ක්ලබ්වලට සෙල්ලම් කර දස්කම් පෙන්වුවත් පුතාට කිසිවෙක් අනුග්‍රහය දැක්වූවේ නෑ


 

 

කැන්ගරුවන්ට අමතක නොවන පරාජයක් අත්කර දෙමින් ශ්‍රී ලාංකීය නාමය නැවත වරක් ක්‍රිකට් ලෝකයේ අමන්දානන්දයට පත් කළ වීරයෙක් කන්ද උඩරටින් බිහි විය. ඒ අසේල ගුණරත්න ය. ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි විස්ස තරඟයකදී මෙතෙක් දක්වා ඇති ඉහළම දස්කම දැක්වීමට පසුගියදා ඕස්ටේ්‍රලියාවේදී හැකියාව ලැබුණි. ඒ ශ්‍රී ලංකාවට කඩුලු දෙකක තියුණු ජයක් අත්කර දෙමිනි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූයේ අසේල ය. ඔහුගේ පිතිහරඹයේ අද්විතීය බව හිටපු නායක කුමාර් සංගක්කාර ද සඳහන්කර තිබුණි. අපි ඔහුගේ නිවස පිහිටි කටුගස්තොට උපන්ගම වෙත පිය මැන්නේ මෙම වීරයාගේ මව්පියන් මුණ ගැසීමට ය. 
කටුගස්තොට නගරයේ සිට කිලෝ මීටර් භාගයක පමණ දුරක් ගිය පසු කොණ්ඩදෙණියේ පිහිටි ඔහුගේ නිවෙස හමු වේ. ඔහුගේ නිවසට ඉණිගල සහ ගොහාගොඩ මාර්ගයෙන්ද ගමන් කළ හැකිය. අසේල ගැන ඔහුගේ මව වන එම්. ජී. කමලාවතී මහත්මියගෙන් විමසා සිටියෙමි. 

 


ප්‍රශ්නය :- පළමුවෙන්ම පවුලේ විස්තර දැන ගන්න කැමතියි.
පිළිතුර :-
අපට දරුවන් තිදෙනෙක් සිටිනවා. දෙවෙනියා අසේල පුතා. ඔහු ඉපදුන දවසේ සිට පදිංචිව සිටියේ මේ මහ ගෙදරයි. අසේලට සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා. සහෝදරියන් දෙදෙනෙකුට මැදිව දෙවැනි සාමාජිකයා ලෙස උපදින අසේලගේ පියා ඩී. ජී. කේ. කීර්ති ගුණරත්න. වෘත්තියෙන් රියදුරු මහතෙක්. මම ගෘහණියක් විදියට දරුවන්ගේ සහ ස්වාමිපුරුෂයාගේ වැඩ කටයුතු කරමින් නිවසේ රැඳී සිටිනවා. වැඩිමහල් දුව නදීශා, සංජීවනී ගුණරත්න ඇය විවාහකයි. බාල දියණිය ප්‍රියංකා මධුභාෂිණී ගුණරත්න ය. පාසල් අධ්‍යාපනය නිම කරලා සිටිනවා. අසේල, අනුෂා මධුරංගනී නානායක්කාර දුව සමඟ විවාහ ජීවිතයට ඇතුළත්ව සිටින අතර, ඔවුන්ට ද එක දරුවෙක් සිටිනවා. 


ප්‍රශ්නය :- පාසල් අධ්‍යාපනය සහ ක්‍රිකට් ක්‍රීඩාව, අධ්‍යාපනයට බාධාවක් කර නොගෙන සමබරව කරගෙන ගියාද ? 
පිළිතුර :-
පළමු වසරේ සිට අධ්‍යාපනය ලබා ගත්තේ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයෙනුයි. ඉතාමත් කුඩා කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට පුදුමාකාර කැමැත්තක් දැක්වූවා. වයස අවුරුදු නවයේදී පමණ තාත්තාට කියනවා බැට් එකක් ගෙනත් දෙන්නය කියා. බැට් එකටයි බෝලයටයි පුදුමාකාර කැමැත්තක් දැක්වූවා. බෝලයක් නැතිනම් ගල් කැටයක් හෝ උඩ දමා සෙල්ලම් කරන පුරුද්දක් තිබුණා. අපේ පවුලේ කවුරුවත් මෙම ක්‍රීඩාවට යොමුවෙලා සිටියේ නැති වුණත්, පුතා කුඩා කාලයේ සිටම කැමැත්තක් දැක්වීම අපව පුදුමයට පත් කළා. අධ්‍යාපනයට දක්ෂ දරුවෙක්. චිත්‍ර ඇඳීමේ හැකියාව තිබුණා. ක්‍රිකට්වලට විශේෂ කැමැත්තක් දැක්වුවා කීවොත් නිවැරදියි. ඒ නිසා පාඩම් කටයුතු අතපසු කළේ නැහැ. පාසල් ක්‍රිකට් කණ්ඩායමට බැඳිලා ක්‍රීඩා කරනවා. ක්‍රිකට්වලට තිබූ කැමැත්ත නිසා, අපොස (සා.පෙ.) පසු ඉගෙනීම නවත්වා ක්ලබ්වලට ක්‍රීඩා කිරීමට සම්පූර්ණ කාලය වැය කළා. 


ප්‍රශ්නය :- පාසල් කාලයෙන් පසු සහ නිවාඩු දවස්වල මොන විදියට ද කාලය ගත කළේ?
පිළිතුර :-
පාසල් යන කාලයේ සවස දෙකට පමණ නිවසට පැමිණෙනවා. ඒ ආපු ගමන්ම ආහාර ලබා ගන්නෙත් නැතිව ගොයම් කපා ඇති කාලයේ කුඹුරට ගිහින් යහළුවන් සමඟ ක්‍රිකට් ගහනවා. කෑම කන්න කීවම... අම්මේ මට කැම එපා.. සමපෝෂ එකක් හදල දෙන්න කියනවා. මම සමපෝෂ හදල දෙනවා. ඊට පසු බැට් එකයි බෝලයයි අරගෙන වෙළට යනවා. ආපසු නිවසට එනකොට රෑ බෝ වෙලා. පහුවදා යළිත් පාසලට යනවා. ඔය විදියට තමයි ඔහුගේ ජීවිතය ගෙවුණේ. 


ප්‍රශ්නය :- පාසල් කාලයේදී දැක්වූ දක්ෂතා ඔබට මතකද? 
පිළිතුර :-
ඇත්තෙන්ම ඔව්.. මහනුවර නගරයේ ඇති සෑම පාසලක් සමඟම තරගකොට තියෙනවා. බොහෝ තරග ජය ගන්නවා. කණ්ඩායම ජයග්‍රහණය කරවන්න පුතා හොඳ දායකත්වයක් ලබා දෙනවා. එහිදී විකට් කණුවක් රැගෙන තමයි ගෙදර එන්නේ. තරගයකට සහභාගී වුවහොත් ජයග්‍රහණය කරනවාමයි. 


ප්‍රශ්නය :- පාසල් අධ්‍යාපනය ලබන කාලයේ බාහිර ක්‍රියාකාරකම්වල නියැලුණේ නැතිද? 
පිළිතුර :-
ඔහුගේ ජීවිතයම ක්‍රිකට්වලට වෙන් කළ නිසා වෙන්න ඇති, වෙනත් විෂයන් කෙරෙහි අවධානයක් යොමු කළේ නැහැ. 

 


ප්‍රශ්නය :- ඔහු ජයග්‍රහණය සමරන්නේ කෙසේද? පාටි දමනවද? 
පිළිතුර :-
පුතා නිහඬ චරිතයක්. ඔහු ඒ පිළිබඳව අප සමඟ වැඩිය කතා කරන්නේ නැහැ. කිසිදු ආඩම්බරයක් නැහැ. නිහතමානී චරිතයක්. පාසල් ජීවිතයෙන් සමුගත් පසු මහනුවර ක්‍රිකට් සමාජයට සෙල්ලම් කළා. කවදාකවත් මම සීයක් ගැහුවා කියා තමන් ගැන වර්ණනා කළේ නැහැ. එයාගේ මිත්‍රයෝ තමයි ඔහුගේ දක්ෂතා අපට කියන්නේ.. ජයග්‍රහණ වෙනුවෙන් ලබාගත් සහතික තියෙනවා. ඔහු ක්‍රිකට්වලට කොතරම් ආදරය කළා ද කියනවා නම්, අපොස (සාපෙ) විභාගයෙන් පසු උසස් පෙළ කරන්න ඕනෑකමක් දැක් වූයේ නැහැ. ක්‍රිකට්ම තමයි. ජීවිතේ වුණේ.  යහළුවන් සමඟ දහවල් කාලයේ නිවස වටේ සෙල්ලම් කරනවා. අපේ නිවසට පහළින් කුඹුරක් තියෙනවා. ඒ කුඹුරේ තමයි ක්‍රිකට් ගහන්නේ. මිල අධික වුණත්, අපි කොහොම හරි පිත්තක්, බෝලයක් අරගෙන දෙනවා. 


ප්‍රශ්නය : අසේල යුද්ධ හමුදාවට බැඳෙනවට මව්පියන් සහෝදරියන් විරුද්ධ වුණේ නැතිද? 
පිළිතුර :-
ඇයි නැත්තේ. අපේ එකම පුතානේ. අපි හරිම ආදරෙන් සිටියේ. අපොස (සා.පෙ.) විභාගය ඉවරවෙලා නිවසටවෙලා ඉන්නකොට, දවසක්.. පුතාගේ යහළුවෙක් නිවසට පැමිණියා.. ඔහු ඒ වෙනකොට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරමින් සිටියේ. පුතාගේ දක්ෂතා දන්නවා. ඔහුගේ ඇරයුම මත සියලු සහතික, ග්‍රාම සේවක මහතාගෙන් ලබාගත් සහතිකත් රැගෙන පනාගොඩ යුද්ධ හමුදා කඳවුරට ගියා.. ඒ, 2007 ජූනි මාසයේදී. ඒ වෙනකොට යුද්ධය පැවතියා. අපි බයෙන් තමයි පුතාට අවසර ලබා දුන්නෙ. ඔහු යුද්ධ හමුදාවට බැඳෙන්නේ ඒ ආකාරයෙනුයි. 


ප්‍රශ්නය :- මේ තරම් දක්ෂතා පෙන්වා ඇති අසේලට යුද්ධ හමුදාවට බැඳීමට පෙර අනුග්‍රාහකයෙක් හමුවුණේ නැත්තේ ඇයි?
පිළිතුර :-
ඇත්තෙන්ම අපටත් තිබෙන ප්‍රශ්නය ඕකම තමා.. ක්ලබ්වලට සෙල්ලම් කරලා දක්ෂතාව පෙන්නුම් කළත්, අනුග්‍රහය දක්වන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. පුතා යුද්ධ හමුදාවට බැඳෙන්නත් තීරණය කරන්න ඇත්තේ ඒ නිසයි. ඔහු යුද්ධ හමුදාවට බැඳිල ක්‍රිකට් තමයි සෙල්ලම් කරල තියෙන්නේ. එහිදී දක්ෂතා පෙන්වා පසුව ඒ ටීම් එකටත්, පසුව ජාතික කණ්ඩායමටත් එක් වුණා. 


ප්‍රශ්නය :- පුතාගේ ජයග්‍රහණ ගැන මව්පියන් වශයෙන් දැන් ඔබට මොන වගේ හැඟීමක් ද තියෙන්නේ.
පිළිතුර :-
පුතාගේ ජයග්‍රහණ ගැන අප සිටින්නේ සතුටින්. හරිම සන්තෝෂයි. විදෙස් සංචාරවලට සහභාගිවන සෑම අවස්ථාවකදීම අප පවුලේ සියලුදෙනාම බෝධි පූජා තියලා ආශිර්වාද කරනවා. පුතා නිසා අපිත් ජනප්‍රියවෙලා. ඔහු ක්‍රීඩා කළේ ඇඟේ ශක්තියෙන්. මව්පියන් විදියට අපට ගොඩාක් ආඩම්බරයි. ගමේ අය පමණක් නොවෙයි හමුවන සැම කෙනෙක්ම මේ වගේ පුතෙක් දායාද කළාට පිං දෙනවා. පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමිය නිලුකා ඒකනායක මහත්මිය අපේ නිවසට පැමිණ සුබ පැතුවා.