තායිලන්තය 5 ජී සංවර්ධනයට අත ගසයි


තායිලන්තයේ 5ජී (5G) තාක්ෂණය සහ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා එරට අග්‍රාමාත්‍ය ප්‍රායුත් චාන් ඕ චා ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපිත කර ඇත.

සාමාජිකයන් 26 දෙනකුගෙන් සමන්විත මෙම කමිටුව ‘ජාතික ජී (5G) තාක්ෂණ කමිටුව’ ලෙස නම් කර ඇති අතර භාවිතයට නොගැනුණු සංඛ්‍යාත නැවත ලබාගැනීමට සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කෙරේ.
 
වන්දි ගෙවීම වෙනුවට ජාතික විකාශන සහ විදුලි සංදේශ කොමිසම අදාළ සංඛ්‍යාත නැවත ලබා ගැනීමට පියවර ගන්නා අතර5ජී (5G) තාක්ෂණ සංවර්ධනය සඳාහා සහාය දීමත් අදාළ ආයතන අතර සහයෝගීතාව වැඩි කිරීම සම්බන්ධයෙනුත් මෙම කමිටුව අවාධනය යොමු කරනු ඇත.
 
තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් වන සොම්කිද් ජටුශ්‍රීපිටාක්, ප්‍රාවිත් වොන්ග්සුවෝන් සහ විසානු ක්‍රියාන්ගම් මෙම කමිටුවේ නියෝජ්‍ය සභාපතිවරු ලෙස කටයුතු කරති. මුදල්, සංචාරක සහ අධ්‍යාපන යන විෂය භාර අමාත්‍යවරුද මෙම කමිටුවේ සාමාජිකත්වය දරති.
 
ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා කමිටුවේ නිත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර සමාජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කමිටුවේ අධ්‍යක්ෂ සහ කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරයි.

තායිලන්තය තුළ 5ජී (5G) තාක්ෂණය සංවර්ධනය කිරීම හා ප්‍රවර්ධනය කිරීම, ආර්ථිකය සඳහා 5ජී (5G) තාක්ෂණය උපරිමයෙන් භාවිත කිරීම, පාරිභෝගිකයන්ට උපරිම සේවාවක් සහ ප්‍රතිලාභ සැපයීම සම්බන්ධයෙන් සැලැසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණු වී ඇත.
 
රට 5ජී (5G) තාක්ෂණයට අනුගත කරමින් එය භාවිතයට ගැනීම ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා මෙම කමිටුව මාර්ග සැලැස්මක් ද සකස් කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රධාන අමාත්‍යාංශයවල නියෝජිතයන් සම්බන්ධ කරගන්නා බව ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික විකාශන සහ විදුලි සංදේශ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් තාකෝන් ටන්ටාසිත් පැවැසීය.
 
‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තියත් සමඟ තායිලන්තයේ ප්‍රධාන දුරකතන සන්නිවේදන සමාගම් 5ජී (5G) තාක්ෂණය භාවිතයට ගැනීම වැඩි කළ අතර පහසුකම් හා සේවා ද වැඩිදියුණු කළේය. වයිරසයට එරෙහිව කරන සටන ශක්තිමත් කිරීමටත් ඊට සහාය දීමක් ලෙසත් රටේ ප්‍රධාන දුරකතන සමාගම් 5ජී (5G) ජාල රෝහල්වල ස්ථාපිත කරමින් වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය කාර්යමණ්ඩලවලට පහසුකම් සැපයීය ය.
 
රෝහල්වලට 5ජී (5G) තාක්ෂණය සැපයීම සඳහාත් කෘත්‍රීම බුද්ධියේ සහාය ඇතිව විසඳුම් සැපයීමේ ක්‍රියාවලිය සඳහාත් තායිලන්තය හුවාවි සමාගම සමඟ අත්වැල් බැඳගෙන සිටී. අධිවේගි ජාලයක් තුළින් පහසුකම් සැපයීම මෙහි අරමුණ වී ඇත.
 
කොරෝනා වසංගතයට එරෙහිව සටනේදී 5ජී (5G) තාක්ෂණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර වසංගතයෙන් පසුව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේදී ද 5ජී (5G) තාක්ෂණය ‘‘ප්‍රාණ නාලිය’’ වශයෙන් කටයුතු කරනු ඇත. වසංගතයෙන් පසුව ආර්ථික කටයුතු නවැත ආරම්භ කිරීමේදීත් 5ජී (5G) තාක්ෂණය ඩිජිටල් තාක්ෂණයටත් තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රවලටත් විශාල තල්ලුවක් ද ලබාදෙනු ඇත.
 
(055)