
- ජනවාරි අගෝස්තු ප්රේෂණ ආදායම ඩො.මි. 6,131ක්
- අගෝස්තු මාසයේදී හිමි වූ ප්රේෂණ ආදායම ඩොලර් මිලියන 748.6ක්
විදෙස්ගත ශ්රමිකයන් හරහා මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මුල් මාස අට තුළ ගලා ආ සමස්ත ප්රේෂණ මුදලේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,131ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී හිමි වූ ඩොලර් මිලියන 5,116 ක ප්රේෂණ ආදායම හා සැසඳීමේදී ඩොලර් මිලියන 1,015 ක එනම් සියයට 19.8 ක වර්ධනයකි.
මහ බැංකුව නිකුත් කළ ආසන්නතම සතිපතා ආර්ථික විවරණය තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. ඒ අනුව මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරට වෙත ගලා ආ ප්රේෂණ මුදලේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 748.6ක් ලෙස සටහන්ව ඇත. මෙය පසුගිය වසරේ අගෝස්තුවේදී හිමි වූ ඩොලර් මිලියන 680.8 හා සැසඳීමේදී ඩොලර් මිලියන 67.8ක එනම් සියයට 9.9 ක වර්ධනයකි.
වසර තුළ මෙතෙක් ලැබුණු මෙම ප්රේෂණ මුදල් අතර, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඇති වූ දිට්වා සුළි කුණාටුව සඳහා ලැබෙන විදෙස් ආධාරද ඇතුළත්ව තිබෙන බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

