කන්දක් උසට අල්ලපු මත්කුඩු කෝ?


මත්ද්‍රව්‍ය ලෝකයේ මහත්වරුන් පානය කරන මත් ද්‍රව්‍යයක් ලෙස සැලකෙන්නේ කොකේන්ය.  
කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් වෙළෙඳපොළේ පවතින අන් මත්ද්‍රව්‍යවලට වඩා බෙහෙවින්ම ඉහළ වටිනා කමක් ඇති නිසා එය සාමාන්‍ය කෙනෙකුට මිලදී ගැනීමට හැකියාවක් නොමැත. මෙය ධනකුවේරයන්ගේ පානයක් ලෙස සැලකෙන්නේ ඒ නිසාය. 

කොකා ශාකයේ පත්‍ර කොටා මිරිකා ගත් යුෂ මිදෙන්නට තබා ඉන්පසු කොකේන් මත් ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබයි. ඉතාම තිත්ත රසයකින් යුතු කොකේන් වගා කිරීම බහුල වශයෙන් සිදුකරනු ලබන්නේ බ්‍රසීලය, බොලීවියාව හා කොලොම්බියාව ආදී දකුණු ඇමෙරිකානු රටවලය.   


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පළපුරුදු නිලධාරියෙක් පැවසූ ආකාරයට කොකේන් වැරදි විදියට භාවිතයට ගැනීම ආරම්භ කර ඇත්තේ 1970 දශකයේ සිට යැයි කියති. එතෙක් මෙය මුලින්ම භාවිතයට ගෙන ඇත්තේ වෛද්‍ය කටයුතු සඳහාය. විශේෂයෙන් නිර්වින්දන කටයුතු සඳහා වැඩි වශයෙන් කොකේන් භාවිතයට ගෙන ඇතැයි පැවසේ.  


වරින්වර කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් ගණනන් මෙරටදී අල්ලාගෙන ඇතත් කොකේන් කිලෝ 800 ක පමණ තොගයක් ඉක්වදෝරයේ සිට කොළඹ වරායට පැමිණ තිබූ තේක්ක කොට ප්‍රවාහනය කරමින් තිබූ නැවක තිබී සොයාගනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 9 වැනිදාය.  මෙතෙක් ශ්‍රී ලංකාවෙන් පමණක් නොව දකුණු ආසියාවෙන්ම අත්අඩංගුවට ගත් විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය මෙය විය. මෙම කොකේන් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 1200 කි.  


මෙම කොකේන් තොගය සොයාගනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරක් මත එහි එවකට අධ්‍යක්ෂවරයාව සිටි නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ ගිය පොලිස් කණ්ඩායමක් විසිනි.  
ශ්‍රී ලංකාවෙන් සොයාගත් විශාලතම දෙවැනි කොකේන් තොගය වූ කිලෝ 200 ක පමණ තොගය සොයාගනු ලැබුවේ ඒ වසරේම නොවැම්බර් මාසයේ 24 වැනිදාය. මෙම කොකේන් තොගය සොයා ගත්තේ මෙරටට බ්‍රසීලයේ සිට ගෙන්වා තිබූ සීනි තොගයක් සහිත කන්ටේනරයක් තුළ සඟවා ගෙනය. ඔරුගොඩවත්තේ ආර්.සී.ටී. රේගු අංගණයේදී මෙම සැකකටයුතු කන්ටේනරය කඩා පරික්ෂා කර බැලීමේදී කොකේන් තොගය සොයාගනු ලැබුවේ ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්ය.  


මෙම සීනි තොගය සහිත කන්​ෙට්නරය රැගත් නැව බ්‍රසීලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ පෘතුගාලය හරහාය. කොකේන් තොගය තිබූ සීනි කන්ටේනරය මෙරටට ගෙන්වූ සීනි ව්‍යාපාරිකයාගෙන් හා වාප්පු ලිපිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කළත් ඔවුන් පොලිසියට පවසා තිබුණේ තමන් මේ ගැන කිසිවක් කීමට නොදන්නා බවය. පිටකොටුවේ ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවකු විසින් මෙම සීනි තොගය සහිත කන්ටේනරය මෙරටට ගෙන්වනු ලැබ තිබිණ.  මෙම කොකේන් තොගය සොයා ගෙන තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ 24 වැනිදාය.  


මෙම කොකේන් තොගය සොයාගනු ලැබුවේද එවකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ ගිය එම කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි.  


මේ අවස්ථා දෙකට කලින් මුල්වරට කොකේන් කිලෝ 80 ක පමණ තොගයක් මුල්වරට සොයා ගත්තේ වරායෙන් පිටතට ගෙන ගොස් වැල්ලම්පිටියේ කන්ටේනර් අංගණයක ගාල්කර තිබියදීය. කොකේන් කිලෝ 80 ක පමණ තොගය ද සඟවා තිබුණේ  බ්‍රසීලයේ සිට මෙරට​ට ගෙන්වා තිබූ සීනි තොගයක් සහිත කන්ටේනරයකය.  


මෙම කොකේන් තොගය සොයාගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂක කේ.ඒ. ප්‍රේමලාල් මහතාට ලැබුණු ඔත්තුවක් අනුව කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි. කොකේන් කිලෝ 80ක පමණ තොගයක් මෙරටදී මුල්වරට සොයා ගත්තේද 2016 වසරේ ජුනි මාසයේ දිනකය.  


වසර 25 ක පමණ කාලයක් තිස්සේ මෙරටට බ්‍රසීලයේ සිට සීනි තොග වශයෙන් ගෙන්වීමේ නිරතව සිටි පිටකොටුවේ කෝටිපති ව්‍යාපාරිකයෙක් මෙම කොකේන් සඟවා තිබියදී සොයාගත් මෙම කන්ටේනරය ද මෙරටට ගෙන්වා තිබිණි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙම කෝටිපති ව්‍යාපාරිකයා සම්බන්ධව කරන ලද දීර්ඝ හා පුළුල් විමර්ශනයකදී ද අනාවරණය වූයේ සීනි කන්ටේනරය අස්සේ සඟවා කොකේන් කිලෝ 80 ක පමණ තොගයක් ගෙන ඒමට මොහුගේ කිසිම සම්බන්ධතාවක් නොමැති බවය.  


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් තවත් කොකේන් කිලෝ 301 ක පමණ තොගයක් සොයා ගත්තේ පෑලියගොඩ අංගණයක ගාල්කර තිබූ බ්‍රසීලයෙන් ගෙන්වා තිබූ සීනි කන්ටේනරයක සඟවා තිබියදීය.

 
මෙම කොකේන් තොගය සොයාගනු ලැබුවේද ඒ වසරේම ජූලි මාසයේය. එහෙත් මෙම කොකේන් තොගය මෙරටට ගෙන ඒමට ඍජුවම සම්බන්ධ වූ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හෝ ඔවුන් ගැන තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකිවිණි යැයි පැවසුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකි.  


අවස්ථා ගණනාවකදීම බ්‍රසීලයේ සිට සීනි ගෙන්වූ කන්​ෙට්නර් තුළ සඟවා තිබූ කොකේන් තොග වශයෙන් සොයාගත් නමුත් රාජ්‍ය ආයතනයක් වූ සතොස වෙත සීනි තොගයක් ගෙන්වා තිබූ කන්ටේනරයක් තුළ සඟවා තිබූ කොකේන් කිලෝ ග්‍රෑම් 218 ග්‍රෑම් 600 ක පමණ තොගයක් සොයාගනු ලැබුවේ ප්‍රථම වරටය.  


පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකුගේ මාර්ගයෙන් මෙම සීනි තොගය ගෙන්වා ගත් සතොස එම සීනි තොගය සහිත කන්ටේනරය රැගෙන ගොස් තිබුණේ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාව වෙතය. කන්ටේනරය විවෘත කර සීනි මිටි බෑමට ගිය අවස්ථාවේ එම කන්ටේනරයේ සීනි මිටි අස්සේ කොකේන් තොගය සඟවා තිබූ පාර්සල් සොයා ගැනීමට සේවකයින්ට හැකිවිණි.  


මේවායේ වටිනාකම රුපියල් කෝටි 300 කට වැඩිය. යම් මත්ද්‍රව්‍ය විශේෂයක් සීනි කන්ටේරයක් තුළ තිබී හමුවූ බවට ගල්කිස්ස මූලස්ථාන පොලිසිය දැනුවත් කිරීමෙන් පසු ගල්කිස්ස කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරාළ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කරනු ලැබූහ. පසුව මේවා කොකේන් මත්ද්‍රව්‍ය බව හෙළිවිණි.  


මේ සම්බන්ධයෙන් කන්ටේනරයේ රියදුරා ඇතුළු පුද්ගලයන් හත්දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් අතර කන්ටේනරය තුළ තිබුණු කොකේන් පැකට් 10 ක් සොරාගත් සේවකයන් දෙදෙනෙක් ද ඒ අතර වූහ. එහෙත් සීනි කන්ටේනරය අස්සේ සඟවා කොකේන් මත්ද්‍රව්‍ය මෙතරම් තොගයක් මෙරටට ගෙන්වීමට ඍජුවම දායක වූ අය ගැන මෙතෙක් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූ බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරියෙක් කීය.  


සීනි මිටි තොග අස්සේ සඟවා කොකේන් තොගයක් මෙරටට ගෙන ඒමට අාණ්ඩු පක්ෂයට සම්බන්ධ එක්තරා දේශපාලනඥයකුගේ සම්බන්ධයක් ඇති බවට සමහර පාර්ශ්ව චෝදනා එල්ල කළ අවස්ථාවේ අදාළ දේශපාලනඥයා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.  
 පාර්ලිමේන්තුවේදී ද අනුර කුමාර දිසානායක මහතා පසුගිය 25 වැනිදා සතොසට ගෙන්වූ සීනි තොගයේ සඟවා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ඒම පසුපස දේශපාලන සම්බන්ධතා ඇති බවට කියා සිටි අවස්ථාවේ අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ පරීක්ෂණවලදී තවම එවැන්නක් ගැන තොරතුරු අනාවරණය වී නොමැති බවය.  


මෙතෙක් කාලයක් අවස්ථා කිහිපයකදී සොයාගත් කොකේන් මහා තොගවලට දැන් මොකද වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නය මෙන්ම බ්‍රසීලයේ සිට සීනි තොග ගෙන්වීමේදී ඒ තුළ කොකේන් මත්ද්‍රව්‍ය තොග වශයෙන් සඟවා එවීමට ඍජුව හවුල් වූ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් කෝ කියන ප්‍රශ්නය මෙය මෙතෙක් වේලාවක් කියවූ ඔබට නිතැතින්ම හිතට ප්‍රශ්නයක් පැනනගින්නට ඇතිවා නිසැකය.  
 අපි ඊළඟට ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයමු.

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය