අඩියක් ගහන්න නැති පාටියක් ඇඟට දැනෙන්නේ නෑ, මඟුලක් නම් බොන්න ඕනෑ, අංක එකට තිබිය යුත්තේ එයයි, මේ වගේ අදහස් අපේ සමාජයේ සෑම ස්ථරයකම භේදයකින් තොරව මුල්බැසගෙන තිබේ. ඒ නිසා තමන් මත්පැන් භාවිතා නොකළත් තමන්ගේ උපන්දින හෝ මංගල සාදයට සහභාගීෙවන අයට මත්පැන් ලබාදීමට මේ සමාජයේ සියයට අනූනවයක් දෙනා පෙලඹෙති. මංගල සාදවල පමණක් නොව කවුරුත් සංවේගයට පත්වන අවමංගල අවස්ථාවලට ද මත්පැන් නැතිව බැරිය. මෙවන් සාදවල හෝ අවමංගල උත්සවවල හෝ බහින් බස් වීමක්, සුළුවශයෙන් හෝ ගුටි බැට හුවමාරුවක් සිදුනොවන්නේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි.
බණ්ඩාරගම රේරුකාන ප්‍රදේශයේ මංගල උත්සවයක මත්පැන් සාදය අවසන් වූයේ සිව්දෙනෙකු අධිකරණය හමුවේ වරදකරුවන් බවට පත් කරමිනි.

පැරණි ගී, නව ගී, තරුණ පරපුරේ ගී ගායනා කරමින් ක්‍රමයෙන් වේග රිද්ම ගී වලට මාරුවූහ. එය හින්දී ගීත හා බටහිර ගීතවලින්ද සංයුක්ත විය. කාන්තාවන් මෙන්ම පිරිමින්ද තරුණ තරුණියෝ මෙන්ම වැඩිහිටියෝද මේ ගී තාලයන්ට එක්ව තමන්ට රිසිසේ රංගනයේ යෙදෙන්නට වූහ. පිරිමින් විටින් විට ගොස් මත්පැන් වඩියක් උගුරේ හලාගත්තේ නැටුමට ශක්තිය එක්කර ගැනීමට මෙනි. පැය කීපයක් මේ විදිහට කෑම නොගෙන මත්පැන් භාවිතා කරමින් නර්තනයේ යෙදෙන විට ඇතැමුන්ට සීමාව සොයා ගැනීමට නොහැකි විය. ඒ නිසා තමන් අසල සිටින එක එක්කෙනා බදා ගනිමින් ආගිය තොරතුරු කියන්නත් දුක් ගැනවිලි කියන්නත් පටන් ගත්හ. සිංදුවක් අවසන් වනවිට ‘‘වන් මෝ’’ කියා පිරිස කෑ ගැසූහ.
මේ ඝෝෂාව අහල පහළ අයට කරදරයක් වන බව මනාල මහත්තයාගේ පවුලේ අයට සිතුණේ රාත්‍රී එක පමණ වනතුරුත් පිරිස ‘‘වන්මෝ’’ කියමින් කෑ ගැසූ නිසාය. මෙයට පිළියමක් යෙදීමට කල්පනා කළ පවුලේ අය අවසානයේ තීරණයකට එළැඹුනහ.
අපි මියුසික් නවත්වමු. එතකොට නිකම්ම ඔය නැටිල්ල නවතීවිනේ. එක් අයෙක් පැවසූ අදහසට අනෙක් සියලූ දෙනාද එකඟ වූහ. තීන්දුව ක්‍රියාවට නංවමින් මනාලයාගේ ඥාතියෙක් සංගීත කණ්ඩායමේ ප්‍රධානියාගේ කනට කොඳුරා යමක් පැවසීය. සංගීතය ටිකෙන් ටික නැවතිණ.
ඔය මොකද කරන්නේ? ගහනවා ඕක, අපි නටන්නේ අහවල් එකටද?
සාදයේ නටමින් සිටි අයෙක් කෑ ගැසීය. ඒ සමගම අනෙක් අයද කෑ ගසන්නට වූහ. එක්කෙනා දෙන්නාගෙන් පටන් අරන් සියලු දෙනාම පාහේ සංගීත කණ්ඩායම වට කරගත්හ. මුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕන යැයි සිතු එක් අයෙක් සංගීත කණ්ඩායම පැමිණි ත්‍රී රෝද රථය යැයි සිතාගෙන මිදුලේ නවතා තිබූ ත්‍රිරෝද රථයක යතුරු කටේ රඳවා තිබූ යතුර අරගෙන සඟවා ගත්තේය. තවත් ටික වෙලාවක් ගත කළොත් මේ පිරිස සංගීත කණ්ඩායමට පහර දෙනු නිසැකය. ඒ නිසා මොවුන් වහාම පිට කළ යුතු යැයි තීරණය කළ මනාලයාගේ ඥාතීහු පදමට වෙරිවී සිටි මිතුරන්ගේ හා ඥාතීන්ගේ විරෝධතා මධ්‍යයේ සංගීත කණ්ඩායම වෑන් රථවලින් හා ත්‍රිරෝද රථවලින් පිටත් කරනු ලැබීය.
එහෙත් ගැටුම එතනින් අවසන් වුයේ නැත. සංගීත කණ්ඩායම සමඟ වෛර බැඳගත් පිරිස සාදයෙන් පිටවූ සංගීත කණ්ඩායම සොයා තම තමන්ගේ යතුරු පැදි හා ත්‍රිරෝද රථවලින් ඉගිලුණහ. කොතැනකදී හෝ ඔවුන්ගෙන් කෙනෙක් අහුවුණොත් ඉතුරු නොකළ යුතු යැයි සිතෙන තරමට වෙරිමතින් සිටි පිරිස කෝපයෙන් දැවෙමින් සිටියහ. සංගීතය හිටි ගමන් නවත්වා තමන්ගේ ආතල් එක කෑවා, තමන්ට අවමන් කළා වැනි අදහසක් ඔවුන් තුළ පැළපදියම්වීම ඊට හේතු වන්නට ඇත. මේ පිරිස රබර් වතු කඳුවැටි, වෙල්යායවල් පසුකරමින් සංගිත කණ්ඩායම ලුහු බැන්දද වෙරි මත නිසා ඔවුන්ට ඒ අය සොයා ගැනීමට නොහැකි විය. ඇතැමෙක් යතුරුපැදිවලින් වැටී තුවාල කර ගත්හ. අවසානයේ ගමට ගියේ කීප දෙනෙක් පමණි.
මේ අතර මංගල සාදයේ සිට නිවසට යාමට සූදානම් වූ අයෙකුට තමන්ගේ ත්‍රිරෝද රථයේ යතුර නැති බව දක්නට හැකිවිය. හේ යතුර දුටුවේදැයි කීප දෙනෙකුගෙන් විමසද්දී අයෙක් ඉදිරිපත් වූහ.
‘‘මම දැක්කා අර සංගීත කණ්ඩායම පස්සේ ගියපු කෙනෙක් යතුර අරන් සාක්කුවේ දාගන්නවා’’ යැයි කීවේය. ඔහු කවුදැයි හරියටම නොදන්නා නමුත් සංගීත කණ්ඩායම ලුහුබැන්ඳ කෙනා සොයාගන්ටම සිදුවන බැවින් ඔහු තවත් අයෙක් සමඟ යතුරුපැදියෙන් ඔවුන් ලුහු බැඳ ගියහ. මගදී ඔවුහු එකිනෙකා මුණ ගැසුණහ. එහෙත් වෙරිමතින් සිටි යතුර සොරාගත් පුද්ගලයාට යතුර සොයාගෙන පැමිණි අය පෙනුණේ සංගීත කණ්ඩායමේ අය ලෙසය. ඒ නිසා එහි සිටි අනෙක් අයවද එකතු කරගෙන ඔවුන් මේ අයට පහර දෙනු ලැබිණ. පොලු මුගුරු අමෝරාගෙන ඔවුන් කළ පහරදීම අවසන් වූයේ ත්‍රිරෝද රථයේ හිමිකරුගේ දත් දෙකක්ද කැඩීමෙන් අනතුරුවය.
තුවාල ලැබූ අය කැඩුණු දත් දෙකද රැගෙන පොලිසියට ගියහ. පොලිස් පොතේ පැමිණිල්ල සටහන් විය. තුවාල ලැබූ අය රෝහල්ගතවී ප්‍රතිකාර ලැබූහ. පොලිස් පොතේ සටහන් වූ පැමිණිල්ල විභාග කළත් දත් දෙකක් අහිමි කළ පුද්ගලයින් සිව්දෙනා නිකම් අතඇරීමට අකමැති වූ ත්‍රිරෝද රථ හිමිකරු, එය අධිකරණය දක්වා ගෙන යාමට කැමති විය. අධිකරණයේදී දත් කැඩූ සැකකරුවන් සිව්දෙනාට ඒ සඳහා වන්දියක්ද ගෙවීමට නියම විය. වන්දිය වූයේ දත්දෙක වෙනුවෙන් ලක්ෂ දෙකකි. නඩුව වැඩිදුර විභාගය ඔක්තෝබර් 10 දක්වා කල් තැබිණ. පදම නොදැන මත්පැන් භාවිතා කිරීමෙන් තම දරු පවුල් වෙනුවෙන්, තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් වැය කළ යුතු මුදලක් වෙනත් අයෙකුට පුදන්නට මේ අයට සිදුවීම කෙතරම් අභාග්‍යයක්ද?
බණ්ඩාරගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්දන නාකන්දල මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් (57768) සුනිල් මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණ.
මුදිතා දයානන්ද සහ
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ