වෙනස සමහරුන්ට පුරුදු නෑ...


(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)

යහපාලනය අවුලට පත්වෙලාද, ජනතාවට පහරදීම, සුදුවෑන් කතා, රණවිරුවන් පාවාදීමට සැරසීම, හම්බන්තොට වරාය චීනයට පැවරීම, ආණ්ඩුව අස්ථාවරද? පළාත් ඡන්ද යනාදී කරුණු සම්බන්ධයෙන් විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය දැක්වූ අදහස් සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීත් අවුලට පත්වී තිබෙන්නේ ඇයි?
පිළිතුර:- යහපාලනය නිසා නේ. සාධාරණ, යුක්තිසහගත ප්‍රජාතන්ත්‍රවාදී, නීත්‍යනුකූල වැඩවල වෙනස තවම මේ රටේ ජනතාවගෙන් යම් පිරිසකට තෙරෙන්නේ නෑ. රටේ නීතියක් නැතිව පාලකයන්ට හිතෙන හිතෙන දේ කළ, අධිකරණයට බලපෑම් කළ, ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයේ කටයුතු වසර දහයක් තිස්සේ මේ රටේ සිදුවුණා.

සමස්තයක් වශයෙන් ගත්තාම ඉහළම තැන සිට පහළම තැන දක්වා මුදල් හම්බ කිරීමේ තේමාව පමණක් පදනම් කරගෙනයි ඒ වසර දහයේ සියල්ල සිදුවුණේ. කොන්ත්‍රාත් දුන්නේ කොහොමද කියල හැමෝම දන්නවා. ඒ සෑම තැනකම හොරකම වංචාව සිදුවුණා. මේවා අවසන්කර සමස්ත ක්ෂේත්‍රයේම අපි වෙනසක් ඇති කළා. ඒ තත්ත්වය සමහරුන්ට පුරුදු නැහැ. ඒ නිසාම යම් යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුව තිබෙනවා.

එදා උද්ඝෝෂණය කළා නම් අත්වූ ඉරණම මොකද්ද කියලා ජනතාවට අමතක වෙලා. අද උද්ඝෝෂණ කරන්න, තමන්ගේ අදහස් නොබියව ප්‍රකාශ කරන්න, ආණ්ඩුව විවේචනය කරන්න, තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න ඕන තරම් අවස්ථාව නිදහස තිබෙනවා. ගොඩක් අය ඒ නිදහසෙන් ප්‍රයෝජන ගන්න නිසා තමයි මෙහෙම තත්ත්වයක් තිබෙන්නේ.


ප්‍රශ්නය: එහෙම නිදහස තිබෙන බව කිව්වත් මේ ආණ්ඩුව ජනතාවට එළවා එළවා පහර දෙනවා කියලයි චෝදනා නැගෙන්නේ?
පිළිතුර: එහෙම කළේ කොහේද? වතුර ඉල්ලූ ජනතාවට රතුපස්වලදී වෙඩි තබා ඝාතනය කළා. හලාවත ධීවර උද්ඝෝෂණයට වෙඩි තැබුවේ කවුද? කටුනායකදී රොෂේන් චානක මැරුවේ කවුද? ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. තවත් මාධ්‍යවේදීන් තිස්හතරක් පමණ අතුරුදන් කළා. තව තමහර අයගේ අතපය කැඩුවා. සමහර මාධ්‍යවේදීන් රට අතහැර ගියා. මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම නැති කළා. මේ සියල්ල පසුගිය පාලනය යටතේ සිදුවුවත් 2015 න් පස්සේ ඒ කිසිවකට ඉඩ ලැබුණේ නැහැ. මේ වෙනස ඉතා පැහැදිලිව ජනතාව අත්විඳිනවා.

සමාජයට ඒ වෙනස දැනෙනවා. ඒ නිසා යම් යම් පිරිස් නගන චෝදනාවල පදනමක් නෑ.


ප්‍රශ්නය: එදා සුදුවෑන්වලට එරෙහිව ඔබලා හඬ නැගුවත් වත්මන් පාලනය යටතෙදිත් සුදුවෑන් ගැන යළිත් බිය සැක මතුවෙලා නේද?
පිළිතුර: ඇත්තටම සුදුවෑන් සංස්කෘතියක් ගැන බියක් ඇති කර ගතයුතු නෑ. යම් සිද්ධියක් ගැන කතාවක් මතුවුණා. ඒත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවක් වශයෙන් අදාළ ඇමැතිවරයා අවශ්‍ය කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධ පරීක්ෂණයක් කර තිබුණා. ඒ නිසා අනියත බියක් සමාජයේ පතුරුවන්න අවශ්‍ය නැහැ.


ප්‍රශ්නය: තිබෙන ප්‍රශ්නවලට විසඳුම්දීමට ආණ්ඩුව කටයුතු නොකිරීම නිසා නොවෙයිද මේ අවුල ඇති වී තිබෙන්නේ?
පිළිතුර: නෑ එහෙම කතාවක් නෙමෙයි මෙතන තිබෙන්නේ. පොලිසිය පොලිසිය හැටියට ස්වාධීනව කටයුතු කරන්න ඕන. එදා නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ දුරකතනයට කතාකර හිටපු ආරක්ෂක ලේකම් වරයා තමුසේ කියා තර්ජනාත්මකව කතා කරන ආකාරය රටම දැක්කා. දැන් එහෙම යුගයක් නෑ. දැන් පොලිසියට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව දී තිබෙනවා. ඒ වගේම අධිකරණය ගැන විශ්වාසයක් ස්වාධීනත්වයක් අපි ගොඩනගා තිබෙනවා. 19 වැනි සංශෝධනය හරහා අපි ඒවා කළා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා රාජ්‍ය සේවාවේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න කටයුතු කර තිබෙන්නේ ඒ අය රජයේ කටයුතු නිසි ලෙස කළ යුතු නිසයි. තම තමන්ට පැවරී ඇති වගකීම් ඒ ඒ අංශ නිසි ලෙස ඉටුකරනවා නම් ආණ්ඩුවකට චෝදනා කරන්න අවශ්‍ය නෑ. ස්වාධීනව තම වගකීම් ඉටුකරන්න, රාජකාරී කරන්න අවශ්‍ය පසුබිම මේ අණ්ඩුව සකස් කර තිබෙනවා.


ප්‍රශ්නය: මේ රට ආරක්ෂා කළ රණවිරුවන් අතුරුදන් පනත හරහා විදේශ රටවලට පාවාදීමට කටයුතු කරන බවට නැගෙන චෝදනාව බරපතළයි. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර: විරුද්ධ පක්‍ෂයට එල්ලෙන්න වැල් නැති වුණාම මොකක් හරි කතාවක් හදනවා. නොයෙක් කතන්දර කියනවා. රණවිරුවන් හෝ වෘත්තිකයන් වැඩ කරන්නේ මේ රටේ තිබෙන නීතිය අනුවයි. මේ කාට හෝ යම් චෝදනාවක් තිබෙනවා නම් ඒවා  සම්බන්ධ කටයුතු කෙරෙන්නේ මේ රටේ තිබෙන නීතිය යටතෙයි.  සමහර ආයතන නීතිය, බලය ඉක්මවා කටයුතු කරපු යුගයක් තිබුණා. යම් යම් පැහැර ගැනීම් ගැන චෝදනා යම් අංශවලට එල්ලවුණා. සමහර නියෝජ්‍ය පොලිස්පතිවරු දේශපාලනික වශයෙන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරපු හැටි පොලිස්පති තනතුර බලාගෙන පාලකයන් සතුටු කළ යුගයක් මේ රටේ තිබුණා. මේ වගේ සිද්ධි ගැන කතා කරනවිට නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන විට ආණ්ඩුව රණවිරු දඩයමේ යන බව සමහරු කියනවා.

අතුරුදන් වූවන්ගේ පනතට අත්සන් කළේ ඔය හැටි ලොකු වාසියක් ගන්න නෙමෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් කියා ජාති භේදයක්වත් රජයේ සේවකයෙක්ද සිවිල් පුරවැසියෙක්ද කියා එකක් නෑ. මේ කාටත් මේ මහ පොළොවේ නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න ඔයිට වැඩිය අන පනත් එන්න පුළුවන්. වැරැදි නිවැරැදි වෙන තැනට කවුරුත් කටයුතු කරන්න ඕන. මෛත්‍රීපාල මැතිතුමාට එදා ජය ගන්න බැරි වුණා නම් ඔහු වෙනුවෙන් කැපවී කටයුතු කළ අයට වෙන්නේ මොනවද කියා තේරුම් ගන්න තිබුණා. ඡන්දය ඉල්ලුවා කියා සරත් ෆොන්සේකා මහත්තයට කළ දේ රටම දන්නවා. බලය තිබෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්.

හැබැයි හරි දේ කර බලය නැතිවුණත් ගැටලුවක් නෑ. මේ රට ඒ තත්ත්වයට පුරුදු වෙන්න ඕන.


ප්‍රශ්නය: රටේ සම්පත් විකුණන්නේ නෑ කිව්වට හම්බන්තොට වරාය චීනයට පැවරීමට ගිවිසුම් අත්සන් කෙරෙනවා. මේ කෙරෙන්නේ රට විදේශවලට උකස් කිරීමක් නෙමෙයිද?
පිළිතුර: සින්නක්කර ලියල දෙනවාට වඩා උකස් කිරීම හොඳයි. අද යටි ගිරියෙන් කෑ ගහන තමන්ට අයිති නැති දේවල් වෙනුවෙන් බොරුවට වර්ජන කරන්න පෙනීඉන්නේ කා වෙනුවෙන්ද? ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් දැන ගන්න ඕන එදා පෝට් සිටිය සින්නක්කර චීනයට ලියා දෙනවිට ෂැංග්‍රිල්ලා හෝටලයට ගාලු මුවදොර හෙක්ටයාර් දෙකක පමණ ප්‍රමාණයක් සින්නක්කරව ලියල දෙනවිට ඔය එක්කෙනකුටවත් කට අරින්න පුළුවන් වුණාද? ඇයි ඔය අය එදා කට වහගෙන සිටියේ. ජනාධිපති මෛත්‍රීගේ නායකත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහට මේවා වෙනස් කර ගන්න පුළුවන් වුණා. සින්නක්කරව ලියා දීපුවා ආපසු ගන්න අපට පුළුවන් වුණා. අපි මේවා මෙහෙම වෙනස්කර නොගත්තා නම් මේ රටේ අයටත් ඒවාට යන්න වීසා ගන්න වෙනවා. ඒවා ගැන කවුරුත් කතා නැහැ.

මේ රටේ මහා ණය කන්දක් ගොඩ ගැසුවේ පසුගිය පාලනයයි. මේ වසරේදී පමණක් මිලියන 9100 ක් ණය හැටියට ගෙවන්න සිදුව තිබෙනවා. මේ වන විට හම්බන්තොට වරායේ පාඩුව පමණක් මිලියන 46000 ක්. මේවා ගෙවන්නේ කවුද? ඒ නිසා මේවා ගොඩ ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට ඒවායේ කකුලෙන් අදින්නේ වෙන එකක් නිසා නෙමෙයි. මේ වැඩ ටික කළාට පස්සේ මේ අගමැතිටත් ජනාධිපතිටත් අභියෝගයක් කරන්න කාටවත් බැරිවන නිසයි. ඒකයි මේ කඩාකප්පල්කාරීන්ට තිබෙන ප්‍රශ්නේ. අද වර්ජනය කරමින් රටේ ජනතාව පීඩාවට පත්කරන අයට එදා ෂැංෆ්‍රිල්ලාට ඉඩම් දෙනවිට වර්ජනය කරන්න බැරි වුණේ ඇයි? ගෝල්ෆේස් ගිහින් නිදාගන්න තිබුණනේ.


ප්‍රශ්නය: ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප ඇමැතිවරු එ.ජා.පයට දැඩි ප්‍රහාර එල්ල කරනවා. දෙගොල්ල අතර එකඟතාවක් නැතිද? මේ පේන්නේ ආණ්ඩුවේ අර්බුදයක්ද?
පිළිතුර: එහෙම එකක් නෙමෙයි නේ. එක්කෙනෙකුගේ හඬකට, එක පවුලක බලයකට යටත් වෙච්ච ආණ්ඩුවක් නෙමෙයි මේක. ජනාධිපති සහ අගමැති සෑම දෙයක් ගැනම හොඳට සාකච්ඡාකර තීන්දු තීරණ ගන්න ඒ දන්නගෙ නායකත්වයෙන් රටට හොඳ දේ ජනතාවට හොඳ දේ කරන ආණ්ඩුවක් මේක. ඕන කෙනකුට ඕන එකක් කියන්න පුළුවන්. පක්‍ෂ කීපයක් ආණ්ඩුවේ ඉන්නවා. කැබිනට් එකේදී ඒ අය විවිධ අදහස් ප්‍රකාශ කරනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. රජයට සම්බන්ධ වී සිටින ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන්ට සමහර වෙලාවට වෙනස් මතයක් තියෙන්න පුළුවන්. එහෙම වුණා කියා හොඳ සැලසුමක් ඇතිව යන මේ ගමන වෙනස් කරන්න මේ නායකයන් දෙන්නා කටයුතු කරන්නේ නෑ.
ඒ දෙන්නා කටයුතු කරන්නේ හොඳ අවබෝධයෙන් සාකච්ඡාවෙන්. සම්මුතියෙන් එකඟකරගත් තීරණත් සමගයි. වැඩ කරන්නේ.


ප්‍රශ්නය: දෙසැම්බර් 31 වන තෙක් ඉවසන්න කියා ජනාධිපතිවරයා ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන්ට ප්‍රකාශ කළා. ඒ වගේම එදිනෙන් පසු තනි ආණ්ඩු හැදීමේ කතාවකුත් කරලියට ආවා. එහෙම නම් මේ පෙන්නුම් කරන්නේ මොකද්ද?
පිළිතුර: තනි ආණ්ඩුවක් හදන්න කවුරුවත් කතා කරන්නේ නෑ. මේ ආණ්ඩුව වෙනස් කරන්න ජනාධිපතිතුමාට ඕන කියා මම නම් සිතන්නේ නෑ. වෙනත් ආණ්ඩුවක් නෙමෙයි 2020 වෙනකම් මේ යහපාලන ආණ්ඩුව තමයි පවතින්නෙ. මේ රටේ මීට පෙර තිබුණු පාලනය කොහොමද කියා කවුරුත් දන්නවා. සමහර අයට යළිත් ඒ යුගයට යන්න අවශ්‍ය ඇති. දිනපු කෙනා පරාජිත කෙනාට ගහපු දේශපාලනයක් තිබුණු මේ රටේ යහපාලනයෙන් කෙරෙන වැඩ කොටස සමහරුන්ට ඉවසන්න බැහැ. අපි දෙගොල්ල එකට සිටියොත් යළි මේ රට කාටවත් වෙනස් කරන්න බැහැ කියා කොටසක් සිතනවා. සමහර අයට පෞද්ගලික න්‍යාය පත්‍ර තිබෙනවා. මුදල් හම්බන්කරන්න ක්‍රමයක් නෑ. ඒ කොහොම වුවත් තමන්ගේ සුබසිද්ධිය නෙමෙයි රට ගැන සිතා තීන්දු තීරණ ගන්න නායකයන් දෙදෙනෙක් රටේ ඉන්නවා. ඒ දෙන්නා හොඳ අවබෝධයෙන් කටයුතු කරන නිසා කවුරුවත් ගැටලුවක් ඇති කරගන්න ඕන නෑ.


ප්‍රශ්නය: රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළා කිව්වාට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තාම ලබාදී නෑ. පළාත් පාලන ඡන්දය කල් දැම්මා සේම පළාත් සභාත් කල් දාන්නද සූදානම?
පිළිතුර: කිසි ප්‍රශ්නයක් නෑ. අපට ඡන්ද කල්දාන්න ඕන නෑ. ඡන්ද ක්‍රමයක් සහ පවතින මැතිවරණ ක්‍රමයක් වෙනස් කිරීම මාසෙන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා සම්බන්ධයෙන් සියලු දෙනා සමග සාකච්ඡා කර අවශ්‍ය අනෙකුත් කටයුතුත් කරගෙන යමින් තිබෙනවා. මේ වන විට මේ කටයුතු අවසන් මට්ටමේ යම් තැනකට පැමිණ තිබෙනවා. ඒ කටයුතු ඉතා කඩිනමින් අවසන් කර ඡන්දයට යාමයි ආණ්ඩුවේ අරමුණ. කඩින් කඩ පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් මොන තරම් මුදල් නාස්තියක් සම්පත් අපතේ යෑමක් සිදු වුනාද කියා කවුරුත් දන්නවා. ඒ නිසා මේවා එකම දිනයක පැවැත්වීම වඩා හොඳයි. පැවති සහ පවතින මැතිවරණ ක්‍රමය යටතේ විශේෂයෙන්ම මනාප ක්‍රමයෙන් මොනතරම් අසාධාරණයක් වුණාද? මේවා සෑම එකක්ම වෙනස් කිරීමට යම් කාලයක් ගතවනවා. මේ අවශ්‍ය වෙනස්කම් කඩිනමින් කළ පසු මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය කරනවා. පනත සම්මත වූ පසු පළාත් පාලන මැතිවරණය පවත්නවා.


ප්‍රශ්නය: ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් 18 ක් ආණ්ඩුවෙන් ඉවත්වන බව කියැවෙනවා. මේ පසුබිම යටතේ ආණ්ඩුවේ ස්ථාවර භාවය ගැන ප්‍රශ්නයක් නැතිද?
පිළිතුර: අපි දන්නේ නෑ. ඔහොම කිය කිය ගොඩක් අය සිටියා. එ.ජා.පයේ සෑහෙන සංඛ්‍යාවක් අරගෙන ආණ්ඩු හදපු කාලෙකුත් මේ රටේ තිබුණානේ. එතෙන්ට ගිහින් ශ්‍රී.ල.නි.ප යට වැඩියෙන් අයිතිවාසිකම් කියන වැඩියෙන්ම කතා කරන අය මුලින් සිටියේ කොහේද? මේ අය එ.ජා.පයෙන් ගිය අයයි. ඔහොම කාලෙන් කාලෙට තමන් අවස්ථාවාදී දේශපාලනයට එහෙම වෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිපත්තිගරුකව පක්‍ෂයක් සමග වැඩ කළොත් දේශපාලනය කරන්නේ පක්‍ෂ ප්‍රතිපත්තිවල සිටිමින් මිස තමන් කැමැති ස්ථානවල සිටිමින් නොවෙයි කියන එක ඔප්පු කරන්න පුළුවන්. එහෙම කරන අය දැඩි වුවමනාවකින් පක්‍ෂ ආරක්ෂා කරගෙන මොන අභියෝග ආවත් ඒවාටත් මුහුණ දී වැඩ කරනවා කියන එක අමතක කරන්න හොඳනෑ.


ප්‍රශ්නය: ලබන වසර වන විට ආණ්ඩුව ගෙදර යවන බවයි ඒකාබද්ධය කියන්නේ. මේ ගැන ඔබලාගේ ස්ථාවරය මොකද්ද?
පිළිතුර: ඒකාබද්ධයේ අය කොයිවගේද කියා ජනතාව හොඳින් තේරුම් අරන් ඉන්නේ. වංචා, දූෂණ, මැරක්‍රියා සම්බන්දයෙන් චෝදනා ලබපු කල්ලියක් තමයි ඒකාබද්ධයේ ඉන්නේ. මේ අය දැන් මොනවා ගැන හෝ කියා තමන්ගේ පැවැත්ම හදාගන්නයි බලන්නේ. ඒ අයට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ගැලවෙන්නේ කොහොමද කියලයි බලන්නේ. මේ ආණ්ඩුව ගෙදර යවන්න ඔය කල්ලිවලට බැහැ. කවුරු මොන කතා කිව්වත් මේ ආණ්ඩුව නම් 2020 නෙමෙයි 2025 වෙනකම්වත් හොල්ලන්න අපි ඉඩ දෙන්නේ නැහැ.