මහාපාල හිමියෝ බුදුන් වෙත ගියහ. සිරිපා වැන්දහ. ස්වාමීනි! මේ සසුනේ ධූර කීයක් ඇද්ද? ඇසූහ.
ග්‍රන්ථ ධූර විදර්ශනා ධූර වශයෙන් දෙකකි. බුදුහු පැවසූහ.
ස්වාමීනි! ග්‍රන්ථ ධූරය කුමක්ද? විදර්ශනා ධූරය කුමක්ද?
මට පහදා දෙන්න.
මහණ, තමන්ගේ නුවණට අනුරූප ලෙස නිකාය ග්‍රන්ථ මෙන්ම ත්‍රිපිටකය ඉගෙන ගැනීම, එය ධාරණය කර ගැනීම ග්‍රන්ථ ධූරයයි. සැහැල්ලු ඇවැතුම්වලින් යුතුව සෙනසුන් කරා ගොස් විසීම, භවයේ ඉපදීම මිය යෑම ගැන සිතීම, අනිත්‍ය දුක්ඛ අනාත්මක යන ත්‍රිලක්ෂණ අනුව භාවනා වැඩීම, ඉන් රහත් ඵලයට පත්වීම විදර්ශනා ධූරය වෙයි. බුදුහු පහදා දුන්සේක.
ස්වාමීනි! මම මහලු වී පැවිදි වූවෙමි. ග්‍රන්ථ ධූරය ලැබීම අපහසුය. එබැවින් විදර්ශනා ධූරය පුරමි. ඒ සඳහා මට කමටහන් දෙනු මැනවි. ඒ හිමියෝ ඉල්ලා සිටියහ. බුදුන්වහන්ෙස් කමටහන් දුන්සේක.
මහාපාල හිමියෝ බුදුන් වැන්දහ. ගඳකිළියෙන් පිටවූහ. තමන් සමග විදර්ශනා ධූර පිරීමට යෑමට කැමැති භික්ෂූන් තෝරා ගත්හ. එසේ හැට නමක් ආහ. පිටත්වූහ. යොදුන් එකසිය විස්සක් මගගෙවූහ. පිටිසර ගමකට වැඩියහ. එහි පිඬු සිඟා ගියහ. එගම වැසියෝ උන්වහන්සේලා ගැන පැහැදුණහ. ප්‍රණීත ආහාර පාන පිදූහ. ඔබ වහන්සේලා වෙන කොහේවත් නොවඩින්න. මෙගමම වැඩ සිටින්න. එවිට අපට නිතර දන් පිදිය හැක. සිල් සමාදන් විය හැක. ගැමියෝ ඉල්ලා සිටියහ.
උන්වහන්සේලා ඊට කැමති වූහ.
එගම වැසිෙයා් කඩිනමින් විහාරයක් තැනූහ. පූජා කළහ. උන්වහන්සේලා එහි වැඩ සිටියහ.
මේ අතර එක වෛද්‍යවරයෙක් විහාරයට ආවේය. හිමිවරුන්ට වැන්දේය. ස්වාමීනි! කීප දෙනෙක් එකට විසීම හොඳ නැත. යම් යම් ලෙඩ රෝග ඇතිවෙයි. එසේ වුවහොත් මට දන්වනු මැනවි. මම ඊට ප්‍රතිකාර කරමි කීවේය. හිමිවරුන්ට ගෞරව දක්වා යන්න ගියේය.
උන්වහන්සේලා එය පිළිගත්හ. මේ අතර වස්කාලය එළැඹිණි. මහාපාල හිමියෝ අනෙක් භික්ෂූන් ඇමතූහ.
ඇවත්නි! මේ තුන් මාසය ඉරියව් කීයකින් ගත කරන්නාහුද?
ස්වාමීනි! ඉරියව් හතරකින්ය.
එය සුදුසුද? අප පමා විය යුතු නැත. ජීවමාන බුදුරජාණන්ගෙන් අපි කමටහන් ගෙන ආවෙමු. සට කපටකම්වලින් බුදුවරුන් සතුටු කළ නොහැක. යහපත් ලෙස සතුටු කළ හැක. පමාවීම සතර අපා තම ගෙදර ඇතිකර ගැනීමකි. එබැවින් අප්‍රමාද වෙමු. මම නම් ඉරියව් තුනකින් වස්කාලය ගෙවමි.
ස්වාමීනි! යහපති අනෙක් භික්ෂූහු පැවැසූහ.
එතැන් සිට පාල තෙරණුවෝ නිදා නොගත්හ. එසේ මසක් ගතවිය. උන්වහන්සේට ඇස් රෝගයක් හටගත්තේය. දෑසින් කඳුළු වැගිරිණි. එය ගණන් නොගත්හ. ශ්‍රමණ ධර්මයේම යෙදී සිටියහ. අනෙක් භික්ෂූහු ළඟට ආහ.
ස්වාමීනි පිඬු සිඟා යන වේලාවයි දැන්වූහ.
එසේනම් පා සිවුරු ගන්න කීහ. පිටත් වූහ. උන්වහන්සේගේ දෙෙනතින් කඳුළු වැගිරෙන බව භික්ෂූහු දුටුහ.
ස්වාමීනි කිමෙක්ද කඳුළු ගලන්නේ.
ඇවැත්නි ඇසේ සුළු රෝගයක්.
ස්වාමීනි! විහාරයට ආ වෛද්‍යවරයාට දන්වමු.
යහපති. පාල හිමියෝ කීහ. භික්ෂූහු වෛද්‍යවරයා හමු වූහ. ඔහු තෙලක් දුන්නේය. නාසයට දමන්න කීවේය.
පසු දිනක ඒ වෛද්‍යවරයා පාල හිමියන් බලන්න ආවේය.
ස්වාමීනි තවමත් ඇස්රුදාව නේද?
එසේය.
ස්වාමීනි! ඔබවහන්සේ නාසයට තෙල් දැමුවේ ඉඳ ගෙනද නිදාගෙනද?
උන්වහන්සේ නිහඬ වූහ.
වෛද්‍යවරයා උන්වහන්සේගේ කුටිය පරීක්ෂා කර බැලීය. එහි නිදාගන්න තැනක් නොවීය. ඔහුට කාරණය අවබෝධ විය. ස්වාමීනි ශ්‍රමණධර්මය ශරීරය යහපත්ව රැකෙන තුරු කළ හැක. එබැවින් නිදාගෙන තෙල් දමන්න කීවේය.
දැන් ඔබ යන්න. මම සුදුස්සක් කරමි. පාල තෙරණුවෝ කීහ.
(ධම්මපදට්ඨකථා ඇසුරිණි)
හලලියේ කරුණාතිලක