කෘතිම සිංචනයෙන් ලංකාවේ පළමු වරට බැටලු පැටව් තිදෙනෙක් උපදිති


(නිමල කොඩිතුවක්කු)

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මාදම්පේ හොරකැලේ ගොවිපලේ සාර්ථකව කෘත්‍රිම සිංචනය සිදුකිරීමෙන් ලංකාව තුළ පළමුවරට බැටලු පැටව් තුන්දෙනෙකු උපත ලබා තිබේ.

ඉන්දීය වර්ගයක් වන රෙඞ් මැඞ්රාස් වර්ගයේ බැටලුවන් කෘත්‍රිම සිංචනය කිරීම මඟින් මෙසේ පැටවුන් බිහිකර ඇත. බැටලු පැටවුන් තිදෙනා ඉතා නිරෝගීව සිටින බව හොරකැලේ ගොවිපලේ නිලධාරීහු සඳහන් කරති.

මෙරට බැටලු ගොවිපල කර්මාන්ත දියුණු කිරීමට මෙය යහපත් පෙරනිමිත්තක් බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා සඳහන් කරයි. උසස් ගණයේ දේශීය බැටලු පැටවුන් නිපදවා ගැනීමේ අවස්ථාව මින් උදාවී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

2019 වසරේ දී බැටලුවන් 65 දෙනෙකුට කෘත්‍රිම සිංචනය සිදුකළත් එය අසාර්ථක වී ඇත.

මේ වසරේ දී කෘත්‍රිම සිංචනය සිදුකිරීමට සත්වයින්  48 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඉන් සතුන් 28කට මේ වන විටත් කෘත්‍රිම සිංචනය සිදුකර තිබේ. ඉන් 8දෙනෙකු ගැබ් ගෙන අතර තුන් දෙනෙකු පැටවුන් බිහිකර ඇත. මේ වන විට මාදම්පේ හොරකැලේ ගොවිපලේ බැටලුවෝ 2880ක් සිටිති.

රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල පී.මාගමගේ, හොරකැලේ ගොවිපල කළමනාකරු දේවමිත්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් බැටලු පැටවුන් පරීක්ෂා කිරීමේ අවස්ථාවට එක්ව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.