ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
අලව්වේ, රාගල පී.එම්. සේනාරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය.
බල්ලන් බලු පැටවුන් යට කර එලොව යැවූ එලාරිස්ගේ බුදුසරණ ලොරිය
පිටිසර ගමක පළපුරුදු රියැදුරු මහතෙක් සිටියේය. එකල මෙකල මෙන් රිය පැදවීමේ හැකියාව හා රියැදුරු බලපත්‍ර හිමි එක් අයෙකුවත් ගමකට නොව ගම් කීපයකටවත් නොසිටි තරම්ය. එසේම රථ වාහන ද ගම්බද දක්නට නොලැබුණි. මේ රියැදුරු මහතා එලාරිස් නමින් හඳුන්වමු. එලාරිස් වසර ගණනාවක සිට රියැදුරු රැකියාව කළේ ඔහුගේම ඔස්ටින් ලොරියෙනි. මෙකල මෙන් හයර් කියා ලියා නැතත් එලාරිස්ගේ ලොරියද කුලියට බඩු බාහිරාදිය එහා මෙහා ප්‍රවාහනය කරන්නක් බව කවුරුත් දැන සිටියහ.
ඒ ප්‍රදේශයටම තිබුණේ මෙම ලොරිය පමණක් වූ හෙයින් වාහන ශබ්දයක් ඇසුණොත් ඒ එලාරිස්ගේ ලොරියයි. මෙම ලොරියේ ද මුහුණේ වීදුරුවට ඉහළින් හරි මැද “බුදුසරණයි” යන්න වර්ණවත් ලොකු අකුරෙන් ඈතට පෙනෙන සේ ලියා තිබූ හෙයින් ගම්මුන් හැඳින්වූයේ “බුදුසරණ” ලොරිය යනුවෙනි. ඔහුට ලොරියෙන් පිහිටක් ලැබුණත් ඒ තුළ හිඳ ඔහු කළේ කපටිකම්ය. ලොරියේ දවසේ වැඩ නිමා කර ඔහු නිවසට එන්නේ මත් වතුර බෝතලයක් ද ඊට සරිලන මසක් ද රැගෙනය.
ඔහු අසල්වාසීන් සමග හිතවත්ව සිටියත් මහා පාපකර්මයට කරගසා සිටි පව්කාරයෙකි. ඔහු බල්ලන් බලු පැටවුන් හා බළලුන් ඇති දැඩි නොකළාට කම් නැත. උන් පිළිකුල් කළාට කම් නැත. කිසිවෙක් වාහනයට සතෙකු බැරිවීමකින් හැර යට කර ගෙන යාම නොකරන ධර්මතාවයකි. නමුත් එලාරිස් තමාට හරි හම්බ කරදෙන ලොරිය කියාවත් නොසිතා මහ මඟ යන විට හමුවන බල්ලන්, බලු පැටවුන් හා බළලුන් යටකර ගෙන යයි. දුර ගමන්වලදී ද ලොරිය පදවාගෙන යන විටදී මොහුගේ පව්කාරකමේ තරම කීවොත් බල්ලෙක් බලු පැටවෙක් කර නොදෙන දිනයක් නැති තරම් විය. ඉන් අතිශය සතුටක් ඔහු ලබයි. සතුන් තාර සහිත මාර්ගවල උණුසුමට ප්‍රිය කරති. එලාරිස් රාත්‍රී ලොරිය ධාවනය කරද්දී පාරට එන උගුඩුවන්, උරුලෑවන් හා ඉත්තෑවුන් වැනි සතුන් ද ලොරියට යට කරගනෙ යාමෙන් ද මහත් සතුටක් ලැබීය. ඉන් දඩමසක් ද ලබා ගත්තේය.
මෙසේ පාප කර්මවල නිරත වෙද්දී එලාරිස්ට නොදැනීම පව් ඵලදීම ආරම්භ විය. මුලින්ම ලොරිය ලෙඩ දෙන්නට පටන් ගත්තේය. ලොරිය සාදාගෙන ධාවනයට සුදානම් වෙද්දී එලාරිස් රෝගාතුර විය. එලාරිස් හා ලොරිය මාරුවෙන් මාරුවට ලෙඩ වෙන්නට විය. ආදායම ඇණ හිටියේය. පාපකර්මවල බලවත්කමට රියැදුරු රැකියාවට කන කොකා හැඬුවේය. ඔහුට ද සොයා ගත නොහැකි ආපදාවකින් ලොරිය ක්‍රියාවිරහිත වී නගරයේ ගරාජයකට භාර දී එහි වැඩ අවසන් දැයි බැලීමට දිනපතා ගියේ අහස පොළොව ගැට ගසන්නට සේ කල්පනා කරමිනි.
ගරාජයට යාමට මහා මාර්ගය හරහා මාරු වෙද්දී එලාරිස් පය පැටලී වැටුණු සැනින් පසු පසින් පැමිණි රථයකට යටවී මුළු සිරුරම තැලී පොඩි වී කලක් බොහෝ දුක් විඳ මරණයට පත් වූයේ අහිංසක සතුන් “බුදුසරණයි” ලොරියට යට කර මැරූ පාපය මේ ජීවිතයේදීම පළදෙන හැටි පසක් කරමිනි.
අකුරැස්ස පහළ මලිදූව චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.
ගහකොළ නසමින් කළ පව් පලදී අකාලයේ දිවියෙන් සමුගත් හේතුහාමි
ඔහු නමින් හේතුහාමි නම් විය. තරමක් දුෂ්කර පිටිසර ගම්මානයක දිවි ගෙවූ මොහු ගමේ බොහෝ දෙනා හැඳින්වූයේ සේතුවා යනුවෙනි. තරුණවියේ අගභාගයේ හෙවත් මැදි වයසේ එළිපත්තට ළඟා වී සිටි ඔහු ඒ වන විට ගමේ හොඳ පොහොසතකු වී සිටියේය. ඒ වන විට මොහු ඉක්මණින්ම පොහොසත් වීමේ කෙටි මාර්ගයක් ලෙස තෝරා ගෙන තිබුණේ, නීති විරෝධී දැව ජාවාරමය. ගමේ මෙන්ම අසල වනපෙත්වල තිබූ වටිනා දැව පවා හොරෙන් කපා විකුණා ලක්ෂ ගණනින් මුදල් ඉපයීය. ඒ හා සමගම මොහු තුළ තව තවත් අමන ගති බොහොමයක් ද විය.
ෙකාතරම් අකටයුතුකම් කළත් මොහු තුළ සහජයෙන්ම ලත් හැකියාවන් රැසක් ද තිබුණේය. ඒ අතර හොඳ කලා හැකියාවක් මෙන්ම ඕනෑම අයෙක් තම මතයට නම්මවා ගැනීමේ හැකියාවක් ද උපතින්ම පැවතින.
ඔහු තෝරා ගත් දැව ජාවාරම සාර්ථක කර ගැනීමට මේ හැකියාවන් හොඳින් යොදා ගෙන තිබුණි. මොහුගේ ජාවාරමට පහසුවන සේ ප්‍රදේශයේ රජයේ ආයතන සෑම එකකම පාහේ ඉහළ නිලධාරීන් සමග ඉතා හොඳ සබඳතාවක් ගොඩ නගා ගැනීමට සේතුවා ගජ හපනෙක් විය. මොහු තුළ පැවති කතා විලාසය හා අතේ මිටේ ගැවසුණ මුදල් බලය මේ සඳහා මහත් සේ උදව් විය. එසේම ගමේ ඕනෑම කෙනකුට පිහිටක් අවශ්‍ය වූ ඕනෑම මොහොතක නොපැකිළිව නිර්ලෝභීව පිහිට වීමට ඉදිරිපත් වීම නිසා සේතුවා කා අතරත් ජනප්‍රිය පුද්ගලයකු බවට ද පත් විය.
පරිසරය වනසන ජාවාරමට ද එය මනා පිටුබලයක් විය.
ප්‍රදේශයේ ප්‍රභූන් සමග පැවති සබඳතාවයත් මුදල් බලයත් නිසාම මොහුගේ නොමනා ක්‍රියාවන්ට කිසිවකු විරෝධයක් නොපෑවේ එසේ කිරීෙමන් කිසිදු ඵලක් නොවන නිසාය. ඔහු මුදලින් සරුසාරවත්ම මොහුගේ නොමනා ක්‍රියාවන් ද එන්න එන්නම වැඩි වන්නට විය. ගමේ සිටින ඇහැට කනට පෙනෙන කාන්තාවන්ට මොහුගෙන් ගැලවීමක් නොවීය. මේ හේතුව නිසාම අහිංසක පවුල් කීපයක් ද අවුල් වී ගියේ අවාසනාවන්ත ලෙසිනි.
ෙම් ක්‍රියාවන් නොඉවසූ බොහෝ දෙනා මේවාට විරුද්ධවීම ප්‍රසිද්ධියේ නොකළත් මේ අකටයුතුකම් නතර කර දෙන ලෙස ඉල්ලා කන්නලව් කරන්නට විය. කෙසේ හෝ මේ අකටයුතුකම්වලට වැඩි ආයුෂක් නොවීය. මේවාට ඉක්මණින්ම තිත තබන්නට දෙවියන් හෝ සොබාදහම සිතුවා සේය.
දිනක් සේතුවා මිතුරෙකුගේ අවශ්‍යතාවයකට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියේය. ඒ ඔහුගේ අවසන් මොහොත බව ඔහු ද නොසිතන්නට ඇත. එක් වරම අතුරු පාරකින් පැමිණි වේගයෙන්ම එම යතුරු පැදිය මොහු ගමන් කළ මාර්ගය හරහා ඉතා වේගයෙන් පැමිණියේ කිසිවක් සිතා ගැනීමටවත් පෙරය. පැමිණි වේගයෙන්ම එම යතුරුපැදිය සේතුවාගේ යතුරුපැදියේ ගැටුණේ මහා හඬක් ද නඟමිණි. හැපුණ වේගය කොතරම් ද යත් සේතුවා උඩට විසි වී ගියේ හිස පැළඳි හෙල්මටය පෙසකට දමමිනි.
ඒ හා සමගම හිස පහතට හැරී මහ පාර මැදට වැටුණු සේතුවාගේ හිස පොඩි පට්ටම් වී පාර පුරා විසිරී ගියේ ගහ කොළට සිදු කළ අපරාධවලට නිසි දඬුවම් ලබා දෙමිනි. ජීවිතයේ මැදි වයසටත් එළඹෙන්නට පෙර සේතුවාට හදිසියේම දිවිෙයන් සමුගන්නට සිදු වූයේ කළ පව්වලට වන්දි ලෙසිනි.
අංගොඩ කුඩා බුත්ගමුව එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.
අසරණුන් තළා පෙළා වැඩ ගැනීම නිසා ලැබුණු ජීවිතය
බස්නාහිර පළාතට අයත් එක්තරා ග්‍රාමයක මීට දශක තුනකට පමණ ඉහතදී ධනවත් පවුලක් වාසය කළේය. එම පවුලෙහි ප්‍රධානියා වූයේ මැදිවියේ පසු වූ පුද්ගලයෙකි. මාන්නාධික සිත් ඇත්තකු වූ හෙතෙම දුප්පත් පොහොසත් භේදය ඉහළින් සලකා කටයුතු කළ අයෙකි.
එහෙයින් උසස් පැළැන්තියේ පිරිස් පමණක් ඇසුරු කළ අතර, අසල්වැසි සාමාන්‍ය ජනයා සමග කවර ආකාරයේ හිතවත්කමක් හෝ ඇති කර ගැනීමට යාෙමන් ඔහු බොහෝ දුරට වැළකී සිටියේය. එසේ වුවද තම සුවිසල් නිවසෙහි හා ගෙවත්තෙහි සේවය කිරීම සඳහා එම ධනවතා විසින් පිටස්තර කිහිප දෙනෙකුම යොදවා ගනු ලැබීය.
එහෙත් කිසිවෙකුත් සතුටින් එහි නොරැඳුන අතර, කෙටි කලක් තුළදී ඉන් ඉවත්ව යන අයුරු ද දක්නට ලැබිණ. ඒ ඔහුගෙන් එල්ල වූ නොයෙක් තාඩන පීඩන වධ හිංසා ආදිය ඉවසා ගත නොහැකි වීම හේතුවෙනි. යම් කිසිවෙකුගේ අත් වැරදීමක් හෝ සුළු ප්‍රමාදයක් සිදු වූ විට වහා කෝපයට පත් වන හෙතෙම එවිට, අපහාසාත්මක ලෙස උස් හඬින් බැණ වඳින අතර, ඉන් නොනැවතී දකුණතින් හා ලී කැබලි ආදියෙන් පහර දීමට ද පුරුදුව සිටියේය.
එබඳු අවස්ථාවලදී අැතැමුන් නගන විලාප හඬ අසල්වාසීන් හට ද නොයෙක් විට ඇසී තිබිණ. එමෙන්ම එලෙස පහර කෑමට ලක් වුවෝ එම සිදුවීම් ඔවුනට පවසා සිටීමටද අමතක නොකළහ. අසල්වාසීහු ද එම ධනවත් පුද්ගලයාගේ අමානුෂික ක්‍රියාකාරමක් කෙරෙහි කලක සිටම අප්‍රසාදයෙන් පසු වූහ.
මානව හිමිකම් පිළිබඳව ඒ වන විට ප්‍රසිද්ධියක් ලබා නොතිබූ අතර, වැඩි දෙනා තුළ ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ද නොවීය. මෙම ධනවතා බලවත් අයකුද වූ බැවින් ඔහුට එරෙහිව කිසිවක් කිරීමට ඒ කවුරුත් මැළි වූහ. එසේ වුවද එම පුද්ගලයාට අප්‍රසිද්ධියේ දොස් නැගීමට ඔවුහු අමතක නොකළහ. මෙලෙස සිව් මසක පමණ කාලයක් ගෙවී ගියේය. එදිනද පැවතිෙය් පෙරදා මෙන්ම අයහපත් කාලගුණික තත්ත්වයකි. සවස් කාලය එළැඹීමත් සමගම තද සුළං සමගින් සිහින් වැසි පොද ඇද හැළෙන්නට විය.
එවිට කූඩුවක රඳවනු ලැබ තිබූ සුනඛයා හදිසියේ ඉන් මිදී දිව යන්නට වූයෙන්, ධනවතා ද ඒ පසු පස ගොස් ඌ අල්ලා ගැනීමේ උත්සාහයක යෙදුණි. ඒ අවස්ථාවේ සුළඟ ද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති අතර මෙවෙලෙහි මුලින් ඉදිරුනු උස් පොල් ගසක් ඒ ඉදිරියෙන් වු පැරණි රථ ගාල දෙසට වේගයෙන් ඇදී ආවේය. ඒ මොහොතේ ඒ අසලින් දිව ගිය සුනඛයා ඉන් ගැලවුණු නමුදු ධනවතා ඊට ප්‍රමාද වූවා වැඩිය.
පොල් ගසෙහි අග කොටස රථ ගාලෙහි වහලය මත පතිත වූ අතර, එෙකනෙහිම එහි කොටසක් ගැලවී අවුත් ඔහුගේ සිරුරෙහි ගැටුණි. ඉන් එම පුද්ගලයාගේ උරහිසට හා දකුණටතට ද හානි සිදුවී තිබිණ. පවුලේ අය එක්ව හෙතෙම වහා රෝහල වෙත ගෙන යනු ලැබීය. සතියකට ආසන්න කාලයක් ශාරිරික වශයෙන් මහත් වේදනා විඳිමින් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ එම ධනවත් පුද්ගලයා අවසානයෙහි සදහටම මෙලොව හැර ගියේය.
ධනය හා බලය නිසා පුහු මානයෙන් වෙළී අසරණුන් පහත් කොට සළකා තළා පෙළා වැඩ ගැනීම තුළින් සිදු කර ගත් අකුසල කර්මය හේතුවෙන් ඔහු එලෙස මොලොවදීම විපාක වින්දේය.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.
සකස් කළේ
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්