බුදු දහමට පැහැදී ලංකාවේදී සසුන්ගතවී ලක්බිමේදීම අවසන් ගමන ගිය ජර්මනියේ පුණ්‍යරතන හිමි


 

මළහිරු බසිනා සැන්දෑ යාමයේ එරාවූර්, පුණ්නකුඩා මුහුදු තීරය අසල පුණ්‍යාරාම විහාරස්ථාන භූමියේ ඉදිකර තිබූ චිතකයෙහි ජර්මනියේ පුණ්‍යරතන හිමියන්ගේ දේහය තැන්පත් කර දවාලන විට සිතට ඇති වූයේ දැඩි සංවේගයකි. 
වසර 19ක කාලයක් උතුම් බුද්ධ චීවරය දරාගෙන බුද්ධ ශාසනය වෙනුවෙන් හැකි පමණින් සේවය කළ ජර්මන් ජාතික පුණ්‍යරතන හිමියන්ගේ ආදාහන කටයුත්ත සඳහා කළගුණ දත් අතළොස්සක් මාරවිල සහ හික්කඩුව ප්‍රදේශයෙන් පැමිණ සිටියහ. උන්වහන්සේහට අවසන් ගරු බුහුමන් දැක්වීමට ගිහි කල උන්වහන්සේගේ දරුවකු හෝ ඥාතියකු හෝද නොවීය.

 

එම ආදාහන උත්සවය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යැයි පැවසුවහොත් එය නිවැරදිය.
1972 වසරේදී ජර්මනියේ රූපවාහිනී ආයතනයක අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සේවය කළ රෝල්ෆ් නමැති පුද්ගලයා ලංකාවට පැමිණෙන්නේ වාර්තාමය වැඩසටහනක් සඳහාය. එම අවස්ථාවේ ලංකාවේ විවිධ පළාත්වල සංචාරය කරන ලද මොහු බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් මෙන්ම හික්කඩුවේ ජනනන්දාරාමාධිපති, හික්කඩුවේ ඥානරතන හිමියන් ද හමුව තිබේ. මේ කාලය තුළදී උන්වහන්සේලාගේ ඇසුරත් සමග බෞද්ධ ධර්මය කෙරෙහි විශ්වාසයක් සහ පැහැදීමක් රෝල්ෆ් මහතාට ඇතිව තිබේ. එම වැඩසටහන අවසන් කර ඔහු නැවතත් ජර්මනිය බලා පිටව ගොස් ඇත්තේ යළිත් දිනෙක ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණින්ය. 
1980 වසරේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි රෝල්ෆ් මහතා මාස 03ක පමණ කාලයක් හික්කඩුව ප්‍රදේශයේ හෝටල් භූමියක කාමරයක් වෙන් කරගෙන එහි සිටි අතර, දිනපතා දිවා කාලයෙහිදී  හික්කඩුව ජනනන්දාරාම විහාරස්ථානයට පැමිණීමට අමතක නොකළේය. මාස 03ක් ලංකාවේ රැඳී සිටි රෝල්ෆ් මහතා යළිත් ජර්මනියට ගියේය. ඒ යන අවස්ථාවේදී විහාරස්ථානයෙන් අටපිරිකරක් ද රැගෙන ජර්මනියට ගොස් ඇත.

 


එම ගමනේදී රෝගාතුරව සිටි රෝල්ෆ් මහතාගේ බිරිඳ මියගොස් ඇති අතර, තම දරුවන්  දෙදෙනා ද සමග ඔහු තනි විය. දරුවන් දෙදෙනා වැඩිමහල් වූ පසු ඔහුගේ සිතට නිතර දැනුණේ ඔහුට සසුන්ගත වීමට අවැසි බවයි.


සසුනට ඇතුළුවීම කෙරෙහි දරුවන්ගෙන් කිසිදු කැමැත්තක් නොතිබුණ ද බුදු දහම පිළිබඳව තදින්ම පැහැදී සිටි රෝල්ෆ් මහතා තම දරුවන් දෙදෙනාගේ අකමැත්ත මැද සසුන්ගත වීමට තීරණය කර ඇත. වසර 09ක පමණ කාලයක් ගත වූ පසු නැවතත් ඔහු ශ්‍රී ලංකාව වෙත පැමිණියේ තමන් රැගෙන යන ලද අටපිරිකර ද සහිතවය. 


එසේ හික්කඩුව ජනනන්දාරාම විහාරස්ථානයට පැමිණෙන අවස්ථාවේදී එහි විහාරාධිපතිව සිටි හික්කඩුවේ සීලරතන හිමියන් අපවත්ව සිටියහ. නව විහාරාධිපති ලෙස හික්කඩුවේ ඥානරතන හිමියන් පත්ව සිටි අතර, තමන් සසුන් දිවියට ඇතුළත් කර ගන්නා ලෙසට රෝල්ෆ් මහතා විසින් ඥානරතන හිමියන්ගේ ඉල්ලීමක් කරනු ලැබීය. රෝල්ෆ් මහතා එම ඉල්ලීම කරන ලද්දේ වසර 09කට පෙර එම විහාරස්ථානයෙන් රැගෙන යන ලද අටපිරිකර ද නැවතත් පන්සල වෙත පූජා කරමිනි.


පසුව හික්කඩුවේ ඥානරතන හිමියන් විසින් රෝල්ෆ් මහතා 1988 නොවැම්බර් මාසයේ දිනෙකදී ජනනන්දාරාම විහාරස්ථානයේදී ජර්මනියේ පුණ්‍යරතන හිමි නමින් සසුන් දිවියට ඇතුළත් කරනු ලැබීය. සසුන්ගත වීමෙන් අනතුරුව වසර 03ක පමණ කාලයක් සාමණේර හිමිනමක් ලෙස ධර්මය තවදුරටත් ප්‍රගුණ කරමින් වසර 03කට පසුව උපසම්පදාව ලැබීය.


ඉන් අනතුරුව බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හිමියන් වැඩ වාසය කළ විහාරස්ථානයට පැමිණ, උන්වහන්සේගේ ඇසුර ලබමින් වසරක පමණ කාලයක් එම විහාරස්ථානයෙහි රැඳී වැඩ වාසය කළහ. පසුව 2008 වසරේදී එරාවූර් පුලිනතලා විහාරස්ථානයට පැමිණි ජර්මනියේ පුණ්‍යරතන හිමියන් ටික කලක් එහි වැඩ වාසය කර පසුව පුණන්කුඩා ප්‍රදේශයේ තිබූ ඉපැරණි බෝගසක් අසල පුණ්‍යාරාමය යන නමින් නව විහාරස්ථානයක් ඉදි කළේය. මෙම විහාරස්ථානය ඉදි කිරීමට තම පෞද්ගලික ධනය උන්වහන්සේ විසින් වැය කර තිබුණි. 


ජර්මනියේ පුණ්‍යරතන හිමියන් පොත පත කියවීමට මහත් රුචියක් දක්වා ඇති අතර පොතක් අතට ගතහොත් එය අවසන් වනතුරුම කියවීම උන් වහන්සේගේ සිරිතය. 


යුද්ධයෙන් අවතැන් වූ එම ප්‍රදේශයේ සිංහල වැසියන් පිළිබඳව නිතර නිතර උන්වහන්සේ සොයා බලා ඇත. දැනට වසරකට පමණ පෙර අවසන් වරට ජර්මනියට ගිය පුණ්‍යරතන හිමියන් තමන් සතුව තිබූ දේපළ සියල්ල තම දරුවන් දෙදෙනාට ලබා දී නැවතත් ලංකාවට පැමිණියේ කෙදිනකදීවත් ජර්මන් රටට නොයන බව පවසමින්ය. 


මේ කාලයේදී උන්වහන්සේ රෝගාතුර වූ අතර, ප්‍රතිකාර කොතෙකුත් කළ ද ඉන් සුවයක් නොවීය. පසුව මාරවිල ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන ජර්මන් ජාතික වෛද්‍යවරයෙකු වන ඩෝරින් මහතා පුණ්‍යරතන හිමියන් මාරවිල ප්‍රදේශයට ගෙනගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ. නමුත් හිමියන්ට එරාවූර් තම විහාරස්ථානයට යා යුතු යැයි පැවසූ නිසා වෛද්‍ය ඩෝරින් මහතා පුණ්‍යරතන හිමියන් එරාවූර් විහාරස්ථානයට නැවත ගෙනවිත් තිබේ. ටික දිනක් යන විට රෝගී තත්ත්වය උත්සන්න වූ බැවින්, නැවත වතාවක් උන්වහන්සේ මාරවිල ප්‍රදේශයේ ඩෝරින් මහතාගේ හෝටලය වෙත ගෙන ගොස් ප්‍රතිකාර ලබා දී තිබේ. අසනීපව සිටින අවස්ථාවේදී තමන් අපවත් වූ පසු එරාවූර් විහාරස්ථානයට ගෙනගොස් එහි ආදාහනය කර එම විහාරස්ථානයේ තමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරන ලෙස පුණ්‍යරතන හිමියන් ඉල්ලීමක් ද කර තිබේ. 


මෙසේ ප්‍රතිකාර ලබමින් සිටි ජර්මන් ජාතික පුණ්‍යරතන හිමියන් විසින් 2017 පෙබරවාරි 14 වැනි දින මාරවිල හෝටලයේදී අවසන් හුස්ම හෙළනු ලැබූහ. පසුව දඹගල්ලේ වනරතන හිමියන් විසින් මේ පිළිබඳව හික්කඩුවේ ජනනන්දාරාමාධිපති, හික්කඩුවේ ඥානරතන හිමියන්ට දන්වන ලදී. පසුව හික්කඩුවේ ඥානරතන හිමියන් විසින් ජර්මන් තානාපති කාර්යාලයට මෙම අපවත්වීම පිළිබඳව දැනුම් දී තිබේ. පසුව ජර්මන් තානාපති කාර්යාලයෙන් පුණ්‍යරතන හිමියන්ගේ දරුවන් හට කතා කර ශ්‍රී ලංකාවේදී ආදාහනය කිරීමට කැමැත්ත ලබා ගැනීමෙන් පසුව අවසන් කටයුතු සඳහා උන්වහන්සේගේ දේහය හික්කඩුවේ ඥානරතන හිමියන් වෙත භාර දී තිබේ. 


එරාවූර් ප්‍රදේශයේ දැනට ඉතිරිව සිටින සිංහල පවුල් දෙකක පිරිසට මෙම කාර්ය ඉටුකර ගැනීමට නොහැකිව තිබූ නිසා ශ්‍රී ලංකා යුද හමුදාවේ නැගෙනහිර ආඥාපති, මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත යුද හමුදා නිලධාරීන් විසින් ආදාහන උත්සවයේ සියලුම කටයුතු සංවිධානය කරනු ලැබීය. මෙම අවස්ථාවට පොලිස් නිලධාරීන් ද සහාය දක්වා තිබේ. 


ජර්මන් රටේ සිට කිලෝමීටර් දහස් ගණනක් දුර ගෙවා ශ්‍රී ලංකාවට පැමිණ, ශ්‍රී ලංකාවේදී සසුන්ගතව, පුරා වසර 19ක් බෞද්ධ භික්‍ෂුවක ලෙස කටයුතු කළ ජර්මන් ජාතික පුණ්‍යරතන හිමියන්ගේ ශාසනික සේවය අගය කිරීමට රජය කටයුතු නොකිරීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාව විවිධ මත පළ කර තිබේ.  


අවසන් කටයුතු සිදුවන අවස්ථාවේදී රජය වෙනුවෙන් ගුණකථනයක් හෝ කිරීමට කිසිවකුත් නොසිටි අතර, උන්වහන්සේ සමග හිතවත්ව සිටි නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සුබෙහිර් මන්ත්‍රීවරයා විසින් එකම ගිහි කතාව පවත්වනු ලැබීය. පුණ්‍යරතන හිමියන්ගේ අවසන් කටයුතු සිදු කරනු ලැබුවේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, මිල්ලානේ සිරියලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. 


හික්කඩුවේ ජනනන්දනාධිපති, හික්කඩුවේ ඥානරතන හිමි, වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාමාධිපති, දිඹුලාගල රාහුලලංකාර හිමි, දිඹුලාගල මහා කශ්‍යප මහා පිරිවෙනේ පරිවේනාධිපති, දේවගල දේවාලංකාර හිමි, ටැම්පිටිය පුරාණ රජමහා විහාරාධිපති, ටැම්පිටියේ ඥානානන්ද හිමි සහ බලංගොඩ ආනන්ද මංගල හිමි අවසන් කටයුතු සිදු කරන අවස්ථාව සඳහා වැඩම කරනු ලැබූහ. 


නැගෙනහිර පළාතේ ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඇතුළු යුද හමුදා නිලධාරීහු ද සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා ඇතුළු පොලිස් නිලධාරීහු ද හික්කඩුව සහ මාරවිල ප්‍රදේශයේ ජනතාව ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.