(තිළිණි ද සිල්වා)
ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා හඳුන්වා දීමට යෝජිත සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි සතියේදී විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති හරහා සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන අන්තර්ජාතික ආයතන වෙත යොමු කරන බවද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටඅරච්චි සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සකස් කරන ලද මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ දීර්ඝ ලේඛනයක් බවත්, ඒවා ක්‍රියාත්මක කිරීම සංචාරකයන් මෙරටට පැමිණීම ආරම්භ කරන දිනයේ පටන් ක්‍රියාත්මක කරන බවත් ලේකම්වරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළෙ විවෘත කරන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බවද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් කෝවිඩ් -19 වයිරසය පිළිබඳ පී.සී.ආර්. පරීක්ෂණය සිදු කළ බවට සහතිකය රැගෙන ආ යුතු අතර අවම තරමින් රාත්‍රී පහක්වත් මෙරට රැඳී සිටිය යුතු යැයිද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී.
මීට අමතරව පොදු ප්‍රවාහන පද්ධති භාවිත කිරීමද විදෙස් සංචාරකයන්ට තහනම් කිරීම ඇතුළු තවත් උපදෙස් රැසක්ද මෙම සංචාරකයින් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අයත් බව සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දේ.