අපේම සමාජය නිර්මාණය කළ මහා අපරාධකාරයකුගේ කතාව



සුමිත් ගුණසේකර මහතාගේ නිවෙස පිහිටියේ රත්නපුර මලංගොඩ ප‍්‍රදේශයේය. ධනවත් මැණික් ව්‍යාපාරිකයෙක් වන මොහුට නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර ඔහු සතුව තිබූ රුපියල් ලක්‍ෂ 80ක් පමණ වටිනා මැණික්ගල් තොගයක් කොල්ල කල්ලියක් විසින් පැහැරගෙන යනු ලැබුවේ පසුගිය පෙබරවාරි 13 වැනිදාය.

මේ සිද්ධියෙන් පසු මුළු ප‍්‍රදේශයම භීතියෙන් ඇළලී ගොස් තිබූ අතර වැඩියෙන්ම බියට පත්ව ඇත්තේ ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන්ය.
රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් මේ මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතකයන් සොයා පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි.

හික්කඩුව ප‍්‍රදේශයේ නිවසක මලංගොඩ මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු සැඟවී සිටින බවට තොරතුරු හෙළිකර ගත්තේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමකි.

සැකකරුවන් දෙදෙනා සැඟව සිටින ඉසව්ව තාක්‍ෂණ ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් නිශ්චිතව හඳුනා ගැනීමෙන් පසු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් ඒ බව රත්නපුර මූලස්ථාන පොලිස් ස්ථානය වෙත දැනුම්දී තිබේ.

සබරගමුව පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ හා නියෝජ්‍ය පොලිස්පති මැක්සි ප්‍රොක්ටර් යන මහත්වරුන්ගේ උපදෙස් මත මැණික් මුදලාලිගේ ඝාතකයන් දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක විය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමකගේ ද සහාය ඇතිව රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අමරසේකර මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් ද හික්කඩුව බලා ගොස් අපරාධකරුවන් දෙදෙනා පදිංචිව සිටි නිවස වටලනු ලැබුවේ පසුගිය 10 වැනිදා රාති‍්‍ර 11.30ට පමණය.

පොලිස් කණ්ඩායම මෙම නිවෙස වටලන අවස්ථාවේ ඒ දෙදෙනා සහ ඒ ගෙදර අය තද නින්දේ පසු වූහ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ හා රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායම් විසින් මේ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර මොවුන් දෙදෙනාට රැුකවරණය ලබාදීම සම්බන්ධයෙන් නිවසේ සිටි අඹු සැමි යුවළක් ද මේ සමගම අත්අඩංගුවට ගනු ලැබූහ.

රත්නපුර මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් අයෙක් දකුණේ නම ගිය පාතාල නායකයෙකි.

මොහු නමින් අරුණ ගමගේ සුගත් චාමින්ද (33) හෙවත් පාලංකඩ හීන් මල්ලි නමැත්තෙක් වන අතර පාලංකඩ හීනා යන නමද ඔහුට පට බැඳී තිබිණි.
මෙම තැනැත්තා සමග අල්ලාගත් අනෙකා ඔහුගේ සගයකු බව කියන සූරියවැව පදිංචි නාමල් නැමැත්තෙකි.

පාලංකඩ හීනා යන නම ඇසූ පමණින් පවා දකුණේ ජනතාව භීතියෙන් මුසපත් වන්නේ ඒ තරමටම ඔහු දරුණු අපරාධකාරයෙක් වන බවද කියති.
මොහුගේ උපන්ගම වනුයේ දික්වැල්ල පොලිස් වසමේ මුල්කිරිගල පාලංකඩය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විෂයන් පහක් සම්මාන තුනක් සමග සමත්ව ඇති පාලංකඩ හීං මල්ලි නමැත්තා ගොවිතැන්කර කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගොස් ඇත.

මොහු උපත ලබා ඇත්තේ 1981.03.31 වැනි දින වීරකැටිය රෝහලේදීය.

මව ජීවතුන් අතර සිටින අතර මොහුගේ පියා වන අරුම ගමගේ ආරියසේන නමැත්තා මීට වසර 8කට පමණ පෙර නාඳුනන කණ්ඩායමක් ගෙල මිරිකා ඝාතනය කර ඇත.

පාලංකඩ හීං මල්ලි නමැත්තාගේ පියාටද මනුෂ්‍ය ඝාතනයක් හා කසිප්පු ළඟ තබා ගැනීම සම්බන්ධ නඩු කිහිපයක් තිබී ඇත.

පාලංකඩ හිං මල්ලි නමැත්තා දකුණු පළාත් සභාවේ මන්ත‍්‍රීවරයකු ළඟින්ම ඇසුරු කරන බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළිදරව්වී තිබේ.
අලූත්ගෙදර ඌරුගමුව ගම්මානයේ පදිංචි තරුණියක් හා විවාහ වූ පාලංකඩ හීනා එක්දරු පියෙකි.

මොහු බිරියට, දරුවාට සහ මවට අසීමිත ආදරයක් දක්වා ඇත.

පාලංකඩ හීන් මල්ලි නමැත්තාගේ එක් සහෝදරයෙක් නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී පලා ඇවිත් කොල්ලකෑම් තුනකට ද හවුල්වී තිබේ.
මොහු පාතාල ලෝකයට ඇදවැටී දරුණු අපරාධකාරයෙක් දක්වා තල්ලූවී යාමට පවුල් පසුබිම හා වෙනත් සමාජමය හේතු සාධක රැුසක් බලපා ඇත. 
රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හික්කඩුවේ නිවසක සැඟවී සිටියදී කොටුවීමට කලින් මේ පාලංකඩ හීන් මල්ලි අත්අඩංගුවට ගෙන තිබුණේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි.
ඒ 2011 වසරේදීය.

තංගල්ල කොට්ඨාසය බාරව එවකට සිටි දැනට කැළණිය කොට්ඨාසය බාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.ඊ. විදිසිංහ මහතා යටතේ කි‍්‍රයාත්මක වූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ එවකට ස්ථානාධිපතිවරයාව සිටි වර්තමානයේ කටුවන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පොලිස් පරීක්ෂක අනුර සුසන්ත සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වත්මන් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජේසිරි බණ්ඩාර යන මහත්වරුන් විසින් 2011 වසරේදී පාලංකඩ හීන් මල්ලි අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ දික්වැල්ල ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදීය.

වීරකැටිය ප‍්‍රදේශයේදී 2004.08.10 වැනි දින රාති‍්‍ර කාලයේ අමරසිංහගේ ධර්මදාස නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සහ නිවිතිගල ප‍්‍රදේශයේදී 2005 වසරේදී මැණික් ව්‍යාපාරිකයකු සතු රුපියල් කෝටි ගණනක මැණික් ගල් තොගයක් කොල්ලකෑමට ගිය අවස්ථාවේ එම කොල්ලය වැළැක්වීමට පැමිණි පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් පරීක්‍ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු පාලංකඩ හීන් මල්ලිගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණයවී තිබේ.

මීට අමතරව අමරසිංහගේ ධර්මදාස නමැත්තාගේ සිරුර අවසන් කටයුතු කරන තෙක් බෙලිඅත්තේ පිහිටි ඔහුගේ නිවෙසේ තැන්පත් කර තිබියදී 2004.08.13 වැනි දින කඩා වැදී එම ගෙදර සිටි ධර්මේගේ සහෝදර සහෝදරියන් 4 දෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ද පාලංකඩ හීන්මල්ලි ඇතුළු ඔහුගේ සගයන් කිහිප දෙනකු විසින් බව ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත.

නිවසේ තැන්පත් කර තිබූ ධර්මදාසගේ මිනියටද වෙඩි වරුසාවක් එල්ලකර තිබූ අතර එම වෙඩි වරුසාව එල්ලකර ඇත්තේ පාලංකඩ හීන් මල්ලි බව පොලිසිය ඔහුගෙන් ප‍්‍රශ්නකර හෙළිකරගෙන තිබිණි.

ධර්මදාස නමැත්තාට වෙඩි තබා මරා දමා ඇත්තේ ද පාලංකඩ හීන් මල්ලි නමැත්තා වන අතර ඔහුගේ (ධර්මදාසගේ) සහෝදර සහෝදරියන් 4 දෙනකුව වෙඩි තබා ඝාතනය කර මිනියට ද වෙඩි වරුසාවක් එල්ල කර ඇත්තේ ද හීන් මල්ලිය.

අවුරුදු 16 ක පමණ වයසේ සිටියදී පාලංකඩ හීන් මල්ලිට ගිනි අවි පරිහරණය පිළිබඳව පුහුණුව ලබාදී ඇත්තේ ආමි ජිනේ නමැති පාතාල නායකයෙක් වන අතර ඔහු පාලංකඩ හීන් මල්ලිගේ මවගේ පැත්තෙන් ඥාතිකමක් ද ඇත.

පාතාල කල්ලි නායකයෙක්ව සිටි ආමි ජිනේ නමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායමක් හා ආමි ජිනේ අතර තංගල්ල ප‍්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී උප පොලිස් පරීක්‍ෂක? මහතා මියගිය අතර ආමි ජිනේ බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත්කර තිබිණි. 

රෝහල් ගතකර ප‍්‍රතිකාර ලබමින් සිටි ආමි ජිනේ නමැති පාතාල නායකයාව නොහඳුනන කණ්ඩායමක් රෝහලට කඩා වැදී වෙඩි තබා ඝාතනය කළ අතර මේ ඝාතනය සිදුකරනු ලැබුවේ කළුවා නමැත්තාගේ සහෝදරයකු වන ධර්මදාස නමැත්තා විසින් බවට සැකකර ඔහු (ධර්මදාස) නමැත්තා ඝාතනය කිරීමට ආසන්නතම හේතුව විය.ධර්මදාස නමැත්තා කළුවා නමැත්තාගේ සහෝදරයකු වන අතර කළුවා ඝාතනය කර තිබුණේ ආමි ජිනේය.

මේවා සියල්ල පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇති කරුණු යැයි පැවසුවේ මේ සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වූ පොලිස් නිලධාරියෙකි.

කොල්ලකෑම් සඳහා පාලංකඩ හීන් මල්ලි අත්පොත් තබා ඇත්තේ මුල්කිරිගල ප‍්‍රදේශයේ උසස් විද්‍යාලයක විදුහල්පතිගේ නිල නිවාසය කඩා මුදල් හා දේපොල සොරා ගැනීමෙනි.

මේ සොරකම සිදුකර ඇත්තේ ඔහු පාසල් යමින් සිටි අතරවාරයේ ඔහුගේ පාසල් මිතුරෙකු ද සමග ගොස්ය.

ඔහු ඉගෙන ගත් පාසලේම ගුරුවරියකගේ නිවසින් මුදල් හා දේපොල සොරාගෙන ගොස් ඇත්තේ ද බාල වයස්කාර සිසුවෙකුව සිටි කාලයේදීය.
පාලංකඩ හීන් මල්ලි නමැත්තා අපරාධකාරයෙක් වූ හැටි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

 

අක්කාට අතවර කළ කළුවා මරා දමා මම අපරාධකාරයෙක් වුණා


මගේ අක්කා ගාර්මන්ට් එකක වැඩට ගියා. අක්කා වැඩ ඇරිලා ගෙදර එද්දී මැදකොරටුවේ කළුවා නමැත්තා අක්කාව කැළෑවකට ඇදගෙන ගිහින් අතවර කර තිබුණා. මැදකොරටුවේ කළුවා කියන්නේ ඒ කාලයේ ගමේ ලොකු චණ්ඩියෙක්. ගමේ හැමෝම වාගේ එයාට බයයි. හමුදාවේ සේවය කරමින් ඉද්දී පැනලා ආපු අයෙක්. කළුවාගේ මේ වැඬේ හින්ද අක්කාගේ බඬේ දරුවෙක් පිළිසිඳ ගත්තා. 

අක්කාට බබා ලැබුණාට පස්සේ මම කළුවා සොයාගෙන ඔහුගේ ගෙදරට ගියා. එතකොට මගේ වයස අවුරුදු 16ක් විතර වෙනවා. ඉස්කෝලෙ යන කොල්ලෙක් අක්කාට තිබුණ ආදරය නිසයි මම දාමරිකයෙක් වුණත් කළුවා සොයාගෙන ගියේ. 

මගේ අක්කාට බබෙක් ලැබුණා. එයා දුවක්. කළුවා අයියේ ඔයා ඇවිත් ඒ බබාව තාත්තා විදියට නම දෙන්න කියා ඉල්ලීමක් කළා යැයි පාලංකඩ හීන් මල්ලි පොලිසියට පාපොච්චාරණය කරමින් පවසා ඇත.

අක්කා වෙනුවෙන් මා මේ ඉල්ලීම කළා විතරයි කෝපයට පත්වූ කළුවා මට දිගට හරහ හොඳ හැටි පහර දුන්නා. පහර කාගෙන මම ගෙදර දුවගෙන ඇවිත් අම්මාට කළුවා මට හොඳටම ගැහැව්ව බව කිව්වා. අම්මා මගේ ඔළුව අතගාමින් ඇඬුවා. මට හරියට අපි ගැනම දුක හිතුනා. 

ඊට පස්සේ කළුවා මට දකින දකින තැන්වලදී පහර දෙන්න පටන් ගත්තා. ගෙදරට ඇවිත් උඹලා සේරම මරනවා කියා මට තර්ජනය කළා. එතකොට අක්කාගේ දුවගේ වයස අවුරුදු තුනක් විතර ඇති. කළුවා අක්කාගේ දුව මරන්න ?ක ගෙදරට පැන්නා. මම අක්කාගේ දුව වඩාගෙන කැලේ පැනලා හැංගුනා. කළුවාට දුව මරාගන්න එදා බැරිව ගියා. මම එහෙම නොකරන්න එදා කළුවා එයාගේ ලෙයින්ම බිහිවුන දරුවා මරා දමනවා. ඒකෙ දෙකක් නැහැ. කළුවා කියන්නේ කිසිම අණක් ගුණක් නැති එකෙක්. මේ සිද්ධියෙන් පස්සේ අක්කාවයි පොඩි එකාවයි කොළඹ පිටත්කර යැව්වා.

කළුවාගෙන් නිතර නිතර අපේ පවුලේ අයට සිදුවන හිරිහැර ගැන අම්මා ආමි ජිනේගේ කකුල් දෙක අල්ලා වැඳලා කිව්වා. ආමි ජිනේ අම්මාගේ ඥාතියෙක් වෙනවා. මේ වෙනකොට මම අපොස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටියේ. ආමි ජිනේ මගෙන් ඇහැව්වා උඹ වෙඩි තියන්න ඉගෙන ගන්න කැමති ද කියා. මම ඔව් කියා කිව්වා. ආමි ජිනේ මාව කැලේකට එක්කගෙන ගියා. පතරොම් තුවක්කුවක් අතට දීලා ඉලක්කයට වෙඩි තියන්න පුරුදු කළා. ගස් ගල්වලට වෙඩි තිය තියා තමා ඉලක්කයට වෙඩි තියන්න පුරුදු වුණේ. මුලින්ම බයෙන් බයෙන් තමා වෙඩි තිබ්බේ.

වෙඩි තියන්න පුහුණු වුණාට දින තුනකට විතර පස්සේ මමයි ආමි ජිනේයි කළුවාගේ ගෙදරට රෑක ගියා. ආමි ජිනේ මට පතරොම් තුවක්කුවක් අතට දීලා අවශ්‍ය වුණොත් විතරක් පාවිච්චියට ගනින් කිව්වා. කළුවා ගෙදර පෙනෙන හරියේ හිටියේ නැහැ. ගොඩක් වෙලාවකට පස්සේ ඌ කළුවරේම ගෙදර ආවා. ආමි ජිනේ කළුවාට වෙඩි තිබ්බා. ඒ වෙඩි පහරින් කළුවා මැරුම් කෑවා. අපි පැනලා ආවා. පසු කාලයක මම ටී. 56 අවියකින්, පිස්තෝලයකින් වෙඩි තියන්නත් ඒවා ගලවා සවිකරන්නත් ආමි ජිනේගෙන් ඉගෙන ගත්තා. මේවායෙන් වෙඩි තියන්න ඉගෙන ගත් කාලෙත් මම පොඩි කොල්ලෙක්.

මුල්කිරිගල මම ඉගෙන ගත්තු ඉස්කෝලේ ඒ කාලයේ පියසිරි කියා මිස් කෙනෙක් හිටියා. මම ඒ මිස්ගේ ගෙදරට හොරෙන් රිංගලා සල්ලි හොරකම්කර තිබෙනවා. මුලින්ම හොරකමක් විදියට කළේ පින්සිපල් සර් කෙනකුගේ නිල කාමරය කඩලා සල්ලි හොරකම් කරගත්ත එක යැයිද පාලංකඩ හීන් මල්ලි පොලිසියට පාපොච්චාරණයක් කරමින් එදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමග පවසා තිබූ බව පැවසුවේ සබරගමුව ප‍්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකි.

පාලංකඩ හීන් මල්ලිගේ මවට පළමු කසාදයෙන් පුතුන් දෙදෙනෙකු හා දියණියක් ද වෙයි. පාලංකඩ හීන් මල්ලි මෙලොවට බිහිවී ඇත්තේ ඔහුගේ මවගේ දෙවැනි විවාහයෙනි.                                   

පොලිස් පොත්වල සටහන්ව ඇති ආකාරයට පාලංකඩ හීන් මල්ලි කර ඇතැයි කියන මිනී මැරුම් සංඛ්‍යාව 15ක් වන අතර කොල්ලකෑම් සංඛ්‍යාව 25 කි.
පොලිස් පොතේ ලියවී ඇති ආකාරයට එම අපරාධ මෙසේය.

 

  •  වීරකැටිය බල අපරාධ 54/2002x2002.11.06 දින රාති‍්‍ර කාලයේ නිවෙසකට ඇතුලූවී අවි පෙන්වා බිය ගන්වා රන්භාණ්ඩ සහ මුදල් කොල්ල කෑම වලස්මුල්ල ම/උ නඩු අංක 84511
     
  • වීරකැටිය බල අපරාධ 69/2004 x 2004.08.10 දින අමරසිංහගේ ධර්මදාස යන අයට ස්වයංක‍්‍රීය ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම.
     
  • බෙලිඅත්ත බල අපරාධ 86/2004 x 2004.08.13 දින රාති‍්‍ර කාලයේ අවමංගල්‍ය නිවෙසකට ඇතුලූවී ස්වයංක‍්‍රීය ගිනි අවිවලින් වෙඩි තබා පුද්ගලයන් හතර දෙනෙකු ඝාතනය කිරීම.
     
  • නිවිතිගල පොලිස් වසමේදී සිදු කරන ලද මැණික් කොල්ලය හා පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට ස්වයංක‍්‍රීය ගිණි අවිවලින් වෙඩි තබා ඝාතනය කිරීම.
     
  • කොස්ගම පොලිස්වසමේ දී අපරාධ කල්ලි සාමාජිකයකු වන වම්බොට්ටා සහ තවත් පුද්ගලයකු ස්වයංකී‍්‍රය ගිණි අවි වලින් වෙඩිතබා ඝාතනය කිරීම.
     
  • පෑලියගොඩ ප‍්‍රදේශයේ දී මි.මී. 09 ගිණි අවියක් සහ මි.මී. 7.65 ගිණි අවියක් සමගින් අත්අඩංගුවට පත්වීම.
     
  • බංඩාරගම පොලිස් වසමේ දැල්කඩ නිවසකට ඇතුලූවී අවි පෙන්වා බිය ගන්වා දේපළ කොල්ලකෑම.
     
  • බංඩාරගම පොලිස් වසමේ රාති‍්‍ර කාලයේ ගිණිඅවි පෙන්වා බිය ගන්වා නිවෙසක් කොල්ලකෑම.
     
  • ඇඹිලිපිටිය මනුෂ්‍ය ඝාතනය.
     
  • වලස්මුල්ල කොල්ලකෑම (වීරකැටිය)
     
  • බෙලිඅත්ත 2010.03.20 දින රාත‍්‍රි කාලයේ පුද්ගලයින් සිව් දෙනෙකු ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා රු. 247500.00 වටිනා මුදල් ඇතුලූ දේපළ කොල්ලකෑම.
     
  • වීරකැටිය බල අපරාධ 41/2010 - 2010.06.04 දින රාති‍්‍ර කාලයේ පුද්ගලයින් සිව්දෙනෙකු විසින් ගිණි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා රු. 154000.00 වටිනා මුදල් ඇතුලූ දේපළ කොල්ලකෑම.
     
  • වීරකැටිය 2010.06.12 දින රාති‍්‍ර කාලයේ පුද්ගලයින් 06 දෙනෙක් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා මුදල් රු. 450000.00 සහ රු. 230000.00 වටිනා දේපල කොල්ලකෑම.
     
  • ඇඹිලිපිටිය 2009.10.22 රාති‍්‍ර කාලයේ මොරකැටිය ප‍්‍රදේශයේදී සෙවනගල වසන්ත යන අයට ස්වයංක‍්‍රීය ගිණි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම. ඇඹිලිපිටිය ම/උ 1193/2009
     
  • බෙලිඅත්ත 2001.07.25 දින දිවා කාලයේ බෙලිගල්ල රජයේ රෝහලේ සේවකයන්ට වැටුප් ගෙවීමට ගෙනෙන ලද මුදල් රු. 76265.05 ක් ගිණි අවි පෙන්වා කොල්ලකෑම.
     
  • වලස්මුල්ල බල අපරාධ 29/2004x2004.05.19 දින රාති‍්‍ර කාලයේ පුද්ගලයින් තිදෙනකු විසින් ගිනි අවි පෙන්වා පුද්ගලයකු පැහැරගෙන ගොස් සීලවතී අරම වනයේදී වෙඩි තබා ඝාතනය කිරීම.
     
  • ඇඹිලිපිටිය 2010.02.24 දින මොරකැටිය ප‍්‍රදේශයේදී රාත‍්‍රි කාලයේ ගිනි අවි පෙන්වා බිය ගන්වා රු. 151600.00 ක් වටිනා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම 
     
  • ඇඹිලිපිටිය 2010.04.26 දින ඇඹිලිපිටිය නගරයේදී අවි පෙන්වා බිය ගන්වා සිගරට් අලෙවි කරන ලද වීල් රථයේ මුදල් රු. 181510.00 කොල්ලකෑම.
     
  • ඇඹිලිපිටිය 2010.05.21 දින තෝරකොළයාය මාර්ගයේදී දිවා කාලයේ ගිනි අවි පෙන්වා ලොරි රථයකින් රු. 240000.00 ක් කොල්ලකෑම.
     
  • ඇඹිලිපිටිය 2010.07.05 දින ඇඹිලිපිටිය නගරයේ දී ගිනි අවි පෙන්වා බිය ගන්වා බැංකුව වෙත ගෙනයමින් තිබූ ඇඹිලිපිටිය ෆුඞ්සිටියට අයත් මුදල් රුපියල් 640000.00 කොල්ලකෑම. 
     
  • ඇඹිලිපිටිය 2010.07.18 දින වැව්වතුර ප‍්‍රදේශයේ දී කංකානම්ගේ සුජිත් ශාන්ත නොහොත් මෝදකේ ශාන්ත යන අය ගිණි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම.
     
  • ඇඹිලිපිටිය 2011.08.11 දින කැටගල්ආර ප‍්‍රදේශයේ දී රාති‍්‍ර කාලයේ විජයමුනිගේ නන්දපාල යන අයට ස්වයංක‍්‍රීය ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර රුපියල් 417300.00 වටිනා මුදල් සහ දේපළ කොල්ලකෑම.
     
  • අඟුණකොළපැලැස්ස 2010.07.25 දින ටී 56 අවියක් පෙන්වා බියගන්වා රු.200000.00 වටිනා රණ් මාලය කොල්ල කෑම. 
     
  • අඟුණකොලපැලැස්ස 2010.11.05 දින වෙලන්ගහවෙල ප‍්‍රදේශයේ නිවසකට රාති‍්‍ර කාලයේ ඇතුලූ වී ටී 56 ගිනි අවියක් පෙන්වා බිය ගන්වා මුදල් ඇතුලූ දේපළ කොල්ලකෑම.
     
  • අඟුනකොලපැලැස්ස 
     
  • ඇඹිලිපිටිය මෝ්දකේ ශාන්ත ඝාතනය.
     
  • සෙවනගල ප‍්‍රදේශයේදී කෙසෙල් ලොරිය කොල්ලකෑම.
     
  • වීරකැටිය පොලිසියෙන් බව පවසා නිවාසයක දේපළ කොල්ලකෑම.
     
  • පාලංකඩ දාං පුංචා යන අයගේ පියා සහ තවත් අයෙක් ඝාතනය කිරීම.
     
  • කුට්ටිගල පොලිස් වසමේ ජයන්ති පාසල පාර රෙදි වෙළඳසැලකදී 2011.04.12 දින දිවා කාලයේ ගිනි අවි පෙන්වා බිය ගන්වා රු. 20000.00 වටිනා රන් මාලයක් කොල්ලකෑම
     
  • කුට්ටිගල පොලිස් වසමේ පදලංගල හන්දියේ ප‍්‍රදේශයේ දී රාති‍්‍ර කාලයේ රිවෝල්වරයක් පෙන්වා බිය ගන්වා රු. 301000.00 ක් වටිනා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම. ඇඹිලිපිටිය
     
  • තණමල්විල 1999.11.29 දින බලහරුව ප‍්‍රදේශයේදී ගිණි අවියකින් වෙඩි තබා පුුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම.
     
  • තණමල්විල 2009.05.15 දින නිකආර ප‍්‍රදේශයේ දී සිවිල් ආරක්‍ෂක භටයකු වෙඩි තබා ඝාතනය කිරීම.
     
  • තණමල්විල 2009.10.01 දින කුඩාඔය ප‍්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම.
     
  • තණමල්විල කාගිල්ස් ආයතනයේ මුදල් කොල්ලකෑම
     
  • මේ සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගතව සිට 2013.10.15 දින ඇපමත නිදහස්වී පැමිණ ඇත. එම පැමිණීමෙන් පසුව මෙම සැකකරු විසින් පහත සඳහන් අපරාධ සිදුකළ බවට අනාවරණයවී ඇත.

01. 2013.12.15 දින තිස්සමහාරාම පොලිස් වසමේ සුරාසැලක් කොල්ලකෑම සහ වෙඩි තබා මිනී මැරීමට තැත් කිරීම.

02. 2014.01.08 දින හම්බන්තොට පොලිස් වසමේ චීන සමාගමකට අයත් රුපියල් ලක්ෂ 20ක් අඩංගුව තිබූ යකඩ සේප්පුවක් කොල්ලකා රැුගෙන යාම (ගිනි අවි පෙන්වා)

03. 2014.02.13 වැනි දින රත්නපුර පොලිස් වසමේ මැණික් ව්‍යාපාරිකයකු ඝාතනය කර මැණික් හා ස්වර්ණාභරණ කොල්ලකෑම (වෙඩි තබා ඝාතනය)
පාලංකඩ හීන් මල්ලි නමැති මෙම පාතාල නායකයා සහ ඔහුගේ සගයෙක් වන නාමල් නමැත්තා හික්කඩුව ප‍්‍රදේශයේ නිවසක සැඟව සිටියදී පොලිසියට කොටුවීමෙන් පසු රැගෙන ආවේ රත්නපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙතය.

මැණික් ව්‍යාපාරිකයෙකු වූ සුමිත් ගුණසේකර මහතාගේ ඝාතනයට යොදාගත් ගිනි අවිය රත්නපුර මහවෙලවත්ත ප‍්‍රදේශයේ කැලෑවක සඟවා තිබෙන බව පාලංකඩ හීන් මල්ලි හෙළිකර ඇත්තේ පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදීය.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ එවකට ස්ථානාධිපති තනතුර දැරූ වර්තමානයේ කටුවන පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි කරන පොලිස් පරීක්‍ෂක අනුර සුසන්ත මහතා සහ දැනට එම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන පොලිස් පරීක්‍ෂක බණ්ඩාර විජේසිරි මහතාව ද ඝාතනය කිරීමට යොදා තිබූ සැලැස්මක් ගැනද මොවුන්ගෙන් පොලිසිය ප‍්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත.

පොලිස් පරීක්‍ෂක අනුර සුසන්ත හා පොලිස් පරීක්‍ෂක බණ්ඩාර විජේසිරි යන මහත්වරුන් ගමන් ගන්නා මාර්ගවල ඇම්බුෂ් දමා ගෙන සිට ඇත්තේ ඔවුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමටය.

මෙසේ අවස්ථා තුනක් පමණ මේ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමට රැුක සිට ඇතත් එම ඝාතන සැලැස්ම කි‍්‍රයාත්මක කිරීමට නොහැකිවී ඇත්තේ එම  මාර්ගය ඔස්සේ ගමන් නොකිරීම නිසාය.

මේ තොරතුරු පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

සර් වෙපන් එක මහවෙලවත්තේ කැළෑවේ හංගලා තියෙනවා. ආයෙත්  ඕනෑ වුනොත් ගන්නයි වෙපන් එක කැලෑවේ හැංගුවේ. මට එහෙ ගියොත් ඒ වෙපන් එක පෙන්නුව හැකැයි යැයි පාලංකඩ හීන් මල්ලි නමැති පාතාල නායකයා පැවසීම නිසා ඔහුගේ මග පෙන්වීම යටතේ පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම පිටත්ව ගොස් ඇත්තේ සඟවා ඇති ඒ අවිය සොයා ගැනීමටය.

මහවෙලවත්ත ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ සඟවා ඇති ස්ථානයකින් මොහු එක්වරම අත්බෝම්බයක් අතට ගෙන දමා ගැසීමට උත්සාහ කරනවාත් සමගම පොලිස් පරීක්‍ෂක අමරසිරි මහතා ආත්ම ආරක්‍ෂාව පතා ක්‍ෂණිකව කි‍්‍රයාත්මක වී වෙඩි පහරක් එල්ල කළ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

වෙඩි පහරට ලක්වී සිටි මොහු කඩිනමින් රත්නපුර මහ රෝහලට රැුගෙන ගිය බවත් වෛද්‍යවරුන් පරීක්‍ෂාකර බලා ඔහු මිය ගොස් ඇති බවත් දැනුම් දුන්නේ යැයිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. කුඩා කාලයේ සිට මව් පිය සෙනෙහස නිසි රැුකවරණයක් නොලැබීම හා නිිසි මග පෙන්වීමක් නොලැබීම හේතුවෙන් අවසානයේ පාලංකඩ හීන් මල්ලි නැවතුනේ පාතාල ලෝකයේ දරුණු අපරාධකාරයෙක් ලෙසය.
මව්පිය සෙනෙහස හා නිසි රැුකවරණයත් මග පෙන්වීමත් ලැබුණේ නම් නිවැරදි ගුරුහරුකම් ලැබුණේ නම් මොහු පාතාල ලෝකයේ අගාධයට ඇද නොවැටීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි.

කෙසේ වෙතත් දකුණු පළාත හොල්ලාගෙන සිටි පාතාල නායකයෙකුගේ ඉරණම විසඳුනේ අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන සනාථ කරමින්ය.