- දැනුවත් කිරීමේ සම්මන්ත්රණයක්, අපනයන ප්රදර්ශනයක් සහ ව්යාපාරික සායනයකුත් පවත්වයි
කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයන් (SME) දැනුවත් කිරීමේ සංසදයක් පවත්වන ලදී. නැගෙනහිර පළාතේ ත්රිකුණාමලය දිස්ත්රික්කයේ අපනයන හැකියාව සහිත ප්රාදේශීය සුළු හා මධ්යම පරිමාණ ව්යවසායන් සහ ව්යවසායකයන්ට සහාය වීම සහ සංවර්ධනය කිරීම මෙම සංසදයේ අරමුණ විය. මෙම වැඩසටහන දැනුවත් කිරීමේ සම්මන්ත්රණයක්, අපනයන ප්රදර්ශනයක් සහ ව්යාපාරික සායනයක් (Business Clinic) යන ප්රධාන අංග තුනකින් සමන්විත විය.
සම්මන්ත්රණයේදී අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවා, අපනයන වෙළෙඳපොළ අවශ්යතා සහ අවස්ථා මෙන්ම පලතුරු සහ එළවළු, සකසන ලද ආහාර, අත්කම් සහ ජීවන රටා නිෂ්පාදන, සහ ධීවර නිෂ්පාදන යන ක්ෂේත්රවල සාර්ථක අත්දැකීම් ව්යවසායකයන් සමග හුවමාරු කෙරිණි.
ප්රදර්ශනයේදී මෙම ක්ෂේත්රවල අපනයන කළ හැකි නිෂ්පාදන ප්රදර්ශනය කරන ලද අතර, ඒ සඳහා පාර්ශවකාර ආයතන සහ අපනයන සමාගම් සහභාගී විය. ව්යාපාරික සායනයේදී, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහ රාජ්ය සහ පෞද්ගලික පාර්ශවකරුවන් විසින් ව්යවසායකයන්ගේ පුද්ගලික අභියෝගවලට පිළියම් යෙදීමට සහ ජාත්යන්තර වෙළෙඳපොළ ප්රමිතීන්ට අනුකූල වන පරිදි නිෂ්පාදන සංවර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා සහාය ලබා දෙන ලදී.

ධීවර හා ජලජ නිෂ්පාදන, කෘෂි නිෂ්පාදන සහ සංචාරක ව්යාපාර ආශ්රිත ව්යවසාය අපනයන අගය දාම වෙත ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, උපායමාර්ගික අපනයන සංවර්ධන ප්රමුඛතාවලට අනුකූලව නැගෙනහිර පළාතේ ත්රිකුණාමලය දිස්ත්රික්කය තෝරා ගන්නා ලදී.
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යටතේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්රාදේශීය ප්රවේශ වැඩසටහනේ කොටසක් ලෙස මෙම සංසදය පවත්වන ලද අතර, එහි අරමුණ වන්නේ අපනයන ප්රවර්ධනය ප්රාදේශීය ව්යවසායකයන් වෙත සමීප කිරීම සහ ඔවුන් ගෝලීය අගය දාම සමග සම්බන්ධ කිරීමයි.
2017 වසරේ සිට දිවයින පුරා මෙවැනි සංසද නවයක් පවත්වා ඇති අතර, අවසන් වරට 2025 පෙබරවාරි මාසයේදී මඩකලපුවේ දී මෙවැනි වැඩසටහනක් පවත්වන ලදී. මෙම සංසදය මගින් කලාපයේ අපනයනයට සූදානම් සමාගම් හඳුනාගෙන ඒවා අනාගත අපනයනකරුවන් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
එසේම අපනයන කර්මාන්ත සඳහා දේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම, රාජ්ය නිලධාරීන්, වාණිජ මණ්ඩල සහ අනෙකුත් පාර්ශවකරුවන් අතර නව අපනයනකරුවන් සංවර්ධනය කිරීමේ වැඩසටහන පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ අපනයන වෙළෙඳපොළ සඳහා නව්ය, අගය එකතු කළ නිෂ්පාදන දිරිමත් කිරීම ද මෙහි අරමුණ විය.
මෙවැනි වැඩසටහන් හරහා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයන ප්රවර්ධනය ප්රාදේශීය මට්ටම වෙත ගෙන යාමට සහ ප්රාදේශීය ආර්ථික සංවර්ධනය ප්රවර්ධනය කිරීමට ඉදිරියටත් කටයුතු කරයි.
මෙම වැඩසටහන සදහා කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර, ත්රිකුණාමලය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි රොෂාන් අක්මීමන, ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම් හේමන්ත කුමාර, ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, නැගෙනහිර පළාත් ග්රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ පළාත් අධ්යක්ෂ රිස්වානි රිෆාස්, ප්රාදේශීය ලේකම්වරුන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්රාදේශීය සංවර්ධන අංශයේ අධ්යක්ෂ. ඩී. එම්.පී. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ අනෙකුත් රාජ්ය ආයතනවල නිලධාරින්, අපනයනකරුවන් සහ ව්යවසායකයන් රැසක් සහභාගි වූහ.
මෙම වැඩසටහනට සහභාගී වූ කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ, යම් කාර්යයක් සිදු කර අවසන් වන තෙක්ම එය කළ නොහැකි දෙයක් ලෙස පෙනෙන බවත්, කළ නොහැක්කක් ලෙස සිතා අතහැරියහොත් කිසිදා එය ඉටු කරගත නොහැකි බවත්ය.
ලෝක සිතියමේ වෙනත් කිසිදු රටකට නොමැති ආකාරයේ සුවිශේෂී ස්වභාවික වරායක් ත්රිකුණාමලයේ පිහිටා ඇති අතර, කර්මාන්ත සඳහා යොදාගත හැකි තවමත් ප්රයෝජනයට නොගත් විශාල ඉඩම් ප්රමාණයක් මෙන්ම කෝකිලායි, පුදුව කට්ටු සහ පුල්මුඬේ යන ප්රදේශවලින් හා සාගරයෙන් විශාල ඛනිජ සම්පතක් පවතින බව අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය. එසේම, කොළඹ සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගය සාදා අවසන් වූ පසු නැගෙනහිර පළාතේ දිස්ත්රික්ක කර්මාන්ත, රැකියා සහ ඉඩම් සඳහා අවශ්ය යටිතල පහසුකම් සහිත ප්රධාන ප්රදේශ බවට පත්වන බව පෙන්වා දුන් අමාත්යවරයා, කුඩා ව්යාපාර ලෙස ආරම්භ කර එකමුතුව කටයුතු කිරීමෙන් මෙවැනි විශාල හීන සැබෑ කරගත හැකි බව ද අවධාරණය කළේය.


