
නීතිඥ සුසන්ත කටුගම්පල
- වසර 35කට පසුව දේශපාලන වෙනසක්
- දක්ෂයන්ට තැන දී සියලු ජාතීන් එකමුතු වුවොත් පමණක් ලංකාවට ඉදිරියට යන්න පුළුවන්
- පවතින සංකීර්ණ ක්‍රමවේදයේදී නිවැරැදි උපදෙස් අනුව නිසි ක්‍රමවේදයට අයැදුම් කළ යුතුයි
- සෞඛ්‍ය සේවයේ, සංචාරක ආගන්තුක සත්කාර අංශයේ සංක්‍රමණිකයන්ට වැඩි අවස්ථාව
- ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රම හිඟයක්
- ලංකාවේ පවතින තාක්ෂණික සුදුසුකම්වලට ඕස්ට්‍රේලියාවේ ඉහළ පිළිගැනීමක්
- රටක් වශයෙන් තිරසර වීමට මීට වඩා විදේශ ආයෝජන අවශ්‍යයි - අපනයන නංවන්නත් ඕනෑ
- ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට වැඩියෙන් දිරිගැන්විය යුත්තේ කාර්මික ක්ෂේත්‍රයේ අයයි
- නිලධාරීන්ට බලපෑම් කරන දේශපාලනයක් ඕස්ට්‍රේලියාවේ නෑ
- රජය ව්‍යාපාර කිරීමෙන් කිසිදා රටක් දියුණු වෙන්නේ නෑ
ඕස්ට්‍රේලියාවට සිදු වන සංක්‍රමණ පාලනය කිරීමේ නව ප්‍රවණතාවක් ගොඩනැගෙමින් තිබේ. ඒ වෙනුවෙන් නව රෙගුලාසි පැනවීමට වත්මන් පාලනය ද යොමුව සිටී. ගොඩනැගෙන නව ප්‍රවණතා සහ එම තත්වය ලංකාවට කෙසේ බලාපාන්නේ ද යන්න සම්බන්ධයෙන් ආගමන විගමන නීතිය පිළිබඳ ප්‍රවිණයකුවන නීතිඥ සුසන්ත කටුගම්පල මහතාගෙන් විමසුවෙමු. ඔහු ආසියානු රටවල් ගණනාවක් සමග නීති ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රවීණයෙකි.
දශක තුනකට අධික කාලයක් පුරා ඕස්ට්‍රේලියානු නීති ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රමුඛතම නීතිඥවරයකු ලෙස දොන් සුසන්ත කටුගම්පල මහතා හැඳින්විය හැක. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මෙල්බර්න්හි කීර්තිමත් මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් නීතිවේදි (LLB) උපාධිය ලබාගත් ඒ මහතා, දකුණු ඕස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන්නේය.
1999 වසරේදී මෙල්බර්න්හි Fairfields Lawyers නීති ආයතනය ආරම්භ කරමින් ආගමන හා වාණිජ නීති ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියක් දිනා ගැනීමට සමත් වූ කටුගම්පල මහතා, ජාත්‍යන්තර ආයෝජකයන් රැසකට ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට නීතිමය මග පෙන්වීම ලබා දී ඇත. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජා සම්මාන උළෙලේදී අනුප්‍රාප්තිකව තෙවරක්ම ‘හොඳම නීතිඥවරයා’ ලෙස සම්මාන ලැබූ ඒ මහතා, සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගණනක වෛද්‍ය ආධාර ලබා දුන් AUSLAMAT සංවිධානයේ සම සම්පාදකයකු ද වේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු වන ඒ මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර සබඳතා ප්‍රවර්ධනය උදෙසා කැප වී සිටින ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙකි.
වසර 35කට පමණ පසුව ඕස්ට්‍රේලියාවේ දේශපාලන වෙනසක් පෙනෙන්නට තිබේ. පොලින් හැරිසන් නම් අයෙක් 1996දී ඕස්ට්‍රේලියාවේ දේශපාලනයට පැමිණියේය. ඔහු ඕස්ට්‍රේලියාවේ සෙනෙට් සභාවට පැමිණියේ ‘වන් නේෂන්’ නම් දේශපාලන පක්ෂයෙනි. සංක්‍රමණයට විරුද්ධ ප්‍රතිපත්තියක් ඔහු ප්‍රකාශයට පත් කළේය. එවකට අගමැති වූයේ ජෝන් හාවර්ඩ් ය. ඔහු බලයට පත්වූයේ ලිබරල් පක්ෂයෙනි. ඉන් පසු අගමැති වූයේ ද හාවර්ඩ්ගේ රජයේ ඇමැතිවරයකු වූ ටෝනි ඇබට් ය. මේ දෙදෙනාම කොන්සර්වේටිව් පාක්ෂිකයෝ වූහ. ඔවුන් දෙනොම දක්ෂිණාංශික පාලනයක්, රජයක් ගෙන ගියහ. පෝලින් හැරිසන් සෙනෙට් සභිකයකු ලෙස පත්වූයේ ද ජෝන් හාවර්ඩ් අගමැති වූ 1996 මැතිවරණයේදීමය. දේශපාලනිකව පෝලින් හැරිසන් යටපත් කිරීමට ජෝන් හාවර්ඩ් සහ ටෝනි ඇබට් කටයුතු කළහ.
ඒ කුමන ආකාරයේ කටයුතු කළත්, ගෙවුණු වසර තිහක කාලයේදී පෝලින් හැරිසන් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කළේය. සෙනෙට් සභිකයකු වශයෙන් කටයුතු කළේය. එක් වතාවක් පමණක් ඔහු ආසනවලින් තේරී පත්වූවන්ගෙන් සෑදෙන ප්‍රධාන පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
මෑත කාලයේදී ඕස්ට්‍රේලියානු දේශපාලනය තුළ පෝලින් හැරිසන්ගේ නව පිබිදීමක් දැක ගන්නට පුළුවන. එතෙක් පෝලින් හැරිසන්ට තිබූ සියයට තුනක් හතරක් පමණ වූ ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතය මේ වන විට සියයට 30 දක්වා වැඩි වී තිබේ. එයින් පෙනෙන්නේ, පෝලින් හැරිසන්ගේ වන් නේෂන් පක්ෂය ඕස්ට්‍රේලියානු දේශපාලනයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් බවට පත්වී ඇති බවය. මේ සිද්ධියේ ලොකුම අවාසිය වී ඇත්තේ ලිබරල් පක්ෂයටය. පෝලින් හැරිසන් පළමු තැන සිටින විට දෙවැනි ස්ථානයේ පසු වන්නේ කම්කරු පක්ෂයයි (ලේබර් පක්ෂය). එනම්, වර්තමාන රජයයි. එම රජය බලයට පත්වූයේ 2022 මැයි මාසයේදීය. 2025 මැයි මාසයේදී දෙවැනි වරටත් එම පක්ෂයම බලයට පත්විය.
කම්කරු පක්ෂය මෙසේ 2025දී දෙවැනි වරටත් බලයට පත්වූයේ විශාල බහුතරයකිනි. එම මැතිවරණයේදී පෝලින් හැරිසන්ට අද තිබෙන පිබිදීම, පිළිගැනීම තිබුණේ නැත. වසරක් වැනි කෙටි කාලයකදී ඔහුගේ ජනප්‍රියත්වය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. එයට ඍජුව බලපෑ හේතුවක් ද තිබේ. නිව් සවුත් වේල්ස්වල පිහිටි බොන්ඩායි නගරයේදී පැවැති ආගමික සැමරුමක් අවස්ථාවේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එම හේතුවය. මේ ප්‍රහාරය එල්ල කළේ පිය-පුතු දෙපළකි. මෙයින් විශාල ජන ඝාතනයක් සිදු වුණි. මුස්ලිම් ජාතිකයන් මේ ප්‍රහාරය එල්ල කළ නිසා මුස්ලිම්වරුන්ට විරුද්ධ මතයක් ගොඩනැගීමට එම අවස්ථාව දේශපාලනිකව ප්‍රයෝජනයට ගැනීමට පොලින් හැරිසන් කටයුතු කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් යන මාර්ගයේම ගමන් කරමින් පෝලින් හැරිසන් ඉදිරියට පැමිණියේය. ඒ අනුව, මෑත කාලීනව පෝලින් හැරිසන් දේශපාලනිකව පිබිදීමට ප්‍රධානම හේතුව වූයේ ඉහත කී තත්වයයි.
ඕස්ට්‍රේලියාවේ සිදු වන සංක්‍රමණ අඩු කළ යුතු බව පසුගිය වසර කිහිපයේදීම සාකච්ඡාවට ලක්වූ මාතෘකාවකි. ලිබරල් පක්ෂයෙන්ම එම යෝජනාව ඉදිරිපත්ව තිබුණි. පැමිණෙන සංක්‍රමණික ගණන වැඩි බවට අදහසක් තිබුණි. නිවාස ප්‍රශ්න ආදිය මෙහිදී ප්‍රමුඛ අවධානයට ගත්තේය. සංක්‍රමණිකයන්ට නිවාස සපයන විට ඕස්ට්‍රේලියානුවන්ට නිවාස හිඟයකට මුහුණ දීමට සිදු වන බව නිරන්තරයෙන් කියැවුණි. මේ නිසා සංක්‍රමණිකයන් අඩු කළ යුතු බවට අදහසක් තිබුණි. සංක්‍රමණික විරෝධි මතවාදයත්, මුස්ලිම් විරෝධි මතවාදයත් එක් කරගනිමින් පෝලින් හැරිසන් සිය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළේය. ඔහුගේ ඡන්ද පදනම සියයට 30 දක්වා ඉහළ ගොස් ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

සුසන්ත කටුගම්පොළ මහතා කැන්බෙරා නුවර පිහිටි ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී එරට ආගමන විගමන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය, ටෝනි බර්ක් මහතා සමගින්.
පෝලින් හැරිසන්ගේ පක්ෂය දේශපාලන පක්ෂයක් වශයෙන් නිසි පරිදි සංවිධාන වීම, ව්‍යාප්ත වීම හෝ පක්ෂ යාන්ත්‍රණය, පක්ෂ ව්‍යුහය කම්කරු හෝ ලිබරල් පක්ෂයේ තරම් නොමැත. දේශපාලන පක්ෂයක ශාඛා තිබිය යුතුය. සාමාජිකයන් සිටිය යුතුය. ක්‍රියාකාරි ක්‍රමවේදයක් තිබිය යුතුය. පෝලින් හැරිසන්ගේ පක්ෂයේ එවැනි තත්වයක් දක්නට ලැබෙන්නේ ඉතාම අඩුවෙනි. මැතිවරණයකදී අවශ්‍ය අපේක්ෂකයන් හඳුනාගෙන ප්‍රකාශයට පත් කිරීමක් ද සිදුව නැත. ඒ කෙසේ වුවත්, සමස්තයක් ලෙස ගෙන බලන විට පෝලින් හැරිසන්ට ඔහුගේ වන් නේෂන් පක්ෂයට ඕස්ට්‍රේලියාවේ දේශපාලනය තුළ ඇති අවස්ථාව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින ආකාරයක් දැකගත හැකිය.
ඕස්ට්‍රේලියාවේ මේ නව ප්‍රවණතාව ලංකාවට බලපාන්නේ කෙසේ දැයි මීළඟට මතු වන වැදගත්ම ප්‍රශ්නයයි. ලාංකිකයෝ ලක්ෂ ගණනක් ඕස්ට්‍රේලියාවේ වෙසෙති. වික්ටෝරියා, මෙල්බර්න් යන නගරවල පමණක් ලාංකිකයෝ ලක්ෂයකට වැඩි පිරිසක් සිටිති. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දියානු ජනගහනය ලක්ෂ 10කි. ඊට අමතරව චීන ජාතිකයෝ ද සිටිති. ආසියානු සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියානු සමාජයේ සිටින බව ඉතා පැහැදිලිය. ලෙබනන්, සිරියා, ඉරාන ආදි මැද පෙරදිග රටවලින් සංක්‍රමණය වූ මුස්ලිම් අයගේ සංයුතියක් ද ඕස්ට්‍රේලියානු සමාජයේ දැකගත හැකිය.
සංක්‍රමණවලට විරුද්ධ මතයක් ඇති වූ විට සංක්‍රමණිකයන්ට විරුද්ධ මතයක් ඕස්ට්‍රේලියානු ප්‍රධාන සමාජයේ ද ඇති වනු ඇත. එයින් සිදු වන්නේ, මේ සමාජය බෙදීමය. එය රටක හිතකර තත්වයක් නොවේ. අප කොතැන සිටියත් ජාතිවාදයට විරුද්ධය. ලංකාවට ඉදිරියට ඒමට නොහැකි වූයේ ජාතිවාදි පදනමින් කටයුතු කිරීම නිසාය. අප ළඟ ජාතිවාදය තිබූ නිසාය. දක්ෂයන්ට තැන දී සියලු ජාතින් එකතු වුවහොත් පමණක් රටක් වශයෙන් ලංකාවට ඉදිරියට යාමට පුළුවන. ඕස්ට්‍රේලියාව ඉදිරියට ගොස් තිබෙන්නේ ඒ ආකාරයෙනි. සුදු ජාතිකයන් ඕස්ට්‍රේලියානුවන් වශයෙන් හඳුනා ගත්තත්, ඔවුන් ද සංක්‍රමණිකයන් බව කිව යුතුය. කලින්ම එරට සිටියේ ඇබොරොජින්ස්ලාය. ඒ, ආදිවාසින්ය. ඔවුන් හැරුණු විට එරටට පැමිණි සියල්ලෝම සංක්‍රමණිකයෝය. මුලින්ම පැමිණියේ එංගලන්ත සම්භවයක් ඇති අයයි. ඒ කාලයේම තවත් අය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ. මේ අනුව බලන විට, ඕස්ට්‍රේලියාව සංක්‍රමණිකයන්ගෙන් සකස් වූ රටකි. වසර දහස් ගණනක් පැරැණි ඉතිහාසයක් එරටට නැත. එවන් පැරැණි ඉතිහාසයක් ඇත්තේ ඇබොරොජින්ස්ලාට පමණි. යුරෝපයෙන්, එංගලන්තයෙන්, චීනයෙන්, ලංකාවෙන්, මැද පෙරදිගින් සංක්‍රමණිකයන් ගොස් ඇත්තේ වසර සිය ගණනක් ඇතුළතය. ඒ රට දියුණු වී ඇත්තේ ද සංක්‍රමණිකයන්ගෙනි. ඒ නිසා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණ අත්‍යවශ්‍යය. සංක්‍රමණිකයන්ගේ බහු සංස්කෘතිකභාවය, බහු ආගමිකත්වය ඕස්ට්‍රේලියානු සමාජයේ අවියෝජනීය කොටස්ය. එනිසා මේ තත්වය ඉවත් කර ඕස්ට්‍රේලියාවට තනි සංස්කෘතියක් වශයෙන් පවතින්නට නොහැක. ඕස්ට්‍රේලියානු සමාජ ක්‍රමය ඉදිරියට යා යුත්තේ අන්‍යොන්‍ය සුහද ගරුත්වයක් සමගිනි. ඕස්ට්‍රේලියාව අද පවතින තත්වයට දියුණු වී ඇත්තේ ඒ පදනමෙනි.
පෝලින් හැරිසන් සංක්‍රමණ විරෝධි ප්‍රතිපත්තියක සිටින නිසාත්, ඔහුගේ ජනප්‍රියත්වය වැඩි වෙමින් පවතින නිසාත්, එරට වත්මන් පාලනය සංක්‍රමණ හිතකර ප්‍රතිපත්තියක සිටියත්, සංක්‍රමණ විරෝධි මතයක් රටේ තිබෙන බව ඔවුන් පිළිගෙන තිබේ. ඇති වී තිබෙන දේශපාලන තරගය නිසා පෝලින් හැරිසන් හෙට කරනවා යැයි කියන ප්‍රතිපත්තියට ආසන්න ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමට වත්මන් ඕස්ට්‍රේලියානු රජය ද යොමු වී තිබේ. ඒ අනුව වත්මන් රජය සංක්‍රමණ ප්‍රතිපත්ති ලිහිල් කරනවා වෙනුවට තව තවත් දැඩි කර තිබේ. එය ලංකාවේ සිටින අයටත්, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය නැතුව සිටින අයටත්, සංක්‍රමණ ක්‍රමවේදය ඉතාමත් සංකීර්ණ වී තිබේ. ඉතාම අභියෝගාත්මක වී තිබේ. ස්ටුඩන්ට් වීසාවලින් යන අයට (රික්වයර්මන්ට්) ඇති අවස්ථා වැඩි කර තිබේ. විසිටින් වීසාවලින් යන අයට ඇති අවස්ථා වැඩි කර තිබේ. විසිටින් වීසා ගැනීම අපහසු කර තිබේ. විසිටින් වීසා එකකින් ස්ථිර පදිංචි වීසාවලට අයැදුම් කිරීමට නොහැකි වන ආකාරයට නව කොන්දේසි පැනවීමට කටයුතු කර තිබේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් උපාධි පාඨමාලාවක් හෝ පුහුණු පාඨමාලාවක් හදාරනවා නම් ඔවුන්ගේ සහකරු හෝ සහකාරිය ගෙන්වා ගැනීමට නොහැකි වන ආකාරයට නීති පැනවීමට වත්මන් ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටී. ඕස්ට්‍රේලියානු රජයේ වත්මන් ප්‍රතිපත්තිය වී තිබෙන්නේ, සංක්‍රමණිකයන්, ශිෂ්‍යයන් පැමිණීම අඩු කිරීමය.
එහෙත්, සංක්‍රමණික අවස්ථා කිසි දිනෙක අහිමි වන්නේ නැත. ඒ, ඕස්ට්‍රේලියානු ආර්ථිකයට සංක්‍රමණ අත්‍යවශ්‍ය නිසාය. එනිසා විවිධ අභියෝග මධ්‍යයේ මෙය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත. මේ සංකීර්ණ ක්‍රමවේදයේදී නිවැරැදි උපදෙස් ලබාගෙන නිවැරැදි ක්‍රමවේදයට අයැදුම් කළ යුතුය.
ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවයේ සියයට තිහක් පමණ සිටින්නෝ සංක්‍රමණිකයෝය. වෛද්‍යවරු, හෙදියන් ඇතුළු පිරිස් එයට ඇතුළත්ය. එරට සෞඛ්‍ය සේවාව ගෙන යන්නේ සංක්‍රමණිකයන්ය. වැඩිහිටියන් රැක බලා ගැනීමට සියයට තිහක් පමණ සිටින්නේ සංක්‍රමණිකයන්ය. සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය ගතහොත් එහි සියයට තිහකට වැඩි පිරිස සංක්‍රමණිකයන්ය. මේ අනුව බලන විට, ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයේ ප්‍රධාන අංශ සංක්‍රමණිකයන් නොමැතිව පවත්වාගෙන යාමට නොහැක. මෙකී ක්ෂේත්‍රවල අවස්ථා තිබෙන නිසා ඒවාට අවශ්‍ය පිරිස් ගෙන්වා ගැනීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටී. එනිසා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ නම්, එවැනි පිරිස්වලට ඇති අවස්ථා වැඩිය.
ඒ වගේම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රම හිඟයක් තිබේ. ඕස්ට්‍රේලියාවේ නිවාස හිඟයට ප්‍රධාන හේතුවක් වන්නේ යෙදවිය යුතු මුදල (ප්‍රාග්ධනය) ඉතා ඉහළ අගයක පැවැතීමය. එනිසා නිවාස හිඟයට විසඳුම් සෙවීමට නම්, ප්‍රාග්ධන වියදම අඩු කළ යුතුය. ඒ වගේම, අවශ්‍ය අනුමැතිය රජය කඩිනමින් ලබා දිය යුතුය. මෙවැනි පසුබිමක එරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවස්ථා රැසක් තිබේ. ඉල්ලුමක් පැවැතියත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවලට යාමට එරට ප්‍රමිතියට ගැළපෙන ආකාරයට සුදුසුකම් සැපිරිය යුතුය. එනිසා එම අංශයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය පහසු නැත. එහෙත්, ඉදිකිරීම්, ආගන්තුක සත්කාර, ඔටෝමෝටිව්, ඉංජිනේරු ආදි ක්ෂේත්‍රවලදී ලියාපදිංචිය අවශ්‍ය නැත. අවශ්‍ය පුහුණුව, හැකියාව තිබේ නම් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය විය හැකිය. මේ ක්ෂේත්‍රවලදී ලංකාවේදී ලබා ගන්නා සුදුසුකම් හා ඕස්ට්‍රේලියාව අපේක්ෂා කරන මට්ටම එක සමානය. එහෙත්, පිලිපීනයේ සුදුසුකම් බොහෝ විට සම මට්ටමේ පවතින්නේ නැත.
ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ පවතින සුදුසුකම්වලට ඕස්ට්‍රේලියාවේ ඉහළ පිළිගැනීමක් තිබේ. විශේෂයෙන්ම, ‘ජර්මන් ටෙක්’හි සුදුසුකම්වලට ඕස්ට්‍රේලියාවේ අවස්ථාව තිබේ. ඒ වගේම, ‘නයිටා’ සුදුසුකම් එරට ඉල්ලා සිටින සුදුසුකම් හා සම මට්ටමේය. එය ලංකාවට හොඳ අවස්ථාවකි.
විදේශ සංක්‍රාම අපේ ආර්ථිකයට බෙහෙවින් වැදගත්ය. ලංකාවේ පවතින විදේශ සංචිත ප්‍රමාණවත් නැත. රටක් වශයෙන් දියුණු වීමට නම්, තිරසාරත්වයක් ළඟා කරගැනීමට නම්, මීට වඩා විදේශ ආයෝජන පැමිණිය යුතුය. පිටරටවලින් වැඩි වැඩියෙන් ඩොලර් ගලා ආ යුතුය. අපනයන සංචාරක ප්‍රේෂණ ආදියෙන් දැනට ඩොලර් ලැබුණ ද ප්‍රමාණවත් නැත. අපනයන තව තවත් වැඩි කළ යුතුය. සංක්‍රමණවලදී ලංකාවට ඩොලර් ලැබෙන්නේ විදෙස් ප්‍රේෂණ හරහාය. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ස්ථිරව පදිංචි වුවත්, ඒ බොහෝ ලංකාවත් සමග සම්බන්ධය. ඔවුහු ලංකාවේ සිටින තම පවුල්වලට උදව් කරති. මුදල් එවති. එසේ එවන මුදල් නීත්‍යනුකූලව එවිය යුතුය. එය රටේ විදේශ සංචිත වැඩි වීමට උපකාර වන්නකි. මේ ආකාරයට වැඩි වශයෙන් ලංකාවට උදව් කරන්නේ, වෘත්තීයමය වශයෙන් සංක්‍රමණයවූවන්ට වඩා කාර්මික ක්ෂේත්‍රයේ නියුතු අයයි. එනිසා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට වැඩි වශයෙන් දිරිගැන්විය යුත්තේ කාර්මික ක්ෂේත්‍රයේ අයයි. මේ අයගේ ආර්ථික තත්වය පවතින්නේ ඕස්ට්‍රේලියාවේ ආර්ථික තත්වයට වඩා පහළිනි. මේ අයගේ ජීවන තත්වය ඉහළට ගැනීමට විදේශගත වන අය මුදල් එවීම සාමාන්‍යයෙන් සිදු වේ. ජාත්‍යන්තරව පිළිගන්නා වෘත්තීය සුදුසුකම් තව තවත් මේ රටේ වර්ධනය කළ යුතුය. බටහිර රටවල කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවලට අවශ්‍ය අය නැත. මේ ක්ෂේත්‍රයේදී සංක්‍රමණිකයන්ට අවස්ථා උදා වී ඇත්තේ ඒ හරහාය. අවශ්‍ය සුදුසුකම් සපුරා දී එම අවස්ථා ලාංකිකයන්ට ලබා දිය හැකි නම්, ඔවුන්ගේ ජීවිත උසස් වනවා මෙන්ම රටට ද වාසියක් සැලසෙනු ඇත. මෙරටදී ද මූල්‍යමය වශයෙන් ස්ථාවර කෙනකු වෙනත් රටකට යාමෙන් එවන් වාසිදායක තත්වයක් නිර්මාණය වේ යැයි සිතිය නොහැක.
සංක්‍රමණ විරෝධි මතයක් ගොඩනගන්නේ දේශපාලන වාසියක් ලබා ගැනීමටය. ලංකාවේ ජාතිවාදින් යැයි සිතන ඇතැම් දේශපාලනඥයන් ඇත්තටම ජාතිවාදින් නොවේ. ඔවුන් ජාතිකත්වය ප්‍රවර්ධනය කරන්නේ දේශපාලන වාසියක් ගැනීමටය. එයින් සිදු වන්නේ ඍණාත්මක බලපෑමකි.
සංක්‍රමණ කෝටාව කොතෙක් දැයි ප්‍රසිද්ධ කෙරෙන්නේ අදාළ මුදල් වර්ෂයටය. එම මූල්‍ය වර්ෂය ආරම්භ වන්නේ සෑම වසරකම ජුලි 1 වැනිදාය. අවසන් වන්නේ ජූනි 30 වැනිදාය. 2026 මූල්‍ය වර්ෂයට සංක්‍රමණිකයන් 180,000කට අවස්ථා ලබා දෙන බව ප්‍රකාශ වී තිබුණි. ඒ අනුව බලන විට ලබා දෙන කෝටාවේ අඩු වීමක් නැත. නව ක්‍රමය යටතේ ද එංගලන්ත සම්භවයක් ඇති අය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ. එහෙත්, ගෙවුණු වසර දහයේදී යුරෝපයේ ආර්ථිකමය වශයෙන් දියුණුවක් ඇති වූ නිසා එංගලන්තයෙන් සංක්‍රමණය වන පිරිස අඩු වී තිබේ. දැන් වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ ඉන්දියාවෙනි. එක් එක් රටවලට කෝටා වෙන් කර ඇත. 1999-2000 පමණ වන තෙක් සෑම රටකටම සංක්‍රමණ කෝටාවක් ලබා දී තිබුණි. ඉන් පසුව එම ක්‍රමය අහෝසි කර සියල්ල විවෘතව තැබුවේය. ඒ අනුව, වැඩියෙන් ඉල්ලන කෙනාට වැඩියෙන් ලැබුණි. කාලයක් චීනයෙන් වැඩි ඉල්ලුමක් තිබුණි. දැන් චීනයේ ඇති වී තිබෙන දියුණුව හේතුවෙන් සංක්‍රමණය වීම අඩු වී තිබේ.
පෝලින් හැරිසන්ගේ වන් නේෂන් පක්ෂය බලයට පැමිණියහොත් විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔවුන්ට තිබෙන්නේ අඩු දැනුමකි. මේ පක්ෂයේ ඇතැම් පාක්ෂිකයන් එක්සත් ජාතින්ගේ සංවිධානයට විරුද්ධව කතා කරන අවස්ථා ද තිබේ. එම සංවිධානයෙන් ඕස්ට්‍රේලියාව ඉවත් විය යුතු බව කියන අය ද සිටිති. මේ ප්‍රතිපත්තිය ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට බෙහෙවින් සමානය. කෙසේ වුවත්, ඕස්ට්‍රේලියාවට තම විදේශ ප්‍රතිපත්තිය අතිශය වැදගත්ය. ලංකාව සමග සසඳා බැලුවහොත් ඕස්ට්‍රේලියාවට වඩා ලංකාවට විදේශ ප්‍රතිපත්තිය වැදගත්ය. ලෝක බලවතුන් ද ලංකාව කෙරෙහි උනන්දුවකින් පසු වන බව පෙනේ. මෙය තුලනය කරගැනීම අවශ්‍යය. ඉන්දියාවේ සිදු වන සංවර්ධනයේ අවස්ථා ලබා ගනිමින් ලංකාව දියුණු කිරීම විදේශ ප්‍රතිපත්තියත් සමග සිදු විය යුත්තකි.
ඕස්ට්‍රේලියාවේ දේශපාලන යාන්ත්‍රණය තිබුණත්, පක්ෂවල ප්‍රතිපත්ති වෙනස් වුවත්, රටේ ක්‍රමවේදය පවත්වාගෙන යන්නේ නිලධාරින් විසිනි. එරටේ ශක්තිමත් නිලධාරි තන්ත්‍රයක් තිබේ. ඔවුන් ඒ සඳහා හොඳින් පුහුණු වී තිබේ. කුමන දේශපාලන අභියෝග පැමිණියත්, ප්‍රතිපත්ති වෙනස් වුවත්, ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය කඩාවැටෙන්නේ නැත. කුඩා කුඩා පසුබෑම් ඇති වුවත් නිලධාරින්ට බලපෑම් කරන දේශපාලන වාතාවරණයක් ඕස්ට්‍රේලියාවේ නැත. නිලධාරින්ට අවශ්‍ය බලය ලබා දී තිබේ. පාලනය ඉතාම ඉහළ මට්ටමක තිබේ. එනිසා සිස්ටම් කඩාවැටී ඉක්මනින් වෙනස් වීමේ ප්‍රවණතාව ලංකාවට සාපේක්ෂව බලන විට බෙහෙවින්ම අඩුය. ඉන්දියාවේ වර්ධනයට හේතු වී ඇත්තේ දේශපාලන නායකත්වය, දැක්ම වගේම නිලධාරි යාන්ත්‍රණයේ ඇති වී තිබෙන දියුණුව නිසාය. නිලධාරින් හරියට යාන්ත්‍රණය ක්‍රියාත්මක නොකරන්නේ නම් රටක දියුණුවක් ඇති වන්නේ නැත. එනිසා මෙහි ඇති වැදගත්කම් අවබෝධ කරගත යුතුය.
ඕස්ට්‍රේලියාවේ පවත්නා ක්‍රමවේදය අනුව එරට රජය ව්‍යාපාර කරන්නේ නැත. එරට රජය කරන්නේ ව්‍යාපාරවලට අවශ්‍ය නීති සම්පාදනය කිරීමය. ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීමය. සෑම දෙයක්ම පෞද්ගලීකරණය කර තිබේ. මාර්ග, ගුවන් සේවා, යටිතල පහසුකම් ආදිය උදාහරණයි. ජනතාවට අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් ලබා දීමට රජයෙන් අරමුදල් සපයා කාඩ්පතක් ලබා දී තිබේ. එය ඉදිරිපත් කර වෛද්‍ය පහසුකම් ලබාගත හැකිය. ආණ්ඩුවෙන් බිල ගෙවූව ද සෞඛ්‍ය සේවා පවත්වාගෙන යන්නේ පෞද්ගලික අංශයෙනි. ඇතැම් විට රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව තිබේ. ලංකාව ආශ්‍රයෙන් බැලූ විට රජය ව්‍යාපාර කිරීමෙන් කිසි දිනෙක රටක් දියුණු වන්නේ නැති බව කිව යුතුය. එනිසා, ලංකාවේ පවතින සිස්ටම් වෙනස් විය යුතු බව ඕස්ට්‍රේලියාවෙන් උගත හැකිය.
ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට දිගු කාලීන ප්‍රතිලාභ ලැබෙන අය ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් ද එරට තිබේ. වෘත්තීය හැකියා හඳුනාගෙන නිපුණතා ඇගැයීමක් කර ඉංග්‍රීසිවලට, වයසට, රැකියා පළපුරුද්දට ලකුණු ලබා දී ඉහළම ලකුණු ලැබෙන අයට ස්ථිර පදිංචිය ලබා දීමේ ක්‍රමවේදයක් සකසා තිබේ. එය අනුගමනය කරන්නේ ඕස්ට්‍රේලියාවේ දිගු කාලීන ආර්ථික වර්ධනය අරමුණු කරගෙනය. ඒ වගේම, නිපුණතාවලින් පරිපූර්ණ අයගේ හිඟයක් ඕස්ට්‍රේලියාවේ තිබෙන නිසා සේවායෝජකයකුගේ අනුග්‍රහය යටතේ වීසා ලබා දීමේ ක්‍රමවේදයක් ද තිබේ. නිපුණතාවලින් පරිපූර්ණ අයට ලබා දෙන 70,400ක් වන සංක්‍රමණ කෝටාව මේ කොටස් දෙකට බෙදී තිබේ. එයිනුත් සේවායෝජක අනුග්‍රහය යටතේ වීසා ලබා දීමේ ක්‍රමයට වත්මන් පාලනය ප්‍රමුඛතාව ලබා දී තිබේ. ෆැමිලි මයිග්‍රේෂන්වලට ද ඉහළ කෝටාවක් ලබා දී ඇති බව කිව යුතුය. මේ කෝටාව ප්‍රමාණවත් නොවන බවට ද පැමිණිලි තිබේ. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට වෙනත් රටක සිට ඉදිරිපත් කරන අයැදුම්පතක් ප්‍රතික්ෂේප වුවහොත් අභියාචනා කිරීමට ඇති අවස්ථාව ඉතාම අඩුය. විදේශීය අයැදුම්කරුවන්ට එම අවස්ථාව නැති තරම්ය. එහෙත්, ඕස්ට්‍රේලියාවේදී අයැදුම් කර එය ප්‍රතික්ෂේප වුවහොත් අභියාචනා කිරීමේ හැකියාව තිබේ. මේ අයට කලින් වීසා ලබා දී ඇති නිසා ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට වීසා බලපත්‍රයක් ලබා දෙනු ඇත. එම වීසාවෙන් ද විශාල පිරිසක් රැඳී සිටින බවට චෝදනා නගමින් සිටී.
සාමාන්‍යයෙන් ලංකාවෙන් වර්ෂයකදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන සංඛ්‍යාව ශිෂ්‍යයන් ද ඇතුළුව දසදහසත් දොළොස් දහසත් අතර සංඛ්‍යාවකි. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන රටවල් අතර ලංකාව පළමු දස දෙනා අතර සිටින බව කිව හැකිය. ලංකාවෙන් වැඩි වශයෙන් සංක්‍රමණය වන්නේ වෘත්තිකයන්ය. කාර්මික අංශයේ සංක්‍රමණ අඩුය. ඉංග්‍රීසි භාෂා දැනුම එයට බලපා තිබේ. එනිසා තාක්ෂණික පුහුණුව මෙන්ම ඉංග්‍රීසි භාෂා දැනුම ද මේ අයට ලබා දීම ලංකාවේ ආර්ථිකයට බෙහෙවින් වැදගත්ය.
ලංකාවෙන් සංක්‍රමණය වීමට තිබූ නැඹුරුවේ අඩු වීමක් මීට වසරකට දෙකකට පෙරදී දක්නට ලැබුණි. එහෙත්, වර්තමානය වන විට ඒ තත්වය වෙනස් වී සංක්‍රමණය වීමට වැඩි නැඹුරුවක් පෙන්වමින් තිබේ. හැමෝටම සංක්‍රමණය වීමට නොහැක. එය බෙහෙවින් තරගකාරි අවස්ථාවකි. එම අවස්ථාව උදා කරගත හැක්කේ නිවැරැදි ආකාරයෙන් කටයුතු කළොත් පමණි. ඒ වගේම, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ඇතැම් අය යළි ලංකාවට පැමිණ වැඩ කරගෙන යන ආකාරයක් ද පෙනෙන්නට තිබේ. එය ඉතා යහපත් ප්‍රවණතාවකි. එවැනි පසුබිමක අප කළ යුත්තේ, ද්විත්ව පුරවැසිභාවය ප්‍රවර්ධනය කිරීමය. ඒ හරහා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ඇති අයගේ හැකියාව, අත්දැකීම් අපේ රටේ දියුණුවට යොදාගත හැකිය.
මම ජාත්‍යන්තර නීතිඥයකු වශයෙන් ලෝකයේ විවිධ රටවල් සමග කටයුතු කරමින් සිටිමි. විශේෂයෙන්ම ආසියානු රටවල් වන චීනය, තායිලන්තය, වියට්නාමය ආදි රටවල් සමග සමීපව කටයුතු කරමින් සිටිමි. හොඳම උදාහරණය තායිලන්තයයි. එහි සුවිශේෂි ආර්ථික වර්ධනයක් තිබේ. වියට්නාමයේ ද එසේමය. එරටවල ජනතාව ධනාත්මකය. එකමුතුය. ඒ වගේම, මහන්සි වී වැඩ කරනු දැකිය හැකිය. එම රටවල් සුවිශේෂි ආර්ථික වර්ධනයක් ලබාගෙන ඇත්තේ මේ කාරණා තුනේ ප්‍රතිඵලයක් වශයෙනි. එනිසා, එම කාරණා තුන නැතිව අපට ලංකාව දියුණු කළ නොහැක. සංචාරක කර්මාන්තයෙන් පමණක් රටක් දියුණු කළ නොහැක. විදේශ ආදායම් ඇති විදේශිකයන් පිරිසක් ලංකාවේ පදිංචියට ගෙන්වාගත හැකි ක්‍රමයක් තිබේ නම්, ඔවුන් මේ රටේ පාරිභෝගිකයන් බවට පත්වනු ඇත. අපේ ආර්ථිකය දියුණු වන්නේ එවැනි පසුබිමකය. කළ යුත්තේ මේවාට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීමය.
-චමින්ද මුණසිංහ

