මගේ කියන හැමදේම මාරයාටයි


 

ඉපදීම - මරණය අතර ගමනෙකි. ඉපදීම මරණයෙන් කෙළවර වෙයි. මරණය ඉපදීමෙන් ආරම්භ වෙයි. මේ චක්‍රය දිගේ යන ගමනට කෙළවරක් තැබිය හැක්කේ ඉපදීම නැති කිරීමෙනි. ඉපදීම නැති කලා යනු විමුක්තිය නිර්මාණය පසක් කර ගැනීමයි. 


මේ කියන විමුක්තිය සොයා ගන්නේ කෙසේද? බුදුවරු, පසේ බුදුවරු, මහ රහතුන් වැඩි ඒ මඟ කොහිද? ඊට ළඟා වෙන්නේ කෙසේද? ගිහි ගෙයි සිට ඔබට මේ සංසාර බැම්මෙන් නිදහස් විය නොහැකිද? ඒ සඳහා අපි ඔබට “මාර්ගය” පෙන්වීමට අපේක්ෂා කරමු. 


ඈත දුෂ්කර ප්‍රදේශ වල වනවාසීව හා භාවනා යෝගීව හුදෙකලාවේ වැඩ වසමින් සසර නිවීම සොයා යන ස්වාමීන් වහන්සේ නමක් අද සිට ඔබ හමුවට වැඩම කරයි. සරල කරුණු කාරණා ඔස්සේ ගැඹුරු දහම විනිවිද දකින්නටත් ගිහි ගෙයි සිට සසර බැමි ලිහා දමන්නටත් ඔබට ආරාධනා කරමු. 


වනවාසී සේනාපතියේ විමලරතන හිමියන් සමග ධර්ම සාකච්ඡාව දිග හරිමු. 


ගිහි ගෙයි සිටින ඔබ විවිධ බැඳීම් වලට යටත් වෙලා මරණයට කැමති ද කියලා ඇහුවොත් ඔබ ඉන්නේ කොතැනද? 


මට දැන්ම මැරෙන්න බෑ. පුතා දුව බන්දලා දීලම මැරෙනවා කියනවා. 


ඊළඟට ඔබේ පුතා දුව විවාහ කරවලා දුන්නා. දැන් මරණයට කැමතිද අහනවා. 


එතකොට කියනවා දරු මුනුපුරන්ගේ මූණ බලලම මරණය ලබන්න ඕනෑ කියලා. 


මේ විදිහට බැලුවම ඔබ කවදාවත් මරණයට කැමති නෑ. හැමදාම මොකක් හෝ දෙයක්. මේ හැමෝම එහෙමයි. බලන්න ඔබේ නැවතුම කොතැනද කියලා නැවතුමක් දකින්නේ කොහොමද ඔබටවත් නැවතුමක් පේනවද? 


ඔබ මරණයට කැමති වුණත් ඔබ මරණයට අකමැති වුණත් ඔබ මරණයට පත් වෙනවා. හොඳයි ඒ මරණයට පත් වෙන්නේ ඔබේ කැමැත්ත ඇතිවද? නෑ .ඔබ අකමැත්තෙන් මරණයට පත් වෙන්නේ. 


දැන් මොකද වෙන්නේ? ඔබේ රූපය මැරිලා වේළුණු දර කඳක් වගේ. දැන් මේ රූපය දවස් ගාණක් ගේ ඇතුළේ තියාගෙන ඉන්නවා. කළු වෙනවට, ඕජස් ගලනවට කොයි තරම් දේවල් කරන්න ඕනෑද. අවසානේ රූපය උස්සාගෙන ගිහින් පුච්චල දානවා. නැත්නම් වළ දානවා. 


හොඳයි. දැන් මරණයට පත් වුණේ ඔබේ රූපය. හැබැයි ඔබ ළඟ හිටපු “මම” කියන කෙනා මැරුණෙ නෑ. “මම” මැරෙන්නේ නෑ. රූපය මැරෙන වෙලාවේ එයාට මොකද වුණේ. 


ඒ ඉන්න “මම” කියලා අල්ල ගත්ත කෙනා. රූපය මළත් දාලා යන්නේ නෑ. එයා දරුවන්ට ආශා කළා නම් දරුවන් ළඟට එනවා. ඉඩමට වාහනවලට දේපවලට ආශා කළා නම් ඒ ඒ දේවල් සොයා ගෙන එනවා.


“පුතා ඔයා බය වෙන්න එපා. මං මළත් ඔයාව දාලා යන්නේ නෑ. ඔයාව බලා ගන්නවා.” මැරුණත් මම මේ ඉඩමෙන් යන්නේ නෑ. සමහර දෙනා එහෙම කියනවනේ. මොකද වෙලා තියෙන්නේ? 


රූපය ගිහින් මම නැවතිලා. 


ඇයි මම නතර වුණේ? තණ්හාව, ආශාව මූලික වෙලා. ඒකට ජාතියක් ආගමක් කුලයක් මේ කිසිම දෙයක් නෑ. කෙළෙස් මාරයාගෙන් නොමිඳුණු හැමදෙනාම නතර වෙනවා. නැවත නැවත උපදිනවා. ඒ ඉපදීම ඒ බැම්ම බිඳ ගැනීමයි කරන්නට තියෙන්නේ. ඒ සඳහායි මඟ පෙන්වන්නට අවශ්‍ය වෙන්නේ. 


මඤ්ඣි්ම නිකායේ දේදාවිතක්ක සන්තානි සූත්‍රයේ දෙපැත්තක් පිළිබඳව සඳහන් වෙනවා. ධම්ම හා අධම්ම කියලා මේකට කියනවා. ස්වභාවය හා අස්වාභාවය කියන්නෙත් මේකටය. නිවන හා පිච්චීම කියනවා. පරම සත්‍යය හා සම්මතය කියනවා. 


මේක අයිති ප්‍රඥාවන්තයාටයි. 


රාග, ද්වේශ, මෝහ නිසා සතර අපායට යනවා. විතරාගී, වීත ද්වේශී, වීත මෝහී පුද්ගලයා සතර අපායෙන් මිදෙනවා. එහෙනම් මේ දෙපැත්ත හඳුනා ගන්නට ඕනැ. අවිද්‍යාවෙන් මෝහයෙන් බැඳුණු කෙනෙකුට එය කරන්න බෑ. 


මූලිකම දේ තමයි මේ කිසිවක් මට අයිති නෑ. මගේ වෙන්නේ නෑ මගේ කර ගැනීම මෝඩ කමක් කියලා බලන්නට ඕනැ. 


“මගේ අම්මා” “මගේ ආච්චි” කිවුවට ඒ අය මරණයට පත් වෙනවා. ඔබට අයිති නම් ඒ අය ජීවත්ව තියා ගන්න පුළුවන් වෙන්න ඕනෑ. 
මගේ කියන ශරීරය මරණයට පත් වෙනවා. ඇයි ඔබට මගේ කියන ශරීරය තියා ගන්න බැරි? 


මේ සියලු දේවල් අයිති මාරයාට. 


දැන් බලන්න. සමහර අය කෙනෙක් දැක්කම මාර ලස්සනයි කියනවා. තවත් අය කියනවා මාර දුවක්. මාර පුතෙක් කියලා. මාර අම්මා කෙනෙක්නෙ කියනවා. මාර රස්සාවක් මාර වැඩක්, මාර වාහනයක්, මාර කෑමක්, මාර ලාභයක්, මාර පාඩුවක්, මාර දරුවෝ, මාර කටක් කියනවා. 


ඇත්ත මේකයි. ඔබ කටින් කිවුවාට අවබෝධය තුළ මෙය නෑ. 


අද පටන් හිතන්න සියල්ල අයිති මාරයාට බව. මාරයාට අයිති නැති දෙයක් නෑ. ඇතැම් දරුවෝ දෙමාපියන්ට හදන්න බෑ. ඇයි “මාර දරුවො” මාරයාගේ අය. 


මාරයාට අයිති දේවල් ඔබ විසින් මගේ කරගෙන. දැන් මේ ඔබ මගේ වගේ කියලා බදා ගෙන අත හැරලා යන්න බෑ කියන්නේ. මොනවද? ඔබේ දේවල්ද? නෑ මාරයාගේ දේවල්. මාරයාගේ දේවල් වලට ඔප්පු හදාගෙන. උප්පැන්න ලියාගෙන, පොත් හදාගෙන මගේ මගේ කියලා පාවිච්චි කරනවා. 


මොකද වෙලා තියෙන්නේ. අනුන්ට අයිති දෙයක් ණයට භුක්ති විඳිනවා. කවුද මෙතැනදි “අනුන්” කියන්නේ .......ඔහු. ‘මාරයා’
මාරයාට අයිති දේ ඔබ ණයට භුක්ති විඳිනවා. ඒ ණය ගෙවන්නට තමයි ඔබ මැරුණත් එන්නේ. මරණය කියන්නෙ මෙයයි. මාරයාට ණය  ගෙවනවා. 


මාරයාගේ දේවල් මගේ කර ගත්තාම ණය ගෙවන්නම එපැයි. ආයෙත් එනවා. ණයට අරන් භුක්ති විඳිනවා. ආපහු යනවා. 
මාසෙ පඩිය ගන්නවා. කඩෙන් බඩු ගත්ත ණය ගෙවනවා. ආපහු ණයට බඩු ගන්නවා. 


දැන් මොකද වෙන්නේ. මේ මාර බන්ධනය ඇතුළේ මාරයාගේ ගැටෙන් ලිහෙන්නත් ඕනෑ. 


අද සාකච්ඡාවේ අවසාන තීන්දුව. දැන් ඔබ දන්නවා. “මම” මගේ කර ගත්ත දේවල් මගේ නොවෙන බව.. ඒවා මාරයාගේ බව මම මගේ යැයි කී ගෙදර දේපළ, දූ දරුවො කාගෙද? ඒවා මාරයාගේ. මට අයිති දෙයක් නෑ. දැන් මොකද වෙන්නේ. මාරයාට අයිතියි කියලා ගේ අතුගාන්නේ නෑ. දරුවො බලන්නේ නෑ. ගෙවල් හදන්නේ නෑ. එහෙමද? 


එහෙම බෑ. ඔබ මෙපමණ කල් එය කළේ මගේ බව දැන ගෙන. දැන් ඒවා යුතුකම් වගකීම් ලෙස කරන්නේ. ඒවා “මාරයාගේ” බව දැනගෙන.. ඒ විදිහටයි මාරයාගෙන් නිදහස් වෙන මාවත පහළ කර ගත යුත්තේ, හතර අපායෙන් නිදහස් විය යුත්තේ. යථා භූත ඥාන දර්ශනය ඇති වෙන්නේ අත්තිවාරම ශක්තිමත් කර ගත් විටයි.  

සටහන-  අසංක ආටිගල