ආදිවාසීහු හෙවත් වැදි ජනතාව යනු අප රටේ සංස්කෘතියේ තවත් පැතිකඩක් ආවරණය කරන්නාවූ ජන කොටසකි. දඩයම් කිරීමත් ගොවිතැනත් තම ජීවිතයේ ප්‍රධාන අංගයක් කර ගත් ආදිවාසී ජනතාවගෙන් බහුතරයක් තවමත් දඹාන, හෙන්නානිගල, රතුගල, නිල්ගල ආදී කැලෑබද ප්‍රදේශයන්ට වී කාණ්ඩ වශයෙන් හුදකලාව දිවි ගෙවති.
ආදිවාසී ජනතාව ගැන කතා කරන බොහෝ දෙනෙකුට එක්වරම සිහියට නැගෙන්නේ දඹාන කොටබකිනියේ ආදිවාසී ගම්මානයයි. ඌරුවරිගේ වන්නියලැඇත්තෝ එහි නායක ඇත්තෝය. රට තොට පිළිබඳව පමණක් නොව සත් සමුදුරෙන් එහා ලෝකය ගැනද ඔහුට මනා අවබෝධයක් තිබුණද ආදිවාසී ගම්මානයේ බහුතරයක් සෙසු සාමාජිකයෝ එසේ නොවෙති.
පරම්පරාවෙන් උරුම වූ කැලේ අයිතිය අහිමිවීමත් සමඟම එදා වේල සොයාගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටින ආදිවාසීහු බොහෝ දෙනෙකු රට තුළ සිදුවන දේශපාලනික, ආර්ථිකමය හෝ සංස්කෘතිකමය වෙනස් වීම් ගැන එතරම් තැකීමක් නොකරති. විශේෂයෙන්ම ආදිවාසී ගම්මානයේ වැඩිහිටි බොහෝ දෙනෙකු මහියංගනයෙන් එහා ලෝකය ගැන නොදන්නා තරම්ය.
දිනෙන් දින අලුත් වන රටතොට මෙන්ම ලෝකය ගැන මේ මිනිසුන් දරන්නේ කුමන අදහසක්ද? මහියංගන චෛත්‍යය අභියසදී අපට හමුවූ ආදිවාසියෙකු වන වන්නිලඇත්තන්ගේ කළුබණ්ඩාගෙන් අපි ඒ ගැන විමසුවෙමු.
● ඔබගේ නම මොකක්ද?
වන්නිලඇත්තන්ගේ කළුබණ්ඩා ඇත්තෝ
● මොකද මේ මහියංගන චෛත්‍යය ළඟ කරන්නේ.
මේ දවස්වල වැඩ පොජ්ජ කොදුයි. වැහි පොජ්ජ හමාරයි. මෙතන ඉඳ තබාගෙන හිටියම හූරන්ගෙන් සල්ලි පොජ්ජ හම්බ වෙනව. ඒකෙන් කඩ පොජ්ජට ගිහින් පැටුන්ට කැවිල්ලන්න පිටි පොජ්ජ, ඇට පොජ්ජ, කිරිගෙඩි පොජ්ජ (පොල් ගෙඩියක්), ගලේ කරුකුරු ගච්චන ඇට පොජ්ජ (කුරහන්) ඇණ කොලානව. (අරන් යනව).
● ගම කොහෙද ?
දඹාන පෝරුගම් පොජ්ජෙට එහා ගම් පොජ්ජෙ
● ඇයි දැන් දඩයමේ යන්නේ නැද්ද?
කලාතුරකින් යනව. හේන් පොජ්ජ කොදුයි. (අඩුයි) ඒ හින්ද දඩයම් පොජ්ජ කොදුයි. ඊට වඩා මේ තැන රදන එක හොඳයි. දඩයම් පොජ්ජ කළොත් කලු_කෝමන්තැන වටාලපු හූරල ඇත්තො (පොලිසියෙන්) අල්ලනව. දැන් කැලෑ පොජ්ජෙ ඉස්සර වගේ දඩයම් කොදුයි.
● නායක ඇත්තො හම්බ වෙන්න යන්නේ නැද්ද?
කොදුයි. (අඩුයි)
● නායක ඇත්තො සලකන්නේ නැද්ද?
උන්දැටත් කොදුයි (එයාටත් අඩුයි)
● ආණ්ඩුවේ කට්ටිය ආවේ නැද්ද
ජේ.ආර්. හූර ආව. ඇවිත් පිටි පොජ්ජ, හාල් පොජ්ජ, කෝමන්තැන, උඩතැනට මන්ද කරන කෝමන් තැන (සරම් කමීස) දීල ගියා.
● ඒ ඉස්සරනේ. දැන් ජේ.ආර්. මහත්තය නැහැනේ?
උන්දැ පැල් කොටේ ඉන්නව.
● නැහැ ජේ.ආර්. මහත්තය මැරිලනේ?
ඒ ගැන දන්නව කොදුයි.
● දැන් ඉන්න නායකය කවුද කියල දන්නවද.
ජේ.ආර්. උන්දැගේ කැකුළල ඇත්තො වෙන්ඩ ඇති.
● ඒ කාලේ කවුද වැදි ජනතාවට වැඩිපුරම සලකපු නායක ඇත්තෝ?
ගාමිණී හූර, ජේ.ආර්. මහ හූර. ගාමිණි හූර අපිට ඉඩම් දුන්න. මහවැලිය හැදුව.
● දැන් ගාමිණි හූර කෝ?
උන්දැ පැල් පොජ්ජෙට වෙලා ඇති.
● ගාමිණී හූරත් කාලෙකට ඉස්සර මළානේ දන්නේ නැද්ද ?
ඒ ගැන දන්නව කොදුයි.
● කොළඹ ගිහින් තියෙනවද?
එකමක් සැරයක් ගියා.
● කොහොමද ගියේ ?
(වෑන් රථයක් පෙන්වමින්) හින් දඩු කජ්ජේ නැගල ගියේ.
● ඇයි ගියේ?
කඩ පොජ්ජේ (සැනකෙළියක්) උස්සව පොජ්ජක් තිබ්බ. කිරි කොරහ නැටුව.
● අලුත් මන්ත්‍රීල එහෙම මේ පැත්තේ එනවද?
හිටි ගමන් එනව. කතා පොජ්ජ මන්ද කරනව. වැඩ පොජ්ජ කොදුයි. පටවැල් පොජ්ජෙන් (ජංගම දුරකතනයෙන්) කාටද කාටද මන්ද කොරල යනව.
● දඩයමේ ගියාම වලස්සු එහෙම හම්බ වෙනවද?
කොදුයි. මුවාල ඇත්තො ඉන්නව.
● මේ පැත්තේ දඩ මස් විකුණනව නේද?
කැකුලො ඒව කොරනව. ගමේ කැකුලන්ගෙන් මෙහා කැකුලො අරන් වැඩි මිලට විකුණනව.
● දැන් වැදි ජනතාවට තියෙන ප්‍රශ්න මොනවද?
කැලෑ පොජ්ජ කොදුයි. දඩයම් පොජ්ජ කොදුයි. පැල්කොටේට ඉලු_ක් පොජ්ජ කොදුයි. ජීවත්වෙන්න අමාරු තැනමයි.
● අලුත් ජනාධිපතිතුමාට කිව්වේ නැද්ද?
තේරුම් පොජ්ජ කොදුයි. (ජනාධිපතිතුමා ගැන තේරුමක් නෑ)
● මේ පාර ඡන්දේ දුන්නේ කාටද?
බොටකඳාල ඇත්තන්ට තමයි. (අලියට)
● දැන් බොටකඳාල ඇ ත්තො හොඳයිද?
තේරුම් පොජ්ජක් නැහැ.
● මහියංගනේ දැන්ද හොඳ ඉස්සරද?
ඉස්සර හොඳයි. දැන් වැඩක් නැහැ. මිනිස් ගජ්ජු නරකයි. අපිට සලකන්නේ නැහැ. ඉස්සර මිනිස් ගජ්ජු අපට ආදරෙයි. දැන් කැකුලො අපිට කොලොප්පම් කරනව.
● ටී.වී. එහෙම බලන්නේ නැද්ද?
කොදුයි.
● කවදාවත් බලල නැද්ද?
සමහර පැල් කොටවල තියෙනව. අපේ කැකුලො බලන්න යනව. අපට තේරුම් පොජ්ජ කොදුයි.
● දැන් නගරෙ ගායකයො වැදි ජනතාව ගැන සිංදු කියනව. නාට්‍යය පෙන්නනව නේද?
අපේ හීන් කැකුලොන්ට වඩා ඒ ඇත්තො ඒව ගැන දන්නව. හීන් කැකුලන්ට හොඳයි බලා ඉන්න. අපේ හීන් කැකුලො නගරෙට කැමැතියි. පටවැල් පොජ්ජට, රූප පෙට්ටි පොජ්ජට රැවටිලි පොජ්ජ මන්දො වෙලා.
● ආදිවාසීන්ගේ ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නව නේද?
අපේ කැකුලො කොළඹත් ගිහින් දිනල තියෙනව. අකුරු පොජ්ජත් මන්ද කරනව. ඒ උනාට උන් හේන් පොජ්ජ කපන්න කැමැති නැහැ. මොනා කොලත් දඩයමක් කරන්න මීයක් කඩන්න දැන ගන්න ඕනැ.
● බඩු මිල වැඩියි නේද?
හොඳටම වැඩියි. හාල් ගන්න සියයමක් ඕනැ. කිරි ගෙඩි පොජ්ජත් (පොල්) එහෙමමයි.
●ඡන්දයක් ළඟ එනව නේද?
දන්නව කොදුයි.
● ඡන්දෙ තියන එක හොඳද?
කාසි පොජ්ජ වියදම් වෙන එකයි, ගිනි ඇවිල්ලාන (වෙඩි තියන) එකයි විතරයි වෙන්නේ.
● සමහර මන්ත්‍රීවරු හොරකම් කරනවලු නේද.
ඒ ඇත්තන්ගේ කැකුලොන්ටත් එපැයි (මහ හඬින් හිනාවෙයි.)
● උතුර ගැන දන්නවද ?
ප්‍රභාකරන් ඇත්තන්ට ගිනි ඇවිල්ලෑව (වෙඩි තිබ්බා) කියල කැකුලො කීව.
● ඒකට නායකත්වය දුන්නේ මහින්ද මහත්තය නේද?
ඒ ගැන දන්නව කොදුයි.
● මහින්ද මහත්තය ආයෙත් ඡන්දෙ ඉල්ලනවලු_ නේද?
ඒ ගැන දන්නව කොදුයි.
● වැදි ජනතාවට කැලේ අයිතිය නැහැ නේද? දඩයම් කරන්නත් දැන් බැහැ නේද? නායක ඇත්තන්ට ඒ ගැන කීවේ නැද්ද?
නායක ඇත්තො හැමදාම ඒ ගැන කතා දමනව. ජේ.ආර්. ඇත්තො චන්ද්‍රිකා ඇත්තොයි කීව කැලේ අපිට දෙනව කියල. ඒත් කැලේට ගියොත් කලු_කෝමන්තැන වටාලාපු හූරෝ ඇත්තෝ ඇවිත් අපි කුදලාගෙන යනව.
● දැන් මේ පැත්තේ පාරවල් එහෙම හදල නේද?
අපට එව්ව ගැන දැන ගන්න උවමනා කොදුයි. අපිට කැලේට ගිහින් සතෙකුට ගිනි බිඳින්න දෙනව නම් හොඳයි. හේනක් කොටා ගන්න තැනක් දෙනව නම් ඒකත් හොඳයි.
● අපේ රටේ හැමදාම වර්ජන තියෙනව නේද?
දන්නව කොදුයි. (දන්නෙ නෑ.)
● ලොතරැයි ගන්නවද ?
ගන්නව කොදුයි. (නෑ.)
● අපේ රට දැන් දියුණුයි නේද?
එහෙම කියන්න බැහැ. අපි හීන් කාලේ මීට වඩා හොඳයි. කන්න තිබුණ. ඇට පොච්ච රෙදි පොච්ච ලැබුණ.
● ජනාධිපතිතුමා මොනව හරි දෙනව කීවොත් මොනාද ඉල්ලන්නේ?
තේරුම් පොජ්ජ කොදුයි.
● වෙන කවුරු හරි මොනව හරි දෙන්නම් කීවොත් මොනවද ඉල්ලන්නේ?
සල්ලි පොජ්ජ, ඇට පොජ්ජ තමයි අපිට ඕනෑ. වෙන මොනා ඉල්ලන්නද?