බැංකුවලින් දරුවන්ට මැටි කැට - කාර්යාලවලට මැටි බෝතල්


(ඩයනා උදයංගනී)

කුඩා දරුවන්ට ඉතිරි කිරීම හුරුකිරීම වෙනුවෙන් බැංකුවලින් ලබාදෙන ප්ලාස්ටික් කැට වෙනුවට ඉදිරියේදී මැටි කැට ලබාදීමට පියවර ගෙන ඇතැයි වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලංකාදීපයට පැවසීය.


එක්තරා බැංකුවකට ප්ලාස්ටික් කැට ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා පළ කර තිබූ දැන්වීමක් දැක තමන් බැංකු ප්‍රධානීන් අමතා කළ ඉල්ලීමකට අනුව බැංකු කිහිපයක්ම මේ වන විට එයට එකඟ වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සඳහන් කළේය.

ඉදිරියේදී තම බැංකුව මගින් ලබාදෙන්නේ මැටි කැට බවට මහජන බැංකුව දැනටමත් ප්‍රකාශ කර ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ලංකා බැංකුව හා පෞද්ගලික බැංකු කිහිපයක් ද මෙයට එකඟ වී ඇති බව කීවේය.

මීට අමතරව කාර්යාලවල , රථවාහනවල මෙන්ම නිවෙස්වල මේස මත පවා ජලය බීමට ගැනීමට ගබඩා කර තබා ගැනීමට භාවිතා කරන හිස් මධ්‍යසාර බෝතල් හා ප්ලාස්ටික් බෝතල් වෙනුවට භාවිතා කළ හැකි අලංකාර, හුරුබුහුටි හා පහසුවෙන් රැගෙන යා හැකි මැටි බෝතලයක් මේ වන විටත් නිෂ්පාදනය කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියෙන් කළ යෝජනාවකට අනුව මෙම පියවර ගන්නා බව ද රණවීර මහතා කීවේය.
මැටි බඳුන් වල ජලය ගබඩා කර තබා ගැනීම කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ට හුරු පුරුදු කටයුත්තක් බවත් එමගින් නැවුම් රසක් සහිත ජලය නිරන්තරයෙන් පානය කිරීමට ඉඩ ලැබෙන බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම පන්සල්වල ප්ලාස්ටික් පැදුරු වෙනුවට පන් පැදුරු, ප්ලාස්ටික් මල් වට්ටි වෙනුවට දේශීය පරිසර හිතකාමී අමුද්‍රව්‍යවලින් නිපදවන මල්වට්ටි, බෝධිය නෑවීම උදෙසා භාවිතා කරන ප්ලාස්ටික් කළගෙඩි වෙනුවට මැටි කළ ලබාදීමට ද පියවර ගෙන ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.

දරුවන්ට කුඩා කල සිටම දේශීය හා පරිසර හිතකාමී දේ භාවිතය හුරු කළ යුතු බව කී ඇමතිවරයා මැටි කැට ලබාදීමෙන් එම හුරුව ඇතිවනු ඇතැයි ද කීවේය.

මෙවැනි පියවර තුළින් දේශීය කර්මාන්තකරුවාගේ ආදායම් ඉහළ නැංවීමට හැකි බව කී රාජ්‍ය ඇමතිවරයා එමගින් පරිසරයද ආරක්‍ෂා වන බව පැවසීය.