ඇන්ඩ්‍රේ ප්‍රනාන්දු අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළෙඳ සැපයුම් හා මධ්‍යස්ථාන මෙහෙයුම් උපදේශක කමිටුවට


MAC හෝල්ඩින්ග්ස් සමාගමේ සමූහ සභාපති සහ ශ්‍රී ලංකා සැපයුම් හා භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ (SLFFA) සභාපති ඇන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ‘වෙළෙඳ සැපයුම් හා මධ්‍යස්ථාන මෙහෙයුම් උපදේශක කමිටුවේ’ (Trade Logistics and Hub Operations Advisory Committee) සාමාජිකයකු ලෙස පත් කර තිබේ.

2026 අගෝස්තු 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇති මෙම පත්වීම, සැපයුම් (Logistics), භාණ්ඩ ප්‍රවාහන (Freight Forwarding) සහ වෙළෙඳ ක්ෂේත්‍රවල ප්‍රනාන්දු මහතා සතු දීර්ඝකාලීන අත්දැකීම් සහ නායකත්වය ඇගයීමට ලක් කිරීමකි.

ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ වෙළෙඳ සංවර්ධන මැදිහත්වීම් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම උපදේශක කමිටුව උපායමාර්ගික දායකත්වයක් ලබා දීමට නියමිතය. විශේෂයෙන්ම, මෙරට අපනයන වර්ධනය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යටතේ වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහාය වීම මෙම කමිටුවේ ප්‍රධාන අවධානයක් වනු ඇත.

මීට අමතරව, අපනයන සංවර්ධන මණ්ඩල පනතේ ප්‍රතිපාදන වඩාත් සක්‍රීය ලෙස ක්‍රියාත්මක කිරීමට අදාළ කරුණු සම්බන්ධයෙන් EDB ආයතනය වෙත උපදෙස් ලබා දීමද මෙම කමිටුව මගින් සිදු කෙරේ.

ඇන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතාගේ ක්ෂේත්‍ර ප්‍රවීණත්වය සහ පෞද්ගලික අංශයේ පළපුරුද්ද, ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය, වෙළෙඳ පහසුකම් සැලසීම සහ සැපයුම් හැකියා ඉහළ නැංවීමේ පියවර සඳහා මහඟු‍ පිටුවහලක් වනු ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් තරගකාරී වෙළෙඳ සහ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට ගෙන යාමේදී රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර පවතින සහයෝගීතාවේ වැදගත්කමද මෙම පත්වීමෙන් තවදුරටත් පිළිබිඹු වේ.