මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසූ චෝදනාවෙන් බොදුබල සේනා සාමාජිකයන් නිදොස් කොට නිදහස්


පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් පල්ලියට සිදුවී තිබූ හානි.

වර්තමානයේ ලොව පුරා පැතිර පවතින ආගමික යුද්ධයක් හේතුවෙන් මුළු ලොවම කැලඹීමට පත්ව අවසානය. සැබැවින්ම මෙය ආගමික යුද්ධයක් නොව ආගමික අන්තවාදයකි. තමන්ගේ ආගමික මතය පිළිබඳව නිදහස් අදහස් දැරීමේ අයිතිය ඕනෑම ජාතියකට ඕනෑම පුද්ගලයෙකුට පවතී. නමුත් එම අයිතිය තවත් ආගමකට හෝ ජාතියකට හිංසාවක් නොවිය යුතුය. එසේම යටපත් කිරීමටද නොහැකිය.   
අපේ රට ද මේ ආගමික යුද්ධයට ගොදුරුව පැවතුනද එය ජීවිත වනසන යුද්ධයක් නොව අදහස් ප්‍රකාශ කිරීමෙන් සිදුකෙරෙන යුද්ධයකි.   
විශේෂයෙන්ම බොදුබල සේනා සංවිධානය සිංහල බෞද්ධයින් වෙනුවෙන්ද, උලමා වැනි සංවිධාන මුස්ලිම් ජාතීන් වෙනුවෙන්ද මේ යුද්ධයේදී පෙනීසිටින අතර, ඇතැම් දේශපාලනඥයින් තම දේශපාලන වාසි තකා මේ ආගම්වාදී ගින්නට පිදුරු දමමින් සිටින ආකාරයද දැකගත හැකිය.   


මෙසේ ජාතිවාදය වපුරන මුස්ලිම් දේශපාලනඥයින්ට එරෙහිව ආණ්ඩුව කිසිදු පියවරක් නොගත්තද බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටින බව කියන බොදුබල සේනා සංවිධානය සහ එහි ජාතික සංවිධායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කටයුතු කරමින් සිටින ආකාරය දැකගත හැකිවේ.   


මීට සම්බන්ධ අපූරු සිදුවීමක් පසුගිය දිනයක වාර්තා වූයේ කුරුණෑගලින්ය.   


ඒ කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමය. මෙම සිදුවීම රට තුළ විශාල කැලඹීමක් ඇතිකළ සිදුවීමක් ලෙස වාර්තා විය.   


ඒ වනවිට දිවයින පුරා මුස්ලිම් පල්ලි කීපයකට සහ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන කීපයකට ප්‍රහාර එල්ලකොට හානි සිදුකර තිබෙන බව වාර්තා වූ අතර, මේ සියල්ලටම අන්තවාදී බෞද්ධ සංවිධාන වගකිවයුතු බව ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ කටට ආ පළියට දුරදිග නොබලා ය. ඒ ඔවුන්ගේ දේශපාලන පැවැත්ම සඳහා ය. නමුත් ඇතැම් සිදුවීම්වලට හේතුව ස්වභාවික ආපදාවන් බවට අනාවරණය වූයේ මේ ජාතිවාදී දේශපාලනඥයින් නිර්වස්ත්‍ර කරමින් ය.   


මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ පසුගිය මැයි මස 21 වැනි දින අලුයම එකට පමණය. කුරුණෑගල - මහනුවර ප්‍රධාන මාර්ගය අද්දරම පිහිටි මෙම පල්ලිය පිහිටියේ ජනාකීර්ණ පසුබිමක ය.   


එවැනි ස්ථානයකට ප්‍රහාරයක් එල්ලකොට පහසුවෙන් බේරි යා නොහැකිය. නමුත් කුඩා වීදුරු බෝතල් කීපයක් යොදා සකස් කළ පෙට්‍රල් බෝම්බ හතරකින්ම පල්ලියට පහරදී තිබූ අතර ඉන් එක් බෝම්බයක් පමණක් පුපුරා ගොස් තිබුණි. ඉන් තෙමහල් ගොඩනැගිල්ලකින් යුත් පල්ලියේ පළමු මහලේ බිත්තියක් කළු පැහැගැන්වී ජනේල වීදුරුවක්ද පුපුරා ගොස් තිබුණි. පල්ලිය අසලින් විහිදෙන දොරටියාව මාර්ගය දෙස සිට මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පැවසේ.   


මෙම සිද්ධිය කඩිගුලක් ඇවිස්සුවා සේ විය. සිද්ධිය වාර්තා වූ අලුයම සිට මෙම ස්ථානය මුස්ලිම් ජාතිකයින්ගෙන්, පොලිස් නිලධාරීන්ගෙන්, ප්‍රදේශයේ මුස්ලිම් දේශපාලනඥයින්ගෙන් පිරීගියේය. සිද්ධියට විවිධ අර්ථකථන සැපයිනි.   


කෙසේ වුවද බොහෝදෙනෙකු බලාපොරොත්තුවූ ආකාරයෙන්ම මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට එල්ලවූ ප්‍රහාරය පිළිබඳ සැකය ද බොදුබල සේනා සංවිධානය දෙසට යොමුවිය.   


එම සැකයට බලපෑ ප්‍රධානම හේතුව වූයේ ඊට පෙර දින රාත්‍රියේදී බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා සම්බන්ධ සිදුවීමක් කුරුණෑගලින්ම වාර්තාවීමය.   


අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය මගින් වරෙන්තු ලබා සිටි ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ සිට විශේෂ පොලිස් කණ්ඩායමක් කුරුණෑගලට පැමිණීම සහ බොදුබල සේනා සංවිධානයේ ආධාරකරුවන්ගේ සහ ජනතාවගේ විරෝධය මධ්‍යයේ පොලිසියේ උත්සාහය අසාර්ථකවීම එම සිදුවීම ලෙස වාර්තා විය.   


පොලිසියට සොයාගත නොහැකිවූ ඥානසාර හිමියෝ පසුව කුරුණෑගල අැත්කඳ රාජමහා විහාරයේ කෙටි වේලාවක් ගතකොට පසුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ බව වාර්තා විය. උන්වහන්සේ ගියේ කොහේදැයි කියා සොයා ගැනීම පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට පවා අසීරු වී තිබුණි.   


ඥානසාර හිමියන් පොලිසිය විසින් රාත්‍රියේ මහමග රැක සිට මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගැනීමට යාමේ සිදුවීමද පසුදින වෙනවිට රටම කැලඹවූ පුවතක් විය. එම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන මගින් සමාජජාලා වෙබ් අඩවි මෙම සිදුවීමට විශාල ප්‍රචාරයක්ද ලබාදී තිබුණි.   


එම සිද්ධියෙන් පසුව ඥානසාර හිමියන් ඇතුළු පිරිස මහනුවර දෙසට ගිය බව වාර්තා වූ අතර මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට ප්‍රහාරය එල්ලවී තිබුණේද එම කාලවකවානුව ආසන්නයේ ම ය. මේ නිසාම ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට කෝපාවිෂ්ටවූ බොදුබල සේනා සාමාජිකයෝ පිරිසක් ඊට පළිගැනීමක් ලෙස පල්ලියට පෙට්‍රල් බෝම්බ ගසන්නට ඇතැයි කාගේත් පොදු සැකය විය.   
මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවූ පොලීසියේ සැකයද පෙරකී හේතූන් මත බොදුබල සේනා සංවිධානය වෙත යොමුවිය.   


මෙම සිදුවීම අරබයා යම් ජාතිවාදී ප්‍රශ්නයක් නිර්මාණය විය හැකිව තිබූ බැවින් සිද්ධියට අදාළ සැකකරුවන් සොයා අත්අඩංගුවට ගැනීමේ පීඩනය ද පොලීසියට යොමුව තිබුණි.   


මල්ලවපිටිය ප්‍ර​දේශය යනු සිංහල සහ මුස්ලිම් ජාතීන් කාලයක සිට ඉතාම සාමයෙන්, සමගියෙන්, ළෙංගතුකමින් ඇසුරු කරමින් දිවිගෙවන පෙදෙසකි. මෙම ප්‍රදේශයෙන් මින් පෙර කිසිදු අවස්ථාවක සිංහල මුස්ලිම් ජනතාව අතර සාමය කඩවීමේ සිදුවීමක් වාර්තා නොවීය.   


මෙම සිද්ධියට අදාළව දින කීපයක්ම පරික්ෂණ සිදුකළ පොලීසියේ සැකය අංශ කීපයක් කෙරෙහිම යොමු විය. සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම් මෙන්ම වාර්ගික සමගියට අකමැති අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් හෝ මෙම ප්‍රහාරය පසුපස සිටිය හැකි බව පොලිසියේ සැකය විය.   


ඒ අතරේ දී පල්ලියේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතිය ද පොලීසියේ පරික්ෂාවට ලක්කෙරිණි. නිසි ලෙස ස්ථානගත නොකර, නිසියාකාර නඩත්තුවකට ලක් නොවී තිබූ එම පද්ධතියේ පටිගතවී තිබූ දර්ශන බෙහෙවින් අපැහැදිලි විය.   


එම දර්ශන ඉතා සීරුවට නරඹමින් සිටි කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ප්‍රහාරය සිදුවූ අවස්ථාව ආසන්නයේම පල්ලිය අසල මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක දර්ශන අනාවරණය කර ගැනීමට හැකිවිය.   


ඉතා අසීරුවෙන් එම යතුරුපැදියට සම්බන්ධ යම් යම් විස්තර සටහන් කරගත් පොලිස් නිලධාරීහු ඒ හා සම්බන්ධ යතුරුපැදියක් කුරුණෑගල ප්‍රදේශයේ තිබේදැයි සොයා බලන්නට වූහ. ඒ ඔස්සේ ගිය පොලිස් නිලධාරීන්ට සීසීටීවී කැමරා දර්ශනවල තිබූ යතුරුපැදියක් හා සමාන යතුරුපැදියක් කුරුණෑගල නගරයෙන්ම සොයා ගැනීමට හැකිවිය.   


එම යතුරුපැදියද සමග අත්අඩංගුවට ගන්නා ලද තරුණයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තවත් තරුණයකුද අත්අඩංගුවට ගනු ලැබූහ. මොවුන් දෙදෙනාම කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වූහ.   


දෙදෙනාගෙන් වැඩිදුර කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූයේ දෙදෙනාම බොදුබල සේනා සංවිධානයේ කුරුණෑගල ප්‍රදේශයේ ක්‍රියාකාරී සාමාජිකයින් බවය. ඒ බව වඩාත් තහවුරු වූයේ එක් සැකකරුවකුගේ නිවෙසක තිබී බොදුබල සේනා සංවිධානයට අයත් ප්‍රචාරක පත්‍රිකා තොගයක්ද හමුවීමෙනි.   


මෙම සිද්ධියට රජයෙන්ම විශාල ප්‍රචාරයක් ලබාදුන් අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ වෙනුවෙන්ම මාධ්‍ය හමුවක් පවත්වා මල්ලවපිටිය ප්‍රහාරයට සම්බන්ධ වූවන් බොදුබල සේනා සංවිධානයට සම්බන්ධවූවන් බව ද ප්‍රචාරය කළේ එම සිද්ධියේ සියලු තොරතුරු අංගසම්පූර්ණවම අනාවරණය කරගෙන ඇති බව හුවා දක්වමින්ය.   


නමුත් පොලිසියට ද වැරැදුණු තැනක් විය. තම සේවාදායකයින් දෙදෙනා මෙම ප්‍රහාරයට සම්බන්ධ නැති අහිංසක, නිර්දෝෂී පුද්ගලයින් බවද, පොලිසිය සොයාගත් සීසීටීවී දර්ශන පිළිගත නොහැකි බවද සැකකාර තරුණයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමන් බංඩාර දිසානායක මහතා අධිකරණය හමුවේ දැඩිව කියා සිටියේය.  


තරුණයින් දෙදෙනා අදාළ සිද්ධිය වූ දිනයේ සිටියේ කුරුණෑගල නොව කතරගම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි බවද නීතිඥවරයා කියා සිටියේය. ඊට අදාළව කතරගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සැකකරුවන් දෙදෙනා සිටි බව දැක්වෙන සීසීටීවී කැමරා දර්ශනද නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.  


දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අවධානය යොමුකළ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා මල්ලවපිටිය මුස්ලිම් පල්ලියෙන් ලබාගත් සීසීටීවී කැමරා දර්ශන වැඩිදුර පරික්ෂා කර බැලීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙස පොලීසියට නියම කළේය.  


පසුගිය 23 වැනි දින එම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ද අධිකරණය වෙත ලැබී තිබුණි.  
මල්ලවපිටිය මුස්ලිම් පල්ලියෙන් ලබාගෙන තිබූ සීසීටීවී දර්ශන ඉතා අපැහැදිලි බවද එම දර්ශනවලින් පුද්ගලයකු හෝ වාහනයක් හෝ පැහැදිලිව හඳුනාගැනීම අපහසු බවද රජයේ රස පරික්ෂකවරයා තම වාර්තාවෙන් නිගමනය කර තිබුණි.  


එම වාර්තාව සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා වැරැදි නිගමනවලට එළඹ මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති තරුණයින් දෙදෙනෙකුව සැකපිට අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලීසියට දැඩි ලෙස අවවාද කර මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණයින් දෙදෙනාව එම සිද්ධිය සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.  


ඒ අනුව කුරුණෑගල ගැට්ටුවානේ පදිංචි උපුල් ගම්ලත් සහ සුපුන් සමීර නමැති තරුණයින් දෙදෙනා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කෙරිණ.  


‘‘රජයේ රස පරීක්ෂකවරයාගේ නිගමනය තීරණාත්මක සාක්ෂියක් සහ සාධකයක් වෙනවා. ඒ අනුව අදාළ සිදුවීමට මෙම තරුණයින් දෙදෙනා සම්බන්ධ නැති බවට පැහැදිලිවම තහවුරු වෙනවා. මේ සිදුවීමට සම්බන්ධ නියම සැකකරුවන් තවම නිදැල්ලේ ඉන්නවා. වහාම ඔවුන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න’’ යැයිද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.  
වර්තමානයේදී අපරාධ හෙළිකර ගැනීමට ප්‍රබලම මාධ්‍යයක් බවට පත්ව තිබෙන සීසීටීවී කැමරාව නොවන්නට මේ තරුණයින් දෙදෙනා මෙරට තවත් ජාතිවාදී සිදුවීමක ප්‍රබල කොටස්කාරයන් වීමට ඉඩකඩ තිබුණි. එසේම බොදු බල සේනා සංවිධානයේ ගිණුමට මල්ලවපිටිය මුස්ලිම් පල්ලියේ ප්‍රහාරය ද බැරවීමට ඉඩ තිබුණි. ඒ සියල්ල වැළැකී ගියේ සීසීටීවී කැමරාවට පින්සිදු වෙන්නටය.  
මෙම මුස්ලිම් පල්ලියේ ඇතුළත කොටසක තිබූ පිංකැටයද මීට වසරකට පමණ ඉහත දී සොරකම් කර තිබෙන අතර ඊට සම්බන්ධ සැකකරුවන්ද මෙතෙක් සොයා ගැනීමට හැකිවී නැත.  

පුෂ්පකුමාර ජයරත්න