේ නම් එය කණ්ඩායම වශයෙන් වැදගත්ය. අඩුම තරමින් පසුගිය එක්දින තරග අධ්‍යයනය කර දඟ පන්දු යවන්නන්ට පීඩනය ගෙන ඒමට බැරි වූයේ එක ලකුණ පහසුවෙන් ලැබීම නිසා නොවේදැයි යන්න හෝ අධ්‍යනය කළ යුතුය. එසේ කරමින් ජයග්‍රහණයක් ගැන සිතිය යුතුය.

එවිට ගෞරවාන්විත පරාජයක් හෝ ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ විශ්වාස කළ හැකි තරගයකි. ජය ගත්තත් පරාජය වූවත් තමන්ගේ ක්‍රීඩකයන් තරගයක් දුන්නා යැයි හැඟේ නම් එය අපට සෑහේ.   
ක්‍රිකට් ගැන එසේ ලියා අවසානයේ තවත් දෙයක් ලියා සටහන අවසන් කළ යුතුය. දඹුල්ලේ තරගය අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධයක් ඇති වෙබ් රේඩියෝවක නිවේදකයෙකු තරුණ මාධ්‍යවේදීන් පිරිසකට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනේය. ඔහු බනින්නේ තරුණ මාධ්‍යවේදීන් මුදලට පෑන හසුරුවන්නේ යැයි කියමිනි. එයට හේතුව මේ මාධ්‍යවේදීන් ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා නිරන්තරයෙන් හෙළි කිරීමයි.

ඔහු නොදන්නවා වූවාට මීට පෙර සිටි නිලධාරීන්ගේ අක්‍රමිකතා වැඩියෙන්ම හෙළි කළේද මේ මාධ්‍යවේදීන්මය. මේ වෙබ් රේඩියෝව පාලනය කරන ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු මේ නිවේදකයා බැණවැදුනු මාධ්‍යවේදීන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සමාව ඉල්ලා සිටියේය. මුදලට පෑන හසුරුවන්නේ යැයි තරුණ මාධ්‍යවේදීන්ට සත්‍යය නොදැන අසභ්‍ය වචනයෙන් බණින්නට පෙර තමන් දෙසම හොඳින් බලන්නට යැයි අපි වෙබ් රේඩියෝ නිවේදකයාට මතක් කර සිටීමට කැමැත්තෙමු.

 

 

 

කාංචන දසනායක