මිල්ටන්ගේ හඬ අහිමිව ගිය ගී පොකුර


මේ දිනවල මිල්ටන් මල්ලවාරච්චි නම් ආදරණීය ගායන ශිල්පියා පිළිබඳව වඩවඩාත් කතා කරනු ඇසෙයි. ඒ ඔහුගේ ජීවිත කතාව රැගත් “එදා රෑ” චිත්‍රපටය ප්‍රේක්ෂක පිරිස් විසින් මහත් ආදරයෙන් වැළඳ ගනු ලැබීම එයට හේතුවයි. (1953 දී තිරගත වූ “එදා රෑ” නමින්  තවත් සිංහල චිත්‍රපටයක් වෙයි. එය අධ්‍යක්ෂණය කළේ ශාන්ති කුමාර් විසිනි)

මිල්ටන්ගේ ගී එකතුවක් යළිත්  නිෂ්පාදනය කිරීමට විජය රාමනායක මහත් බලාපොරොත්තුවෙන් සිටියේය. ඊට හේතුව වූයේ ශ්‍රී ලංකාවේ මුල්ම කැසට් ගීත එකතුව වූ මිල්ටන් මල්ලවාරච්චිගේ “එනි ටයිම් එනි වෙයා” නිෂ්පාදනය කළේද විජය රාමනායක වීමය. ඒ 1978 දිය. මුදල් අතින් කලින් තරම් ඉහළ තලයක නොසිටියද විජයගේ බලාපොරොත්තුවේ නම් අඩුවක් නොවීය. 

“ඔන්න බලපන් මගේ මුල්ම කැසට් එක කළෙත් මිල්ටන්. ඒක ලංකාවෙම මුල්ම සින්දු කැසට් එක. කවදහරි මිල්ටන්ගෙ අන්තිම කැසට් එක කරන්නෙත් මම” විජය මා සමග කී වාර ගණන වරක් දෙවරක් නොවේ. 

ගීත තැටි සහ කැසට් නිෂ්පාදක විජය රාමනායකට මුලින්ම අවශ්‍යතාව තිබුණේ වික්ටර් රත්නායකගේ කැසට් පටයක් නිෂ්පාදනය කිරීම බව පවසන්නේ විජයගේ සමීපතම මිතුරකුව සිටි ජනප්‍රිය ගායක වර්නන් පෙරේරාය. එක් දිනෙක උදේ 10ට පමණ විශ්ව හා වර්නන් වික්ටර් හමුවීමට ගියද වික්ටර් හමුවීමට ඔවුනට නොහැකි විය. පසුව බලාපොරොත්තු කඩවූ විජය රාමනායකට වර්නන් පවසා ඇත්තේ “අපි එහෙනම් මිල්ටන්ට කතා කරල බලමු” කියාය. 

වික්ටර්ගේ නිවස අසලම එකල පදිංචිව සිටි මිල්ටන්ට ශ්‍රී ලංකාවේ මුල්ම කැසට් පටයට ගීත ගයන්නට අවස්ථාව ලැබුණේ එලෙසින් යයි වර්නන් පවසයි.

කෙසේ වුවද මිල්ටන්ගේ ගීත එකතුවක් නිෂ්පාදනය කරන්නට විජය සූදානම්ව සිටි සමයේ මිල්ටන් නිතර නිතර අසනීපව රෝහල් ගත වූයේය. එහෙත් දින ගණනාවක්ම රෝහලේ සිට ඔහු යළි සුවවී නිවසට පැමිණි අවස්ථා කිහිපයකි. සුව වූ පසුව ඔහු යළි සුපුරුදු කලා කටයුතුවල නිරත විය. 

මාලදිවයින් ශ්‍රී ලංකා නිෂ්පදනයක් වූ “සාගර තරංගා” ටෙලි නාට්‍යය සඳහා “සාගර තරංගා” ගීතය මවිසින් ලියැවුණේද මෙකලය. 

එහි සංගීත අධ්‍යක්‍ෂණය කළ සුනිල් ධර්මසේන එම ටෙලිනාට්‍යය අධ්‍යක්‍ෂණය කිරීමටද භාරව සිටි මගෙන් කීපවරක්ම විමසා සිටියේ “මිල්ටන් ගනිමු” නේදැයි කියාය. තම නිවස අසල සිටි පාසල් මිතුරා සුමනසිරි නොහොත් මිල්ටන් ගීත සඳහා යොදා ගන්නට සුනිල් මහත්සේ ප්‍රිය කළේය. 

“සාගර තරංගා” ටෙලි නට්‍යයේ ගීත කිහිපයක්ම මිල්ටන් ගායනා කරනවා දකින්නට අපි මහත් කැමත්තෙන් සිටියෙමු. 

දවසින් දවස රූගත කිරීම සඳහා මාලදිවයිනට යන දිනයද උදාවෙමින් තිබිණ. සුනිල් ලහි ලහියේ රූගත කිරීම් සඳහා අවශ්‍ය ගීත කලින්ම සූදානම් කළ යුතු බැවින් ගීතවලට තනු යොදා සංගීත පටිගත කළේය.  මාල දිවයින බලා පියාසර කිරීමට ඔන්න මෙන්න කියා තිබියදි ගීතවලට මිල්ටන්ගේ හඬ පටිගත කිරීමට දින යොදා ගැනිණ. බොරැල්ලේ ජෝනෙත් (බිෂොප් පැලස්) ශබ්දාගාරයේ දින  යොදාගෙන සියල්ල සූදානම් කර ගත්තද හරියටම පටිගත කිරීමට දිනයකට කලින් මිල්ටන් යළි බරපතළ ලෙස අසනීපව රෝහල් ගත කෙරිණි. 

“දැන් කවුද අපි ගන්නේ” බලවත් කම්පනයෙන් යුතුව සුනිල් මගෙන් විමසීය. 

“සනත් නන්දසිරි ගනිමු...” 

එහෙත් ඒවන විට සනත් - මල්කාන්ති යුවළ සංගීත ප්‍රසංග මාලාවක් සඳහා එතෙර ගොසිනි. 

“දැන් මොකද කරන්නෙ?” යළි ප්‍රශ්නයකි. 

“ජගත්ට දෙමු. ජගත්නෙ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ.” එය මගේ අදහස විය. සාගර තරංගා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑමට නියමිත වූයේ ජගත් වික්‍රමසිංහ, නිල්මිණි තෙන්නකෝන්, අමිත්ත වීරසිංහ සමඟ මාලදිවයිනේ එකල ජනප්‍රිය සිනමා නළුවකු වූ මූසාය. 

අන්තිමේදී “සාගර තරංගා” ජගත්ගේ හඬින් පටිගත විය. මිල්ටන් ගයන්නට සිටි ගීතය ජගත්ට වාසනාව ගෙනාවේය. එය ජගත්ගේ ජනප්‍රියම ගීත ගොන්නේ මුල් පෙළේ ගීතයකි. 

එහෙත් “සාගර තරංගා” ටෙලිනාට්‍ය මඟ නැවතිණි. ගීතය ජනප්‍රිය විය. රෝහලේ සිට සුවවී පැමිණි මිල්ටන්ට ඔහු ගායනා කිරීමට නියමිතව සිටි “සාගර තරංගා” ගීතය සුනිල් විසින් ශබ්දාගාරයේදී වාදනය කර පෙන්වන ලදී.

“මේ උඹ කියන්න හිටපු සින්දුව” සුනිල් කියන විදියට ගීතය නොලැබීම එක් අතකින් ඔහුට කිසියම් කනගාටුවක් ඇතිකර තිබිණ. 

මේ අතර විජය රාමනායක මා හමුවූ හැම විටෙකම මට කීවේ “ඒ සිංදුව උඹලට මටයි දෙන්න තිබුණෙ. මොකද මගෙ රෙකෝඩ් ලේබල් එක තරංගා නිසා” කියාය. එහෙත් විජයට එම ගීතය නොලැබිණ.

“සාගර තරංගා” ගීතය ජනප්‍රිය වෙමින් පැවැති කාලයේම විජය, මිල්ටන්ගේ අලුත් ගීත දොළහකට අත ගැසුවේය. ශ්‍රී ලංකාවේ සුප්‍රකට සංගීතඥයන් වූ කීප දෙනකුටම තනු නිර්මාණය කිරීමට විජය ආරාධනා කෙළේය. ලහි ලහියේ තනු නිර්මාණය කර සංගීත පට සූදානම් විය. 

මිල්ටන් මේ කාලයේ රෝගි තත්වයේ සිටියද ඔහු මේ ගීත පිළිබඳව මහත් බලාපොරොත්තුවෙන් සිටියේය. එනිසා කීප වරක්ම නුගේගොඩ “නෙකෝ” ශබ්දාගාරයට පැමිණි මිල්ටන් ශබ්ද පරිපාලක මර්වින් බෙන්ස් හමුවී ගීතවල තනු නිර්මාණ, පදමාලා පිළිබඳව විමසා බැලුවේය. 

සාමාන්‍යයෙන් මිල්ටන් හෝ එකල ජනප්‍රිය ගායක ගායිකාවන් කලින් පැමිණ ගීත පුහුණුවීම් හෝ පදමාලා හා තනු පරීක්‍ෂා කිරීමක් නොවීය. සියල්ල සිදුවූයේ පටිගත කිරීමට පැමිණි මොහොතේය. 

එහෙත් මිල්ටන් මේ ගීත දොළහ ගැන මහත් උනන්දුවෙන් සිටියේය. අසනීප තත්ත්වය නිසා කලින් මෙන් එකවර ගීත ගායනා කිරීමට අපහසු වූ බව අප දුටුවේ මවිසින් ලියන ලද “යොවුන් වියේ” ගීතය පටිගත කරන ලද මොහොතකය. 

පේළියෙන් පේළිය පටගත කළද ඔහුගේ හඬේ තිබූ ආදරණීය බවේ නම් අඩුවක් නොවීය. ගීත දොළහක් එක දවසේ පටගත කරන්නට තරම් ඔහු මුල් යුගයේ ජවසම්පන්නව සිටියේය. මවිසින් සුනිල් ධර්මසේනගේ තනුවකට අනුව ලියන ලද ගීතයක් මිල්ටන් වරක් ප්‍රතික්ෂේප කළ බවද කිව යුතුය. 

“මට ඕනෙ කතාවක් තියෙන සින්දුවක්” ඔහු ගීතය බලා කීවේය. සුනිල් මගේ මුහුණ බැලුවේය. 

“උඹට බැරිද ආපහු ලියල දෙන්න” සුනිල් මගෙන් ඇසුවේ මගේ හිත නොරිදෙන්නටය. මම එකඟ වූයෙමි. එහෙත් දෙවැනිවර ලියූ ගීතයටද ඔහු කැමැති නොවීය. 

“මම ආපහු නම් ලියන්නෙ නෑ” මම සුනිල්ට කීවෙමි. එහෙත් “සාගර තරංගා” ඇසීමෙන් පසුව මිල්ටන් මා ගැන කිසියම් පැහැදීමකින් සිටියා යැයි සිතමි. 

එනිසා ඔහුගේ අලුත්ම ගීත එකතුවේ ගීත දෙකක් මට ලබාදීම ගැන ප්‍රශ්න කිරීමක් නොවීය. 

එහෙත් සියල්ල සූදානම් වී මහත් බලාපොරොත්තු තබාගෙන සිටි මොහොතක මිල්ටන් යළිත් රෝගාතුර වී රෝහල් ගත විය. කලින් වතාවල මෙන්ම ඔහු යළිත් සුවය ලබා මේ ගීත දොළහ ගායනා කරනු ඇතැයි සැවොම බලාපොරාත්තු වූහ. එහෙත් ඔහු මෙවර සුවවී ආවේ නැත.

1998 මාර්තු 10 වැනිදා මිල්ටන් මෙලොව හැර ගිය පුවත සැමගේ සිත කම්පාකර තිබිණ. මිල්ටන්ගේ අවසන් ගීත පොකුරේ බලාපොරොත්තුව ඔහුගෙන් අහිමි වී ගියේ එසේය. 

මිල්ටන්ගේ මුල්ම කැසට් පටය මෙන්ම අවසන් ගීත එකතුවද නිෂ්පාදනය කරන්නට බලා සිටි විජය රාමනායක කොතරම් කම්පා වන්නට ඇත්ද? 

මිල්ටන්ගේ මරණයත් සමඟම මිල්ටන් වෙනුවෙන් හැදූ ලියූ ගීත හා සංගීත පටවලට කුමක් කළ යුතුදැයි විජයට සිතාගත නොහැකි විය. එය කාලයක්ම ඔහේ තිබුණේය. 

අන්තිමේදී මිල්ටන්ට දෙන්නට සිටි “සාගර තරංගා” ගීතය ජගත්ට දුන්නා මෙන්ම මිල්ටන්ට හැදූ ගීත ජගත් වික්‍රමසිංහට ගායනා කරන්නට ලැබිණ. එය “හිම පාරාදීසේ” නමින් සංයුක්ත තැටියක් ලෙස “තරංගා” ලේබලයෙන් නිකුත් විය. අද විජය රාමනායක ද ජීවතුන් අතර නැත. 

මහින්ද බණ්ඩාර විසින්  සංගීතවත් කරන ලද මවිසින් ලියන ලද එක් ගීතයකට ජගත් බෙහෙවින් ප්‍රිය කරයි. මිල්ටන්ගේ හඬින් අසන්නට සිටි “රැය ගෙවී” ගීතය දැන් අසන්නේ ජගත්ගේ හඬිනි. මගේ ගීත රචනයේදී බෙහෙවින් උදව් කළ අභාවප්‍රාප්ත ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා මිල්ටන්ගේ අවසන් ගීත පොකුරට ගීත ලියන්නට මට අවස්ථාව දුන් බව කෘතවේදීව සඳහන් කළ යුතුය. මේ එම ගීතයයි.

රැය ගෙවී 
හිරු නැගී
කාලයේ වැලි තලේ
මිහිරි වූ යෞවනේ 
යළි නොඒ 

සිත බිඳී කලකිරී
ජීවිතේ වැටි වැටී 
හඬන මේ යෞවනේ 
යළි නොඒ 

රඟ මඬලේදී රාත්‍රියේ 
ගී පොතේ වෙලී
රන් කුසලානේ මී පිරූ 
ආදරේ සෙවූ 
මියගිය ඊයේ සිහිනෙකි
රැය ගෙවී...

දිවි කතරේදී ඈ මගේ
වේදනා නිවා 
මල් මදහාසේ රන්දනා 
මා නෙතේ සදා 
මියගිය ඊයේ සිහිනෙකි....

රොඩ්නි විදානපතිරණ