- මාසය තුළ සිදු කළ ශුද්ධ මිලදී ගැනීම ඩො.මි. 64.2 ක්
- වසරේ මේ දක්වා ශුද්ධ මිලදී ගැනිම ඩොලර් මිලියන 1,548ක්
සැප්තැම්බර් මාසයේදී මහ බැංකුව වෙළෙඳපොළ හරහා එක්සත් ජනපද ඩොලර් මිලියන 85ක් මිලදී ගෙන ඇතැයි පවසයි. කෙසේ වෙතත් ඒ අතරතුරදී මහ බැංකුව මාසය තුළ ඩොලර් මිලියන 20.8 ක් වෙළෙඳපොළ වෙත අලෙවි කර තිබේ.
ඒ අනුව සැප්තැම්බර් මාසය තුළ මහ බැංකුව සිදුකළ ශුද්ධ මිදී ගැනීම එක්සත් ජනපද ඩොලර් මිලියන 64.2ක් ලෙස සටහන්ව තිබේ. මෙය වසර තුළ මහ බැංකුව සිදුකළ අඩුම ශුද්ධ මිලදී ගැනීම ලෙසද සැලකෙයි.
විශේෂයෙන්ම පසුගිය අගෝස්තුවේදී මහ බැංකුව සිදු කළ වාර්තාගත ඩොලර් මිලියන 579 ක ශුද්ධ මිලදී ගැනීමෙන් අනතුරුව මෙලෙස ඉතාමත් අඩු මිලදී ගැනීමක් වාර්තා කිරිමත් කැපී පෙනෙයි.
අගෝස්තුවේ සිදුකළ මිලදී ගැනීම 2024 මාර්තු මාසයෙන් පසුව මහ බැංකුව මාසයක් සිදු සිදු කළ ඉහළම ශුද්ධ මිලදී ගැනීම විය.
ඩොලරයට සාපේක්ෂව රුපියල යම් ප්‍රමාණයකින් ශක්තිමත් වීමටද එය හේතුවිය.
2025 සැප්තැම්බර් මාසයේදීද මහ බැංකුව ඩොලර් මිලියන 187.8ක ශුද්ධ මිලදී ගැනීමක් සිදු කර තිබුණි.
මේ අතර ජනවාරියේදී මහ බැංකුව ඩොලර් මිලියන 209.8 ක් මිලදී ගෙන ඩොලර් මිලියන 9.5ක් අලෙවි කරමින් ඩොලර් මිලියන 200.3 ක ශුද්ධ මිලදී ගැනීමක් සිදු කර තිබේ. එසේම පෙබරවාරියේදී ඩොලර් මිලියන 461ක් මිලදී ගත් අතර, එම අවස්ථාවේදී කිසිදු ඩොලර් අලෙවි කිරිමක් සිදු නොවුණි.
ඉන් අනතුරුව ජූලි මාසයේදී ඩොලර් මිලියන 349ක ශුද්ධ මිලදී ගැනීම් සිදු කළේය.
ඒ අනුව මෙම තත්වයත් සමගින්ම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මහ බැංකුව සිදුකළ ශුද්ධ ඩොලර් මිලදී ගැනීම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,548.2ක් ලෙස සටහන් වෙයි. අගෝස්තු මාසය අවසන් වන විට එය ඩොලර් මිලියන 1,484 ක් විය.
මේ අතර ජනවාරි 01 සිට ඔක්තෝබර් 09 දක්වා කාලසිමාව තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.3 කින් අවප්‍රමාණය වී තිබෙන බවත් මහ බැංකුව පවසයි.

