“Tea Village” දැනුවත් කිරීමක් අක්මීමන දී


කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත

ගාල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන පිහිටුවීම පිළිබඳ ගාලු‍ දිසාවේ තේ ගොවීන් සහ ඊට අදාළ බලධාරීන් දැනුම්වත් කිරීම ගාල්ල අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

2030 වර්ෂය වන විට නිමි තේ කිලෝ මිලියන 400ක් නිපදවීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ දායකත්වය සැපයීම සංවිධාන විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානයට ලක් විය.

2030 වන විට තේ අස්වැන්නෙන් ඩොලර් බිලියන 2.5ක් උපයා ගැනීම තේ ගම්මාන වැඩසටහනේ, අපේක්ෂාව බව මේ වැඩසටහනේදී අවධාරණය කෙරිණ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තේ ගම්මාන 4ක්, තවලම ගම්මාන 4ක්, යක්කලමුල්ල 3ක්, නාගොඩ ගම්මාන 3ක්, බෙන්තොට තේ ගම්මාන 2ක්, නියාගම 2ක්, බද්දෙගම ගම්මාන 2ක් සහ අක්මීමන, ඉමදුව, වඳුරඹ, වැලිවිටිය, ඇල්පිටිය තේ ගම්මාන 1 බැගින් මේ වන විට ආරම්භ කර ඇති බවද මේ වැඩසටහනේදී අනාවරණය කෙරිණ.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවට ගාලු‍ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී.කේ. ජයසුන්දර, නිශාන්ත පෙරේරා, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් අයේෂා කාරියවසම්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂ ඉන්දික මොහොට්ටි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, තේ කර්මාන්තශාලා නියෝජිතයන්, පොහොර තාක්ෂණික සමාගම් නියෝජිතයන්, තේ සමිති නියෝජිතයන්, තේ ගොවීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.