ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප‍්‍රවර්ධන ව්‍යාපෘතියක් වෙයි


(ඡායාරූප සහ විස්තර - නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ)

කාසල්රි ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයෙන් පෝෂණය වන ගිනිගත්හේනේ පිහිටි ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප‍්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධය කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ ලේකම් එස්. සරවනබවන් මහතා පවසයි.

ඇළදෝනා ඇල්ල වශයෙන් හැදුන්වු මෙම දියඇල්ල සුදු අධීරාජ්‍යවාදින් විසින් ඇබර්ඩින් ඇල්ල වශයෙන් නම් කර ඇත. කෙසෙල්ගමු ඔයේ අවසන් දිය ඇල්ල ලෙස ගලා හැලෙන මෙම දියඇල්ල ලක්‍ෂපාන දියඇල්ලට පහලින් කැළණි ගඟට එක්වන අතර ඇර්බර්ඩීන් ඇල්ල උසින් අඩි තුන්සිය විස්සක් (320) කි. 

කෙසෙල්ගමු ඔයේ ජල ධාරිතාව වැඩි වන අවස්ථාවල එහි ජලය දියඇලි දෙකක් සේ පහළට ගලා බසී.  ඇර්බඩින් ඇල්ලට ඉහළින් තවත් කුඩා දියඇලි තුනක් තිබීම නිසා ඇබර්ඩින් ඇල්ලේ සුන්දරත්වය වැඩි වෙයි.

එය නැරඹිමට දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන්  අඹගමුව ප‍්‍රාදේශිය සභාව විසින් දියඇල්ල පහළට ගලා බසින ස්ථානයේම නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකර තිබේ. ඇබර්ඩින් දියඇල්ලේ සංචාරක ප‍්‍රවර්ධන වැඩ සටහනෙන් අනතුරුව ලක්‍ෂපාන දියඇල්ලද සංචාරක ප‍්‍රවර්ධන ව්‍යපෘතියක් ලෙස සංවර්ධනය කිරිමට නියමිතය.