සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට ආධාර දෙන ආයතන සමඟ සාකච්ඡාවක් කොළඹදී


 ( තිළිණි ද සිල්වා)
 
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රය නංවාලිම සම්බන්ධයෙන් එම කර්මාන්තයට ආධාර දෙන ආයතන වට මේස සාකච්ඡාවක් සමග අද (29)  කොළඹදී පැවැත්වෙන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සිටී.
 
කොවිඩ් 19 වසංගතයෙන් පසු මෙරට සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ යෝජනා සංචාරක ආයෝජන වැඩි කිරීම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටළු විසදීම වැනි කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කරන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
 
මෙම සාකච්ඡාව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය, ලෝක බැංකුව, යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආධාර ලබාදෙන ආයතන රැසක නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.
 
මේ අතර එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය අග්නිදිග ආසියා හා පැසිෆික් කොමිසමේ හා එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියා කොමිෂමේ 32 වැනි ඒකාබද්ධ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ හෙට (30) පැවත්වවේ.
 
මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරුණු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
 
කොවිඩ් 19 බලපෑම හා සංචාරක කර්මාන්තය නංවාලීම සදහා වන මාර්ගෝපදේශ  මැයෙන් පැවැත්වෙන මෙම සමුළුව ආසියා - පැසිෆික් කලාප වල රටවල සංචාරක ඇමතිවරුන් හා නිළධාරීන් විඩීයෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුවට එක්වීමට නියමිතය.