අපිව මුරකළ කොටින්ට සයනයිඩ් කවා කොටි කඳවුරෙන් පැන ගත්තා
සහකාර පොලිස් අධිකාරී දෙල්ගහපිටිය
කොටින්ගෙන් මිදී පලාආ පොලිස් නිලධාරින්ගෙන් කොටසක්
රජයේ හමුදා සමග සටන් වැද බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන තම සගයන් පිරිසකට අවශ්‍ය ලේ එල්.ටී.ටී.ඊ. යේ අත්අඩංගුවට පත්ව වධකාගාරයක රඳවා සිටි පොලිස් නිලධාරීන් 45 දෙනෙකුගෙන් මිය යනතෙක්ම ලබා ගැනීමට සූදානම් වෙද්දී ඔවුන් කොටින්ගෙන් මිදී පලා ආවේ ජීවිත ගැන සියලු බලාපොරොත්තු අතහැර දමා මරණයේ මාවත පෙනි පෙනී සිටි නිමේෂයකය.
පොලිස් නිලධාරීන් කොටින්ගෙන් මිදී පලා ආවේ නිකම්ම නිකම් නොවේ. අත්පාවලට දමා තිබූ විලංගු කඩා රැකවලට සිටි කොටින් අල්ලාගෙන ගෙලේ පැලඳි සයනයිඩ් කරල් ඔවුන්ටම කවා මරණයට පත් කර ගිනි අවි ද පැහැරගෙනය.
ඔවුන් මහ කැලෑව මැදින් මිනිස් වාසයක් තිබෙන ගමකට ආවේ දින පහක් තිස්සේ කුසට කිසිම ආහාරයක් නොමැතිව පිපාසයට මඩ වතුර හා තමන්ගේම මුත්‍රා බොමින් අතිශය දුෂ්කර හා කටුක ගමනකය.
ඒ ගමනේ කටුකකම දුෂ්කර ගමනකට හොඳම උදාහරණය මහ කැලෑව මැදින් මිනිස් වාසයක් තිබෙන ඉසව්වක් කරා පියමං කරන අතරවාරයේ ෙපාලිස් නිලධාරීන් කීප දෙනෙකුම රෝගාතුරවී මියගිය අතර තවත් කිහිප දෙනෙකු අතුරුදන් වී ඇත.
අතුරුදන්වූ අය ආයෙත් කිසිම දවසක මහ කැලෑවෙන් එළියට නම් ආවේ නැත. ඔවුන්ට වෙච්ච දෙයක් ගැන අදටත් දැන ගැනීමට නොමැත.
මේ සැලැස්මේ නියමුවා වූයේ පොලිස් කොස්තාපල් එම්.සී.එම්. අමරසිංහ මහතාය.
කොටින්ගේ අත්අඩංගුවෙන් මිදී පලා ආ නිලධාරින් අතරේ මේ වන විට සහකාර පොලිස් අධිකාරි නිලයේ සිටින එවකට උප පොලිස් පරීක්ෂක නිලයේ සිටි අනුර දෙල්ගහපිටිය මහතාද විය.
අනුර දෙල්ගහපිටිය මහත්තයා ඇතුළු පොලිස් නිලධාරීන් 45 දෙනෙකු කොටින්ගේ අත්අඩංගුවෙන් මිදී පලා ආවේ මීට වසර 27 කට පමණ ඉහතදීය.
හරියටම දින වකවානු කියනවානම් 1990 වසරේ ජූලි මාසයේ 21 වැනිදාය.
කොටින්ගේ අත්අඩංගුවට පත්වන කාලයේ ආධුනික උප පොලිස් පරීක්ෂක නිලයේ සිටි අනුර දෙල්ගහපිටිය මහතා මේ වන විට සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් වීම් ලබා රාජකාරි කරන්නේ නිකවැරටිය ගල්ගමුව සහකාර පොලිස් අධිකාරිවරයා වශයෙනි.
අත්පාවලට දමා තිබූ යදම් කඩාගෙන සයනයිඩ් කවා මරා දමා කොටින් ගෙන් පලා ඒමේ වීර වික්‍රමාන්විත මෙහෙයුම පොලිස් වීරවරයන් ගැන ලියවෙද්දී ඉහළින්ම ලිවිය යුතු බව මගේ හැඟීමයි.
එය එසේ මෙසේ වීර වික්‍රම මෙහෙයුමක් නොව ඇඟ කිළීපොළා යන මෙහෙයුමකි.
මීට වසර 27 කට පමණ ඉහතදී සිදුවූ ඒ වික්‍රමාන්විත මෙහෙයුමේ මතකය මෙසේ දිග හරින්නේ සහකාර පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය මහතාය.
සහකාර ෙපාලිස් අධිකාරිවරා ඇතුළු පොලිස් කණ්‍ඩායම කළ මේ වීර වික්‍රමාන්විතය ගැන ලියන්නට හැකිවුණේ කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී ඊ.එස්. දයාරත්න මහතා මේ කතාව නිසා දෙල්ගහපිටිය මහතා අපට හඳුන්වා දුන් නිසාය.
ඒ නිසා සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය පුදකළ යුතුය.
මම 1989 ඔක්තෝබර් මාසයේ 08 වැනිදා අාධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ශ්‍රී ලංකා පොලිසියට බැඳුණා. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මාස හතක පුහුණුවකින් පස්සේ මඩකළපුව පොලිස් අධිකාරී කොට්ඨාසයට ස්ථාන මාරුවීමක් ලැබුණා. මගේ මුල්ම පත්වීම. මම මඩකලපුව මූලස්ථාන පොලිසියට රාජකාරි සඳහා වාර්තා කළාට පස්සේ ඒ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සතිස් චන්දන් මහත්තයා මාව වෙල්ලාවලි පොලිසියට රාජකාරි සඳහා අනුයුක්ත කළා. වෙල්ලාවලි පොලිසියේ් ඕ.අයි.සී. විදිහට හිටියේ උප පොලිස් පරීක්ෂක චිත්‍රවේල කියන මහත්තයා. ඔහු මට එදිනම රාත්‍රී රාජකාරි බාර නිලධාරියා වශයෙන් පත් කළා.
හරියටම මෙම සිද්ධිය වුණේ වෙල්ලාවෙලි පොලිසියේ රාජකාරියට වාර්තා කළ දිනට පසුදින සවස කාලයේදීයි. එනම් 11 වැනිදා රෑ සවස 6.00 ට පමණ මා පොලිස් ස්ථානයේ චෝදනාගාරයේ රාජකාරි කරමින් සිටින අතරවාරයේ ආයුධ සන්නද්ධ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදින් 100 ක් පොලිසිය වැටලුවා. වෙල්ලාවලි කොටි නායකයාව සිටි රේගන් කියන මිනිහා මේ සඳහා නායකත්වය දුන්නා. රේගන් ඇවිත් අපි සතුව තිබෙන සියලුම අවි ආයුධ බාරදී යටත් වෙන්න කියා අණ කළා. පොලිස් ස්ථානාධිපති චිත්‍රවේලු මහතා කල් තියාම හොර රහසේ පොලිසියෙන් පිටව ගොස් තිබෙනවා. පොලිසිය වැටලීමට එන බව ඔහුට කල් තියා කොටි දැනුම් දී තිබෙන බව අපට පසුව දැන ගැනීමට ලැබුණා.
මම ඉක්මනට පොලිස් පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් ඇතිවී තිබෙන තත්ත්වය මඩකළපුව මූලස්ථාන පොලිසියට දැනුම් දුන්නා. ස්වල්ප වෙලාවකින් මේ සිද්ධිය ගැන කොළඹට කතාකර දැනුම්දී ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග දැනුම් දෙන බව මගේ ඇමතුම ලබාගත් නිලධාරියා කියා සිටියා. පැයකට විතර පස්සේ මඩකලපුව මූලස්ථාන පොලිසියේ අපට දැනුම් දුන්නේ අපි කිසිසේත් බලාපොරොත්තු දෙයක් නම් නොවේ. අපට නියෝග ලැබුණේ අවි ආයුධ සමග සියලුම පොලිස් නිලධාරීන්ව එල්.ටී.ටී.ඊ, ත්‍රස්තවාදීන්ට යටත්වෙන්න කියායි. අපි මේ නියෝගයත් එක්ක හොඳටම අසරණ වුණා.
වෙල්ලාවලි පොලිසිය වටා මුර කුටි 11 ක් පිහිටුවා තිබුණා. එම මුර කුටිවල සිටි පොලිස් කොස්තාපල්වරු ඉහළින් ලැබූ තිබුණ නියෝග නොතකා හැර පොලිසිය වටකරගෙන සිටි ත්‍රස්තවාදීන්ට ප්‍රහාරයක් එල්ල කළා. නමුත් වැඩක් වුණේ නැහැ. ප්‍රහාරය අසාර්ථක වුණා. ඊට පස්සේ පොලිසිය වටකරගෙන එතෙක් වෙලාවක් රැඳී සිටි කොටි ත්‍රස්තවාදීන් පොලිසිය තුළට කඩා පැන්නා. ඔවුන් මා ඇතුළු පොලිසියේ සිටි නිලධාරීන් 45 දෙනා අත්අඩංගුවට ගත්තා. පොලිස් භූමියේ ට්‍රැක්ටර් දෙකක් නතර කර තිබුණා. ඒ ට්‍රැක්ටර් දෙකට අපිට නගින්න කියා රේගන් අපට නියෝග කළා. අපි ට්‍රැක්ටර් දෙකට නැග්ගා. පොලිසියේ තිබුණ සියලුම අවි ආයුධ කොටි පැහැර ගත්තා. අපිව ට්‍රැක්ටර් දෙකේ නංවාගෙන යද්දී කොටි ත්‍රස්තයන් වාහන දෙකින් අපිට රැකවල් ලබාදෙමින් ගමන් කළා. අපේ පොලිසියේ සේවය කළ දමිළ ජාතික කොස්තාපල්වරුන් කොටින්ට එකතු වුණා.
අපව අරගෙන ගියේ කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පිහිටා තිබුණ දෙමහල් නිවසකටයි. එම නිවසේ සාමාන්‍ය වැසියන් කිසිම කෙනෙක් පදිංචිවෙලා හිටියේ නැහැ. ඒ නිවසට අරගෙන ආපු මොහොතේම වාගේ එක් කොටියෙක් මම ගෙල පැළඳ සිටි පවුම් 1 1/2 ක් පමණ බර රන්මාලය අත්ඔරලෝසුව හා මුදල් පසුම්බිය පැහැර ගත්තා. ඒ නිවසේ සති දෙකක විතර කාලයක් අපව රඳවා තබාගත්තා. ඔවුන් අපිට නිතර පහර දුන්නා. නොයෙකුත් වධ හිංසා වලට ලක්කළා. අපේ ආරක්ෂාවට කොටි ත්‍රස්තයින් හැත්තෑවක් අසූවක් විතර හිටියා. අවුරුදු 14-25 අතර වයසේ පසුවන කොටි තමා වැඩිපුරම හිටියේ. කොටින් නිතරම ඔවුන්ගේ වීර ගීත ගායනා කරනවා. ඊළාම් ගීතත් ගායනා කරනවා.
අපේ අත් පාවලට යකඩ දම්වැල් දමා ඉබි යතුරු දැම්මා. දෙන්නා දෙන්නා එකට තබා තමා යකඩ දම්වැල් වලින් ගැට ගැසුවේ. මාව තවත් පොලිස් කොස්තාපල් කෙනෙක් එක්ක තබා විලංගු දැම්මා. තොපිට අපි මේ විදිහට අල්ලාගෙන ඉන්නේ අපේ නායකයෝ තොපේ ආණ්‍ඩුවෙන් අල්ලා ගත්තොත් නායකයන් මුදා හරින තෙක් ප්‍රාණ ඇපයට තබාගන්නැයි කියාත් කොටි කිව්වා. ඊළම දිනා ගන්නා තෙක් දිගටම සටන ගෙන යන බවත් කොටි අපිට කිව්වා.
අපිට ඕනෑ තරම් අවි ආයුධ තියෙනවා. සල්ලි තියෙනවා. වෙන කරදර තිබුණත් ඊළාම් සටන අතහරින්නේ නැහැ. ඊළාම් රාජ්‍ය දිනාගන්නවා එක නවත්වන්න මොන ජගතකුටවත් බැහැ. කියා ඔවුන් නිතරම වහසි බස් දොඩවනවා. ඊළාම් රාජ්‍යයක් ළඟදීම පිහිටුවන නිසා තොපි අපේ භාෂාව ඉගෙන ගනින්ලා කියා නිතරම කිව්වා. අපි කරබාගෙන සිටියා. ජනතා විමුක්ති පෙරමුණේ අය එහෙම මෙතන ඉන්නවද කියා ඇසුවා. ජනතා විමුක්ති පෙරමුණ ගැන තොපි විස්තර දන්නවාද කියා කොටි අපෙන් ප්‍රශ්න කළා. අපි දන්නේ නැහැ කියා පිළිතුරු දුන්නා. එහෙම ප්‍රශ්න කරමින් කොටි අපට පහර දුන්නා. වධ හිංසා කළා. ඒ සෑම වධහිංසාවක්ම අපි විඳදරාගෙන හිටියා.
ෙදමහල් ගෙදර ඉඳලා අපිව තවත් ගෙදරකට අරගෙන ගියා. ඒ ගෙදර හිටියේ පවුල පන්නා දමා අපිට ඒ ගෙදර රඳවා තබාගත්තා. ඒ ගෙදර රඳවා තබාගත්තේ දවස් දෙකයි. දවල්ටත් රෑටත් කන්න දුන්නේ එක වේලයි. මයියොක්කා එක්ක බත් දුන්නා. මෙතෙක් කාලයක් පිටුපසට කර යකඩ දම්වැල් දමා බැඳ තිබූ දෑත් ඉස්සරහට කර බැඳලා මුහුදු වෙරළක් ළඟට අරගෙන ආවා. දවල් රෑ දෙකේම වෙරළේ තියාගත්තා. දවල්ට කොහොමටත් ඉන්න බැහැ. අව්රස්නෙට අපිව පිළිස්සෙනවා. තිබහට බොන්න මුහුදු වතුර.
පාරුවල පටවාගෙන අපිට වෙන ප්‍රදේශයකට අරන් ගියා. මෙහිදිත් අපට නොසෑහෙන විදිහට පහර දුන්නා. ඒ පහර දුන්න විදිහට අපිව මැරෙයි කියාම හිතුණා. පොල් සම්බෝල එක්ක බත් දංකුඩ කන්න දුන්නා. පිළුණු ගඳ ගහන බත් පවා කන්න දුන්නා. බඩගින්න ඉවසා ගෙන ඉන්න බැරි නිසා පිළුණු බත් කෑවා. අරවින්දන් හා බෲස් කියන කොටි නායකයන් දෙන්නත් අපට බලන්න දවසක් ආවා. බලාගනිල්ලා තොපිට කරනදේ තොපිට යහතින් ඉන්න දෙන්නේ නැහැ කියා අපට තර්ජනය කළා. අපිව කොයි මොහොතක හෝ මරා දමාවි කියා හිතුවා. ඔවුන් ළඟ තිබුණ වෝකි ටෝකිවලින් ඉහළ කොටි නායකයින් එක්ක මොන මොනවාදෝ කතා කළා. ඒ ගෙදර ඉඳලා අපිට ලංගම බස් රථ දෙකක නංවාගෙන එරාවුර් පැත්තට අරගෙන ගියා.
සැතපුම් විස්සක් විතර දුරක් ලංගම බස් දෙකෙන් අරගෙන ගිහින් අපිව බස්රථවලින් බිමට බැස්සුවා. වගුරු පාරක් නිසා එතැනින් එහාට බස් ධාවනය කරගෙන යන්න බැරිවුණා. එතන ඉඳලා පා ගමනින් සැතපුම් හයක් හතක් විතර අරගෙන ගියා. අපිට කටු කම්බි ගසා වටකර තිබූ මඩුවක් වගේ තැනකට දැම්මා. පහුවැනිදා උදේම වෙනත් කැලෑවකට අරගෙන ගියා. ඒ කැලෑවේ කොටින්ගේ රෝහලක්ද පිහිටා තිබුණා. රෝහල ළඟම තිබුණු කොටින්ගේ ගොඩනැගිල්ලකට අපිව දැම්මා.
වෛද්‍යවරුන් දෙදෙනෙකු රෝගාතුරවී සිටි පොලිස් නිලධාරීන්ට ප්‍රතිකාර කළ ආකාරය ගැන විස්තරකරමින් සහකාර පොලිස් අධිකාරිවරයා මෙසේ කීය.
අපි රඳවාගෙන හිටිය තැනට යතුරු පැදි දෙකකින් දෙන්නෙක් ආවා. ඔවුන් සරම් තමයි ඇඳගෙන සිටියේ. වෙද නලා කරේ දමාගෙන තමා ආවේ. තමන් පේරාදෙණිය මෙඩිකල් කොලේජ් එකෙන් එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ගත්තු වෛද්‍යවරුන් බව කිව්වා. පැහැදිලි සිංහලෙන් අපිත් එක්ක කතා කළා. නිතර සිනා මුසු මුහුණින් තමා ඔවුන් දෙදෙනා සිටියේ. ලෙඩ රෝග අමාරුකම් එහෙම තියනව නම් කියන්න කියා කරුණාවෙන් අපට කතා කළා. ලෙඩ රෝග හා අමාරුකම් තියන අය කිව්වාම ඔවුන්ව පරීක්ෂා කර බලා බෙහෙත් දුන්නා. අපි ගැන නිතරම සොයා බැලුවා.
අපි සීතල කාමරවලින් එළියට ඇවිත් කැලෑවලට වෙලා මේ විදිහට දහ දුක් විඳින්නේ ඊළාම් රාජ්‍ය දිනා ගැනීමට බව ඒ වෛද්‍යවරුන් අපිත් එක්ක පැවසුවා. ඊළාම් රාජ්‍යයක් ළඟදීම පිහිටුවන බවත් ඔවුන් පුන පුනා අපිත් එක්ක කිව්වා. ඒ නිසා තමා අපි මේ විදිහට කැළෑවල ගත කරමින් දුක්විඳින්නේ කියාත් ඔවුන් අපට පැවසුවා. සටන්වලදි තුවාල ලබා සිටි කොටි රෝහලට ගෙන එන කොටි සමාජික සාමාජිකාවන්ට ඒ වෛද්‍යවරු ප්‍රතිකාර කළා. ඔපරේෂන් පවා කරන ආකාරය අපි දැක්කා. වෛද්‍යවරුන් දෙන්නා අපිට හොඳට සැලකුවා. හොඳින් කතා බහ කළා. වචන දහයක් අපිත් එකක් කතා කළොත් වචන නවයක්ම කිව්වේ ඊළාම් රාජ්‍ය්‍යක් පිහිටුවන බවයි. අපි ඔවුන් දෙන්නා කියන දේවල් අසාගෙන හිටියා.
අනුර දෙල්ගහපිටිය මහතා ඇතුළු පොලිසියේ 45 දෙනා ඊට පසුව කොටි රෝහල්වලට නුදුරින් පිහිටි කටුගම්බි ගසා වට කර තිබූ තැනකට ගාල් කර ඇත. එය කාලයක් හරක් ගාලක් තිබූ ස්ථානයක් බව ඔවුන්ට පෙනී ගොස් තිබේ.
හරක් මඩුවේ ගාල්කර සිටිය අපිව බලන්න නිතරම පිකප් රථයකින් අම්මාන් කියන කොටි නායකයා ආවා. ඔහු අතේ වෝකි ටෝකි යන්ත්‍රයක්ද තිබුණා. නිතරම කොටි නායකයන් එක්කත් ඔහු වෝකි ටෝකි යන්ත්‍රයෙන් කතා කළා. අපේ ආරක්ෂාවට ඔහු සන්නද්ධ කොටි සාමාජිකයන් 50 ක් විතර යෙදෙව්වා. අවුරුදු 12-16 අතරේ කොටි ළමා සොල්දාදුවන්ද ඒ අතරේ සිටියා. ඉන්දියන් හමුදාව ගෙනල්ලා අපිව විනාශ කරන්න හැදුවා ඒත් ඒක කරන්න බැරිව ගියා. අපි ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ප්‍රභාකරන් රජකරවන බව අම්මාන් කියන කොටි නායකයා අපිට කිව්වා. එස්.ටී.එෆ් එකේ එවුන්ගෙන් අපිට කිසිම බේරිල්ලක් නැහැ. ඒ නිසා උන්ට අහුවුණොත් ටික ටික දරුණු වධ දිලා මරා දමනවා කියාත් ඔහු පැවසුවා.
අපේ රැකවලට හිටිය ළමා කොටි සොල්දාදුවෝ හරියටම අපට වධ දුන්නා. අවුරුදු 12-16 විතර පොඩි එවුන් උන් ළඟත් ගිනි අවි තිබුණා. ඒවා හරියටම උස්සන්නවත් ඔවුන්ට බැහැ. කොටි ළමා සොල්දාදුවෝ අපිට පහර දෙනවා. සමහර එවුන් කෝටු කෑලි කණ ඇතුළට දමා තද කරනවා. තුත්තිරිගස් කන ඇතුළට දමා කරකවනවා. එතකොට වේදනාව ඉවසාගන්න බැරිව අපි වේදනාවෙන් කෑ ගහනවා.
තම්බි එහෙම කරන්න එපා කියා අපි උණ්ට බැගෑපත් වෙනවා. අපේ කකුල් අත් පා යකඩ දම්වැල්වලින් ගැටගසා ඉබ්බෝ දමා ලොක්කරලා තිබුණු නිසා මොකවත් කරගන්න බැරිව හිටියේ. කන්වලට කෝටු කෑලි දමා තද කරද්දී අපි එහෙම කරන්න එපා කියද්දී සමහර එවුන් අපි කියන දේ අහනවා. සමහර එවුන් තව තවත් තද කරනවා. නිතරම කොටි ළමා සොල්දාදුවවෝ අපිට මේ විදිහට හිරිහැර කළා. උන් එහෙම කරලා පුදුම වින්දනයක් ලබන බව අපට පෙනී ගියා.
මහ එවුන් පොඩි එවුන්ට එහෙම කරන්න කියා නියෝග කර තිබෙන බවත් සතුරන්ට හිංසා පීඩා කරන්න පොඩි එවුන්ට පුරුදු කරන්නේ එහෙම බවත් අපිට දැන ගැනීමට ලැබුණා යැයිද සහකාර පොලිස් අධිකාරිවරයා කීය.
කොටින්ගෙන් පැහැරගත් අවියක් සමග දෙල්ගහපිටිය
සහකාර පොලිස් අධිකාරිවරයා පැවැසුවේ රෑට නිදාගෙන සිටින අතරවාරයේ කුමන හේතුවක් නිසා හෝ ඔළුව ඔසවා වට පිට බැලුවොත් එහෙම කළ කෙනාගේ හිසට ඒ වෙලාවෙම වෙඩි තබා මරා දමන ලෙස කොටි නායක රේගන් නියෝග කර නිකුත් කර තිබූ බවය. මේ නියෝගය නිසා මොනම හේතුවක් මත කොටින්ගේ අත්අඩංගුවේ සිටින කාලය තුළ රෑට නිදාගෙන සිටිය දී හිස එසෙව්වේ නැති බවද ඔහු කියා සිටියේය.
ඒ වෙන කිසිවක් නිසා නොව ගිනියම් වූ වෙඩි උණ්‍ඩයක් හිස මත පතිතවේ යැයි ඇති බිය නිසාය.
කොටි ළමා සොල්දාදුවන් අතේද ටී. 56 අවි තිබෙන නිසා කිසිම වග විභාගයකින් තොරව ඔවුන් ගිනි අවිය එල්ල කර කොකා ගස්සයි ද කියා දන්නේ නැති නිසාය. මහ එවුන් ලබාදී ඇති නියෝග ක්‍රියාත්මක කිරීමට හයක් හතරක් නොතේරෙන වයසේ පසුවන කොටි ළමා සොල්දාදුවන් නිතරම සූදානමින් සිටින බව පොලිස් නිලධාරින්ට අවබෝධවී තිබුණේ ඔවුන් කොටින්ගේ අත්අඩංගුවට පත්වූ දා පටන්ය.
කොටින්ට ඔවුන් ගෙලේ පැළඳ සිටි සයනයිඩ් කරල් ගිල්වා මරා දමා ඔවුන් සතුව තිබූ අවි ආයුධ පැහැරගෙන එ්මේ ක්‍රියාන්විතය සැලසුම් කළ ආකාරය හා පලා ආ ආකාරය ගැන සහකාර පොලිස් අධිකාරිවරයාගේ මතකය මෙසේ පෙළගස්වමු.
ඒ වෙනකොට අපේ හමුදාව කොටින්ට පන්න පන්නා පහර දෙන්න පටන් අරගෙන තිබුණා. ෙම් නිසා කොටින්ට බරපතළ හානි සිදුවුණා. මිය යන ගණන විගේම තුවාල ලබන කොටින්ගේ සංඛ්‍යාවත් ඉහළ මට්ටමක තිබෙන බව මහ කොටින්ගේ කතාබස්වලින් දෙමළ දන්නා පොලිස් කෝස්තාපල්වරුන්ගේ මාර්ගයෙන් අපි දැන ගත්තා. මැරෙන කම්ම අපෙන් ලේ ගන්න වෙනම තැනක් සූදානම් කරන්නත් පටන් ගත්තා.
කොටින්ගෙන් පැහැරගත් ගිනිඅවි
මේ පාර නම් කිසිම ගැලවිල්ලක් නොමැති බව අප කතා වුණා. ඒ වෙනකොටත් අපේ රැකවලට හිටියේ කොටි පස් දෙනාය. උන් තරුණ වයසේ කොල්ලෝ. අනිත් උන් කොටි නායකයන්න්ගේ නියෝගයක් අනුව පිටව ගියා. අපේ හමුදාවට ප්‍රහාර එල්ල කරන්න උන් ටික එක්ක ගෙන යන්න ඇති කියා අපි කල්පනා කළා. කොටි තුවාලකාරයන්ට දෙන්න තරම් ලේ නොමැති නිසා අපෙන් මැරෙනකම්ම ලේ ගන්න යන බව උන්ගේ කතා බහෙන් දැන ගත්තා. ජූලි මාසයේ 24 වැනිදාට කළින් අපිව මරා දමන බවත් අපට උන්ගේ කතා බහෙන් වැටහුණා.
මේ බව දැනගත්ත මොහොතේ ඉඳලා කොටින් මරා දමා පැන ගන්නේ කොහොමද කියන එක කොස්තාපල් අමරසිංහ ප්ලෑන් කරන්න පටන් ගත්තා. මඩකළපුව වැඩ බලන මූලස්ථාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජකරුණා මහත්තයා කිව්වා තව පොඩ්ඩක් බලමු උන් ලේ ගත්තාට අපිව මරන එකක් නැහැ කියා. පැන යන්න හදලා අහුවුණොත් අපි සේරටම දස වද දීලා මරා දමාවි කියා ඔහු කිය සිටියා. ඒත් අපි ගත්ත තීරණය වෙනස් කරන්න කොහොමටවත් කැමැති වුණේම නැහැ.
අපි දෙන්නා බැගින් එකට අමුණා තිබූ යකඩ දම්වැල් දමා තිබූ ඉබ්බෝ බාල වර්ගයේ බව ඒවා පරීක්ෂා කර බැලූ අවස්ථාවේ පෙනී ගියා. දින කිහිපයක් තිස්සේ ලී කෑලිවලින් ඇනලා කොහොම හරි ඉබ්බෝ කඩා ගත්තා. නමුත් ඒ වගක් කොටින්ට දැනෙන්න ඉඩ තිබ්බේ නැහැ.
ඊළඟට එළඹ තිබුණේ මුරට සිටි කොටින් මරා ඔවුන්ගේ අවි ආයුධ පැහැරගෙන කොටි අඩවියෙන් පලායෑමේ ක්‍රියාන්විතයේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමටය.
ගැහෙන හදවතින් වුවත් යෝධ බල යෝධ ආත්ම ශක්තියකින් එකාවන්ව සිට පොලිස් නිලධාරීන් ඒවනවිටත් ජීවිතය ද එසේත් නැත්නම් මරණයද කියන එක තීරණය කර අවසන්ව තිබිණි.
අපේ කට්ටිය අපේ රැකවලට සිටි කොටි පස්දෙනා වෙත එකවරම කඩා පැන්නා. බෙලි අතින් තද කරගෙන උන්ගේ ගෙලේ බැඳ සිටිය සයනයිඩ් කඩා උණ්ටම කැව්වා. සයනයිඩ් කැවූ කොටි සෙම දමා ගෙන තප්පර ගණනකින් මැරිලා වැටුණා. උන්ගේ අතේ තිබූ වෙපන් ටිකත් අපි ගත්තා. උන් පස් දෙනා ළඟ තිබුණු අත් බෝම්බයි උණ්ඩ තොගයක් අපි අරගත්තා. උණ පාචනය හා මැලේරියා උණ ගැණුනු කිහිප දෙනෙක්ද සිටියා. පොලිස් පරීක්ෂක රාජකරුණා මහත්තයාද කලින් හදිසි අනතුරකට පත්වෙලා කකුලක ආබාධයක් තිබුණ කෙනෙක්. මේ හැමෝම අරගෙන අප කොටි වධකාගාරයෙන් පැන ගත්තා. ඉක්මනින් කොටි අඩවියෙන් පැන ගන්න ඕනෑ නිසා එක දිගටම පැය දෙකක් දිව්වා. හවස් වෙනකොට හොඳටම අමාරුයි. වතුර තිබහ ඉවසන්න බැහැ. හැමෝගෙම වාගේ දිව ගිලෙන තරම් වතුර තිබහ. දුවගෙන එද්දි වැවක් හම්බ වුණා. බඩකඩ පුරා වතුර බිව්වා.
රෑවෙන කම්ම වැව ළඟ සැඟවී සිටියා. රෑ බෝවුණාට පස්සේ අායෙත් බස්නාහිර පැත්ත බලාගෙන ඉදිරියට යන්න පටන් ගත්තා. සාජන් ගුණසේකර, සාජන් ලියනගේ, කොස්තාපල් ලයනල් හා පොලිස් පරීක්ෂක රාජකරුණා යන අය කැළේ මැදින් එද්දී අපෙන් මගහැරුණා. කොස්තාපල් විලියම් අපිත් එක්ක දුවගෙන එද්දී කකුලක් ගළක වැදිලා හොඳටම ලේ ගලන්න පටන් ගත්තා. ඔහුව උත්සාගෙන එන්න හැදුවත් බැරිව ගියා. අපි ඔහු එතැනම ඉදිද්දි ඉදිරියට ගමන් කළා. බඩගින්නට දිය කඩිත්තක හිටිය මාළු පැටව් අල්ලගෙන අමුවෙන් කෑවා. කරඹ, අට්ටික්කා සහ එරමිනියා වගේ ගඩා ගෙඩි කමින් ඉදිරියට ආවා. බොන්න වතුර නැතිව පිපාසයේ ඉද්දි අල්ලට මුත්‍රා කරලා පස්සේ ඒ මුත්‍රා පවා බිව්වා. කිහිපවරක්ම කොටින්ට අපිව අහුවෙන්න ගිහින් අනූ නවයෙන් බේරුණා. කැලෑ මැදින් එද්දි වල් අලි රංචු පිටින් හම්බ වුණා. විෂඝෝර සර්පයන් හිටියා. ඒත් අපිට ඒ කිසිම සතෙකුගෙන් කරදරයක් හිරිහැරයක් වුණේ නැහැ.
දවස් පහකට විතර පස්සේ අපිට ගම්මානයක් ළඟට සේන්දු වෙන්න අපට පුළුවන් වුණා. ගමන් විඩාවයි, හරිහැටි කෑමක් බීමක් නැති නිසායි අපිට ඒ වෙනකොට කෙළින් හිට ගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. ගම්මුන් අපිව දැකලා ගමට කොටි ඇවිත් කියා මර ලතෝනි දෙමින් දුවන්න පටන් ගත්තා. රැවුල් වවාගෙන සරම් හා කමිස ඇඳගෙන අවි අයුධ පවා අතේ තිබුණ නිසා ගම්මුන් අපි කොටි කියා හිතලා බයවෙලා අපි සිංහල. කොටි අල්ලාගෙන සිටිය පොලිස් කට්ටියක් කියා කෑ ගසා කිව්වාට පස්සේ ගම්මු සන්සුන් වුණා. අපට ෙත්පැන්වලින් සංග්‍රහ කළා. පස්සේ ගම්මුන් අරලගංවිල පොලිසියට දැනුම් දුන්නා. පස්සේ පොලිසියෙන් ඇවිත් අපිව පොලිසියට රැගෙන ගියා. ගම්මුන් අපේ පොලිස් වීරයෝ කියමින් ජයඝෝෂා කරන්න පටන් ගත්තා.
එවකට පොළොන්නරුව කොට්ඨාසය බාරව සිටියේ පොලිස් අධිකාරි සී.බී. අත්තනායක පොලිස් අධිකාරී හියුබට් ගුණසේකර සහ පොලිස් පරීක්ෂක ලයනල් ගුණසේකර පොලිස් පරීක්ෂක බී. සෝමසිරි, අරලගංවිල පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්. ආරියපාල යන මහත්වරුන් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව සිටි චන්ද්‍රසිරි සූරියආරච්චි හා එස්.ඒ. මුතුබණ්‍ඩා යන මහත්වරුන් අපට එදා හොඳට සැලකුවා. දවස් ගාණක් කන්න බොන්න දෙයක් නැතිව හාමත්වෙලා සිටිය අපට කන්න බොන්න දුන්නා. වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා.
අපිත් එක්ක කැලෑව මැදින් එද්දි අතුරුදන් වූ පොලිස් පරීක්ෂක රාජකරුණා මහත්තයා ඇතුළු නිලධාරීන් සොයගෙන සෝදිසි මෙහෙයුමක් කළා. හෙලිකොප්ටර් යානා යෙදෙව්වා. ඒත් ඔහුන් සොයා ගන්න බැරිව ගියා. එවකට රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි රන්ජන් විජේරත්න මහත්තයා අපිව මුණගැසී කතාබහ කරලා කිව්වා කොටි මරා ආයුධ පැහැරගෙන පලා ආ සියලු දෙනාට උසස්වීම් ලබාදෙනවා කියා. නමුත් ඊට සති කිහිපයකට පස්සේ එතුමා කොළඹ දී බෝම්බයක් පුපුරා මිය ගියා. ඒ නිසා අපිට උසස්වීම් ලබාගන්න බැරිව ගියා යැයිද සහකාර පොලිස් අධිකාරිවරයා කීය.
එවකට පොලිස්පතිවරයාව සිටි අර්නස්ට් පෙරේරා මහතා අපට මාසයක නිවාඩු කාලයක් තමන් කැමැති ස්ථානයකට ස්ථාන මාරුවක්ද වියදම් සඳහා රුපියල් ලක්ෂය බැගින් මුදල් තෑගි ද පිරිනැමුවා යැයි සහකාර පොලිස් අධිකාරී දෙල්ගහපිටිය මහතා අවසාන වශයෙන් පැවැසීය. පොලිස් දිනය සමරද්දී මේ පොලිස් රණවිරුවන් ද සැමරීමට කිසිසේත් අමතක නොකළයුත්තේ ඔවුන් කළ සැබෑ වීර ක්‍රියාවට උපහාර දැක්වීමක් වශයෙනි.
කොටින් මරා පලා එද්දී අතුරුදන් වූ නිලධාරීන්ද සදා සිහිපත් කළ යුතු වන්නෙමු. ජාතියේ ප්‍රණාමය මොහුන්ට කවදත් හිමිවිය යුතුය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය