ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව මහ බැංකු අධිපතිට


මුදල් ව්‍යාපාර සහ කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර සම්බන්ධව පවත්නා අවිධිමත් සහ නීතිවිරෝධී කටයුතු ගැන සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (7) බාරදෙන ලදි.

කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ මෑතකාලීන ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින් මූල්‍ය සහ කල්බදු මූල්‍යකරණ (ලීසිං) ව්‍යාපාරයේ නීතිවිරෝධි සහ අවිධිමත් ක්‍රියාකාරකම් පිළිබඳව සොයාබලා වාර්තා කිරීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා ඉකුත් දිනෙක ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.

එම කමිටුව කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් මහජනතාව, සිවිල් සංවිධාන, මූල්‍ය අංශයේ සමාගම සහ මූල්‍ය ව්‍යාපාර මෙන්ම කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර සම්බන්ධව උනන්දුවක් දක්වන වෙනත් පාර්ශවවලින් අදහස් යෝජනා සහ පැමිණි 200කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබිණි.

එම කමිටුව එම අදහස් සහ යෝජනා මෙන්ම පැමිණිලි ද විමර්ශනය කර කරුණු විමසා බැලීමෙන් අනතුරුව අදාළ වාර්තාව සම්පූර්ණ කර මහ බැංකු අධිපතිවරයාට බාර දී ඇත.

කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ නීතිවිරෝධි සහ අවිධිමත් ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලද අතර ඒ අනුව කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ අවධානය යොමු කළ යුතු ක්‍රියාකාරකම් කොටස් දෙකක් හඳුනාගෙන තිබේ.

කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ නීතිවිරෝධී ක්‍රියාකරුවන් සම්බන්ධ ගැටලු සහ දැනට නියාමනයට යටත් වන කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර සිදු කරන පිළිගත නොහැකි ක්‍රියාකාරකම් යන්න එම කොටස් දෙකයි.

055