සතුන්ට ගිනි බින්ද හීංඅප්පාට කළ කම් පල දුන් හැටි


ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක ඇවැසිය. මෙම විශේෂංගය ඒ වෙනුවෙනි.
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවූ කතාවක් මෙසේය.
සතුන්ට ගිනි බින්ද හීංඅප්පාට කළ කම් පළ දුන් හැටි   


කර්මය යනුවෙන් අදහස් කරන්නේ යම් කිසි කාර්යයක් කිරීමයි. එම ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵලය කර්ම විපාකය වශයෙන් හඳුන්වයි. මිනිසුන් විසින් කරන ගොවිතැන් කටයුතු වෙළඳාම් රජයේ රැකියාවන් ආදී ක්‍රියාවන්ගෙන් ද එල ලැබෙයි. එහෙත් කර්ම යන වචනයෙහි එයට එහා ගිය දාර්ශනික අර්ථයක් ඇත. මෙයින් ගම්‍ය වන්නේ යහපත් සහ අයහපත් (කුසල් සහ අකුසල්) ක්‍රියාවන් වෙයි. මේ සියල්ලටම මුල් වන්නේ චේතනාවයි. චේතනා යනුවෙන් අදහස් කරන්නේ ද චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයයි. හැඟීම්, සිතිවිලි නොමැතිව කරන ක්‍රියාවන්හි විපාක දීමට සමත්කමක් නැත. විපාක දෙන කාල වශයෙන් බුදු දහමෙහි කර්ම හතරක් දක්වා ඇත. එනම් 1. දිට්ඨධම්මවේදනීය කර්ම. 2. උප්පජ්ජවේදනීය කර්ම. 3. අපරාපරියවේදනීය කර්ම. 4. අහෝසි කර්ම යනුවෙනි. මේවා අතරින් වර්තමාන ජීවිතයේදීම විපාක ලබා දෙන කර්ම දිට්ඨධම්මවේදනීය කර්ම වෙති. දෙවැනි භවයේ දී විපාක දෙන කර්ම උපප්ජවේදනීය කර්ම වෙයි. තුන්වැනි භවයෙහි පටන් නිවන් දක්නා ආත්මය දක්වා ඉඩත් ලැබෙන අවස්ථාවක විපාක දෙන කර්ම අපරාපරියවේදනීය කර්ම වශයෙන් හඳුන්වයි. කිසියම් කාලයකවත් විපාක ලබා නොදී අහෝසි වී යන කර්ම අහෝසි කර්ම වශයෙන් හඳුන්වයි.   


ගොවිතැන් කටයුත්තක් කරන පුද්ගලයා සතියකින් නැතහොත් දෙකකින් එහි අස්වැන්න ලබා ගත හැකි නම් වඩාත් කැමති වනු ඇත. එසේ වුවත් එය සිදු නොවන දෙයකි. බීජ පැළ වී, වර්ධනය වී, මල් හටගෙන කරල් හට ගෙන ඒවා පැසී අස්වනු නෙළා ගැනීමට කාලයක් ගත වෙයි. එමෙන්ම කර්මය කළ විගසම එහි විපාක නොලැබෙන අවස්ථාවන් ඇත. එම කර්ම ද පැසී මේරීමට පත්ව විපාක ලබා දීමට කාලයක් ගතවනු ඇත. යම්තාක් කල් අකුසලය විපාක නොදෙයි ද, ඒතාක් අනුවණයා එය මී පැණි මෙන් මිහිරි කොට සිතයි. කිසියම් කලෙක අකුසල කර්මයට විපාක දෙයි ද, එවිට එම අනුවණයා බලවත් දුකට පත් වෙයි. කර්ම විපාක ලබා දීම පිළිබඳ සිතන විට එය ඉතා සංකීර්ණ වූ දෙයකි. එය එක්තරා නිශ්චිත නියමයකට අනුව ද සිදු නොවේ. එසේ නියතියකට අනුව සිදු වන්නේ නම් එක හා සමාන කර්මයක් කළ දෙදෙනකුට එක හා සමාන විපාකයන් ලැබිය යුතුය. එහෙත් එලෙස සිදු නොවේ. උපත ලබා සිටින භවය, ආත්ම ප්‍රතිලාභයේ ස්වභාවය, උපත ලැබු ජනක කර්මයේ විපාක ශක්තිය, අකුසල හෝ කුසල කර්මය සිදු කරන අවස්ථාවෙහි පුද්ගල මනස ක්‍රියා කළ ආකාරය, වැනි ප්‍රබල සාධක රැසක් විපාක දී​ෙම් ක්‍රියාවලියේදී බලපානු ලබයි. එබැවින් එක සමාන අකුසලයක් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකුට එක සමාන විපාක නොලැබෙන බව පැහැදිලිය.   


එක් එළු දෙනකගේ හිස සිඳු තැනැත්තියකට එම එළු දෙනගේ ලොම් ගණනට හිස සිදුම් කැමට සිදු වු බව ලෝවැඩ සඟරාවේ සඳහන් වෙයි. චක්කුපාල තෙරුන් ආත්ම පන්සියයකට පෙර සිදු කළ අකුසලයක් නිසා උන් වහන්සේගේ නෙත් අන්ධ වු බව සඳහන් වෙයි. එඩ්ගා කේසි වැනි මනෝ විද්‍යාඥයන් කරන ලද පරීක්ෂණ වලදී පෙර ආත්මයක සිරකරුවන් පිරිසකගේ ඇස් අන්ධ කළ පුද්ගලයකු මේ ආත්ම​යේදී උපතින්ම නෙත් අඳ පුද්ගලයකු බවට පත් විය. කර්ම විපාක පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් මේවා මගින් ලබා ගත හැකිය. යමෙක් ප්‍රාණඝාතය සිදු කරන්නේ නම් එහි විපාක වශයෙන් මතු ආත්ම වල දී ඔහු බෙලහීන, අංග විකල, ඔත්පල පුද්ගලයකු වශයෙන් උපත ලබා ඔහුගේ මුළු ජීවිත කාලයම දුක් විඳින්නකු බවත් පත් වෙයි. මෙවැනි අකුසල කර්ම වලට ආත්ම සිය දහස් ගණනක් විපාක ලැබිය හැකිය. එයට හේතුව නම් සතුන්ගේ මාංස ආහාරයට ගැනීමෙන් සහ එම මස් අලෙවි කර එමගින් සිය සිරුර පෝෂණය කිරීමේ විපාක වශයෙනි. ඇතැම් විට ඔවුන් මව් කුස තුළදීම අකර්මණ්‍ය අංග විකල පුද්ගලයන් වශයෙන් සිට උපත ලැබිය හැක. තමන් ඝාතනය නොකළත්, වෙළෙඳපොළෙන් මිලයට ගෙන මස් මාංස අනුභව කළ ද නරක විපාක ලැබිය හැක. මක් නිසාද යත්, එයින් සත්ත්ව ඝාතනයට අනුබලයක් ලැබෙන නිසාය. ඒ නිසාම නොකළ යුතු වෙළඳාම් පහට මාංස වෙළෙඳාම ද ඇතුළත්ව ඇත. එහෙත් ඔහුට ප්‍රාණඝාත අකුසලය සිදු නොවිය හැක. මක් නිසාද යත්, ප්‍රාණඝාත අකුසලයක් සිදු වීමට තිබිය යුතු කරුණු පහක් ඔහුගෙන් සිදු නොවන බැවිනි.   


ප්‍රාණඝාතය වනාහී බරපතළ අකුසල කර්මයකි. ඉහත සඳහන් ආකාරයට දිට්ඨධම්මවේදනීය වශයෙන් මේ ජීවිතයේදීම පළ දෙන අකුසල කර්මයකි. උපන් හැම ආත්මයකම අල්පායුෂ ලැබෙන අකුසලයකි. මේ පිළිබඳ මහා ධර්මපාල ජාතකය වැනි කතා වලත් චුල්ලකම්මවිභංග වැනි සූත්‍ර වලත් කරුණු පැහැදිලි කර ඇත. ඇතැම් මිනිස්සු කිසිදු සත්ත්ව කරුණාවක් නොමැතිව පරපණ නසති. සකලවිධ ප්‍රාණීන් ​ෙකරෙහි කරුණාව, මෛත්‍රිය, දැක්වීම උතුම් මිනිසුන්ගේ ලක්ෂණයකි. සත්ත්ව ඝාතනය කරන පුද්ගලයෝ හැම අතින්ම පරිහාණියට පත් වෙති. ඔවුන්ගේ ජීවිත කාලයටම සතුටක් ලැබෙන්නේ නැත. මහත් දුකක් අත් විඳ මිය ගිය පසුව ද සුගතියක් නොලබති. ඔවුනට හිමි වන්නේ දුගතියමය. උපන් කිසිඳු ආත්මයක දිර්ඝායුෂ නොලබති. ඉතා අඩු වයසින් මරණයට පත් වෙති. මෙවැනි දෙයට උදාහරණ අප ජීවත් වන මෙම සමාජය තුළින් දැක ගත හැකිය. එහෙත් මේවා ගැන අවධානය යොමු කරන පිරිස් අල්පය. කුමන සතකු වුවද කුමන ආකාරයෙන් හෝ ඝාතනය කර අනුභව කිරීමට තරම් මිලේච්ඡ මිනිසුන් අප සමාජයේ වෙසෙති. ඔවුනට මේ ජීවිතයේදී එවැනි අකුසල් වල ප්‍රතිවිපාක අත් විඳීමට සිදු වෙයි. මෙම කරුණු වලට කදිම නිදසුනක් නම් හීං අප්පාගේ කථා පුවතයි.  

 
හීං අප්පා යනු ඔහුගේ නියම නම නොවේ. කුඩා කළ සිටම නිවැසියන් ඔහු ඇමතුවේ එම නමිනි. උතුරු මැද පළාතට අයත් පිටිසර ගම්මානයකට විසූ ඔහු කුඩා කළ ලබා ගත යුතු පාසල් අධ්‍යාපනය නොලැබූ නිසා අකුරු ශාස්ත්‍රයද හරි හැටි නොදත් පුද්ගල​ෙයකි. ඒ නිසා හෙතෙම අණක් ගුණක් නැති පුද්ගලයකු වශයෙන් කටයුතු කළේය. කසිප්පු නමැති මත් වතුරට ඇබ්බැහි වූ හෙතෙම දවස පුරාම ගත ක​ෙල් බමණ මතිනි. කසිප්පු වලට ඇබ්බැහි වූ ඔහුට තුන් වේලටම මසක් හෝ මාළු අවශ්‍ය විය. කර දඬු උස් වූ ඔහු අඹුවක් ද කැඳවා ගෙන ආවේ ය. වැවක් ආසන්නයේ පැල්පතක් අටවා ගෙන එහි විසු ඔහු මසුන් මරා ​අලෙවි කිරීම රැකියාව වශයෙන් කරන ලදි.   
මසුන් මැරීම සඳහා දැල් දැමූ පසු වැවෙහි සිටින ඉබ්බන් ද ඔහුගේ දැළට පැටලුණි. එසේ දැලට පැටලෙන ඉබ්බන් පණ තිබියදී පැල්පතට රැගෙන එන හෙතෙම ඉතා අමානුෂික අයුරින් ඉබ්බන් ද ඝාතනය කර, ආහාරයට ගත්තේය. ඔහුගේ පැල්පත අවට ඉබි කටු ගොඩවල් තිබුණි. දරුවන් දෙ​ෙද​නකු සිටි ඔහු ඉබ්බන් ඝාතනය කළේ‍ දරුවන් ද ඉදිරිපිටදීය. ඉබ්බන් නඟන හඬ ඈතට අැසුණත් බොහෝ දෙනකු හිතන්නේ එය දරුවන් හඬන හඬ වශයෙන්ය. මෙම අපරාධ නතර කිරීමට බිරිය කොතරම් උත්සාහ කළත් සාර්ථක නොවුණි. අවසන ඇය දරු දෙදෙනා ද රැගෙන මහ ගෙදරට ගියාය. හුදකලාව විසූ හීංඅප්පා තම දිවි පෙවත සුපුරුදු අයුරින්ම ගෙන ගියේය.   


හීං අප්පා ඉඳ හිට ලොකු සතුන් දඩයම් කළේය. ඔහු කෙසේ හෝ බෙහෙත් කොටන තුවක්කුවක් සොයා ගත්තේය. බෙහෙත් කොටන තුවක්කු යනු වෙඩි බෙහෙත් සහ උණ්ඩ මූනිස්සං දමා තමාම සකස් කර ගත් වෙඩිල්ලක් සතාට එල්ල කර වෙඩි තබන තුවක්කුවකි. ඝාතනය කරන සතාගේ ප්‍රමාණයට එම වෙඩිල්ල සකස් කර ගත හැකිය. උදාහරණයක් වශයෙන් ඝාතනය කරන්නට බලාපොරොත්තු වනුයේ සාවකු වැනි කුඩා සතකු නම් එයට සරිලන අයුරින් සහ ඌරකු මුවකු වැනි ලොකු සතකු නම් එයට ගැළපෙන අයුරින් වෙඩිල්ල සකස් කර ගත හැකිය. දිනක් ලොකු සතකු මරා ගැනීමට අදහස් කළ හීං අප්පා ​ලොකු වෙඩිල්ලක් කෙටුවේය.  


එසේ සූදානම් කර ගත් තුවක්කුව රැගෙන වැව අසලට ගොස් ගස් දෙබලක වාඩි වී මධ්‍යම රාත්‍රිය තෙක් බලා සිටියේ ඌරු රංචුව දිය බීමට වැව් මංකඩට එන තෙක්ය. ඔහුගේ බලාපොරොත්තුව සපල කරමින් ඌරු රංචුව වැවට ගෑටුවේය. හෙතෙම රංචුවේ සිටි ලොකුම ඌරාට ඉල්ලක්කය ගත්තේය. කොකා ගැස්සුවේය. මහා හඬ නංවමින් වෙඩිල්ල පත්තු විය. තුවක්කුව ද ගැස්සුණි. ගැස්සුණ වේගය කොතෙක් ද යත් හිං අප්පා ද ගස් දෙබලෙන් පහතට වැටුණි. වැටුණ වේගය නිසා ඔහුගේ හිස පොළොවෙහි වැදීමෙන් ගෙල කැඩී ගියේ ඔහුට කිසිඳු හඬක් නොනැගිය හැකි පරිද්දෙනි. ඔහුගේ ඉඳිමුණ සිරුර දැකීමට හැකි වුයේ පසු දින සවස් භාගයේය. ඒ වන විටත් මිය ගිය ඌරාගේ සිරුර සහ පව්කාරයාගේ සිරුර නරක් වෙමින් තිබුණි. දුර්ගන්ධය හමමින් තිබුණි. මෙයින් පැහැදිලි වන්නේ ඔහු කරන ලද අකුසල් වලට විපාකය මේ ජීවිතයේදීම ලැබුණ බවයි. සත්ත්ව ඝාතනය මහා පාප කර්මයකි.


​ෙමබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්