එජාපයේ වත්මන් තත්ත්වය, රටේ ආර්ථිකය හා ජනතාවගේ ජීවන බර මෙන්ම ජිනීවා සමුළුව ගැන එජාප ප‍්‍රබලයකු වන රවි කරුණානායක කරන විග‍්‍රහයයි මේ. |
ප‍්‍රශ්නය:- සජිත්, කිරිඇල්ල හා කබීර්ට එජාප නියෝජ්‍ය නායක පදවි ලබාදීමට පක්ෂය සූදානම් වෙද්දී ඔබ එය ප‍්‍රතික්ෂේප කරමින් රැඩිකල් තීන්දුවක් ගන්නා බවට ඔබ කළ ප‍්‍රකාශයට අදාළ පසුබිම කුමක්ද?
පිළිතුර:- එජාපය යනු රටේ විශාලම තනි පක්ෂය එජාපය මේ රටට නිදහස ලබදීලා රට සංවර්ධනය කරන්න දැවැන්ත මෙහෙයක් සිදු කළා. නියෝජ්‍ය නායක කම් විශාල සංඛ්‍යාවක් ඇති කිරීම හරහා ඒ පක්ෂය හෑල්ලූ වේවි. රාජපක්ෂ භීතිකාවෙන් රටයි, ජනතාවයි මුදාගෙන අපිට ආණ්ඩුවක් හදන්න තියෙන වෙලාවේ ජ්‍යෙෂ්ඨයො කීප දෙනෙක් නායක තුමාට වැරදි උපදෙස් දීම ගැන මම විරුද්ධත්වය ප‍්‍රකාශ කළා. ඒ තනතුරු එකයි තියෙන්නේ. ඒක සුදුසුම කෙනාට ලබා දෙන ලෙසයි මම කියන්නේ. මේ තනතුර මෙතෙක් දරපු කෙනාට ඒක හරියට කරන්න තියා තනතුර රැුකගන්නවත් බැරිවුණා. අනික එජාපය කියන්නේ ලෝකය තුළ නන්නත්තාර වූ උතුරු කොරියාවේ වගේ පවුලේ අය අතරම බෙදෙන පක්ෂයක් නෙවෙයි. දක්ෂයාට හා පක්ෂය දිනවීමට, පක්ෂයේ න්‍යාය පත‍්‍රය අනුව වැඩ කරන, ඩබල් ගේම් නැති කෙනෙකුටයි එජාපයේ ඉහළ තනතුරු ලැබිය යුත්තේ.
ප‍්‍රශ්නය:- නියෝජ්‍ය නායක තනතුර පත්කිරීමට අදාළ ගැටලූවේදී ඔබ පක්ෂය මාරු කිරීමට පවා යන බවට පැතිර ගිය ආරංචිය මොකක්ද?
පිළිතුර:- මම කටුක දේශපාලන ගමනක් යන්නේ මම ගිලෙන නැවකට පනින මෝඩයෙකුත් නෙවෙයි. එජාපයට පැමිණි කාලේ පක්ෂය නැගිට්ටවන්න හදනවා මිසක්, වසර 18 ක් දුක් විඳින එජා පාක්ෂිකයා දිනවනවා මිසක් ඩබල් ගේම් ගහලා මේක තවත් වට්ටන්න, කාලය මරන්න හදන කෙනෙක් නොවෙයි. ආණ්ඩුව අද කැබලි හතරට පහට කැඩිලා තියෙන්නේ. එජාපය නැගිටවල ගන්නයි මම හදන්නේ. මා ගැන ප‍්‍රවෘත්ති මැවීමක් කරල තියෙන්නේ. මම ජනතාවට කියන්නෙ මෙච්චරයි. මේ රටයි ජනතාවයි ගොඩගත හැක්කේ එජාපයට විතරක් බවයි.
මේ රටේ ආර්ථිකය ගොඩ අරන් විරැකියාව නැති කළ හැක්කේ ප‍්‍රජාත්ත‍්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස රැකිය හැක්කේ, රට තුළ ස්වාධීන නීතිය ස්ථාපිත කළ හැක්කේ, ලෝකය හා බද්ධවී ක‍්‍රියා කළ හැක්කේ එජාපයට විතරයි. මේ රටේ ජනතාවගේ ජීවන බර සැහැල්ලූ කරලා ජනතා අතමිට සරු කරන්නත් පුළුවන් අපට විතරයි. ඒක ඉතිහාසය පුරා ඔප්පු කරල තියෙනවා. එජාප නායකයා අත්දැකීම් ඇති ලෝකය පිළිගත් නිවැරදි දැක්මක් ඇති කෙනෙක්. එජාපයට තරම් දක්ෂ කණ්ඩායමක් වෙන කිසිම පක්ෂයකට ඇත්තෙත් නෑ.
ප‍්‍රශ්නය:- එජාපය සෙසු පක්ෂ 11 ක් හා සන්ධානගත වුවත් එජාපය ඇතුළේ ගැටුම් 100% ක් දැන් නිමද? ඔය සන්ධානයට ජවිපෙ හෝ ෆොන්සේකා පිල එකතු කර ගැනීමේ උත්සාහයක් නැද්ද?
පිළිතුර:- මම 2010 දී කියපු දේවල් තමයි ඔබ මතු කළේ. ඒ ගෙවුණු කාලේ ඒකට යෙදෙව්වා නම් අද එජාපය හා විපක්ෂ සන්ධානය මීටත් වඩා ශක්තිමත්. මීට වසර 03 කට කලින් තනතුරු ගත්ත අය පක්ෂය තවත් වැට්ටුවා මිසක් පක්ෂයට කළ ඉහළ දැමීමක් තියෙනවද? කුහකකම, අවස්ථාවාදීකම, ආත්මාර්ථකාමී බව නවත්තලා හැමෝම එකතු කරගෙන අපි මාර්තුවල ඉඳලා මේ ගමන පටන් ගන්න ඕනෑ. එජාපයේ තනතුරු ප‍්‍රශ්නත් හැමදාම තියාගන්න බෑ. මහින්ද රාජපක්ෂගෙ වැඩ අපි අනුමත නොකළත් එයා තමාට විරුද්ධ කෙනා පවා පාවිච්චි කරනවා. ඒක කාටත් හොඳ පාඩම්, ආණ්ඩුව ජනතාවට තිත්ත වෙලා. පොඩි තනතුරකට අපි මරාගෙන හරියනවද? විපක්ෂයේ අනිත් අයත් අල්ලගන්නෙ නැතුව හරියනවද? ජවිපෙද ෆොන්සේකාද චන්ද්‍රිකාද ශ්‍රීලනිපයේ අයද කවුරුත් අල්ල ගන්න ඕනෑ. යුද්ධය දිනලා වසර 04 යි. ජනතාවට දැන් යුද්ධ කාලෙටත් වඩා අමාරුයි. අපි ඉන් ප‍්‍රයෝජන අරන් බලය අරගෙන ජනතාවයි රටයි මුදා ගන්න ඕනෑ.
![]() |
කොළඹ දිස්ත‍්‍රික් එජාප නායක රවි කරුණානායක |
ප‍්‍රශ්නය:- දැන් වසර 04 ක් ගෙවිලත් යුද්ධය නිම වූ විගස ජනතාවට සහන දීමට ජීවන බර අවම කිරීමට, විරැකියාව නැති කිරීමට, ප‍්‍රජාත්තන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍යය ඇති කර මානව හිමිකම් චෝදනාවලින් මිදීමට හා සුදු වෑන් සංස්කෘතිය නිම කිරීමට ආණ්ඩුවට බැරි වුණේ ඇයි.
පිළිතුර:- යුද්ධය නිම වූ ගමන් මේ ආණ්ඩුව රටට ජනතාවට හිතකර දේ නෙවෙයි තමන් මැරෙනකම් බලයේ ඉන්නේ කොහොමද කියලා හිතලා ඒ සිහිනය සැබෑ කර ගැනීමේ පහත් කටයුතුවලයි යෙදුණේ. ස්වාධීන කොමිෂන් සහිත 17 සංශෝධනය නැති කරලා ඒකාධිපති 18 ගෙනාවෙත් ඒකටයි. යුද්ධය රණවිරුවන් ජීවිත පූජාකරලා දිනුවා. දේශපාලන නායකත්වය දුන්නේ මේ ආණ්ඩුවේ අයයි. අපි ඒක කියනවා. අපි කුහක නැහැ. රණවිරුවන්ට පින්සිදුවන්නට මේ ආණ්ඩුව කොටි යුද්ධය දිනුවත් ආර්ථික යුද්ධය, ජීවන බර යුද්ධය, විරැකියා යුද්ධය, මානව අයිතිවාසිකම් යුද්ධය, ජාත්‍යන්තර යුද්ධය ආදී සියලූ දේවල් පැරදිලා ඉන්නේ.
මේ ආණ්ඩුව බලයෙන් උමතුවීම හා වැඩ බැරිකම මේ පරාජයට මුලයි. අද මේ ආණ්ඩුව ලෝකය එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද අල්ලපු වත්තෙ ඉන්දියාව එක්කවත් සුහදව ඉන්න බැරි වෙලා තියෙනවා. මේ රටේ අසරණ ජනතාව ඡන්දවලදි බොරු කියලා රවටනවා වගේ මෙයාලා ඉන්දියාව පස් වතාවක් රවටා තිබෙනවා. ඉන්දියාව හෝ ලෝකය රවටන්න පුළුවන්ද? මොවුන්ට ඒ ටිකවත් තේරෙන්නේ නෑ. අද ලංකාවේ පාලකයන්ට විතරක් නොවෙයි ජනතාවටත් ඉන්දියාවට යන්න බැරි අවදානමක් තියෙනවා. ඉන්දියාව ඒ තරමට තරහ කරගෙන ලංකාවට වැඩිපුරම ආධාර දීපු ජපානය හා කොටි යුද්ධය නිමකරන්න මේ රටට යුද නැව් දීපු වෙනත් ආධාර කරපු ඇමෙරිකාව, යුරෝපා හවුල තරහ කරගෙන ලෝකයේ හිඟන කඳවුර ළංකරගෙන ලංකාවට ඉදිරියට යන්න පුළුවන්ද?. අනික මේ යුද්ධය එකපාර දිනුවෙ නෑ. එජාපය ඍණ ආර්ථිකය ධන කරලා ආර්ථිකය හදලා ෆුල් ටෑන්ක් ගහලා දුන්නාමයි මෙයාලා යුද්ධය කරලා දිනුවේ. එජාප 2001 ආණ්ඩුවේ අගමැති රනිල් හා මම වෙළෙඳ ඇමැති කාලේ අමාරුවෙන් ලංකාවට ලබාගත්ත ජී.එස්.පී. ප්ලස් දැවැන්ත බදු සහනය පවා මේ ආණ්ඩුව නැති කරගත්තා. ඒ අනුව මේ වෙනකොට වසරකට රු. කෝටි 11,800 කට වඩා මේ රටට අහිමි කරගෙන තියෙනවා. ඒවට හරියන්න අද මේ ආණ්ඩුව අධික පොලියට ණය ගන්නේ රටත් ජනතාවත් උගස් කරලයි. මේක ශ්‍රීලනිප රටක් නොවෙයි. අපි කාගේත් රටයි. අපේ කැක්කුම ඒකයි.
ප‍්‍රශ්නය:- ලංකාවට එරෙහිව ගිය වසරේත් ජිනීවාවලදී යෝජනාවක් සම්මත වුණා. මෙවර තත්ත්වය ඊටත් බැරෑරුම්. මේ ගැන එජාපයට තිබෙන පැහැදිලි කිරීම කෙබඳුද?
පිළිතුර:- මේ ආණ්ඩුවේ පහත් හැසිරීම්වලට එරෙහිවයි ජිනීවා යෝජනා එන්නේ. නැතුව මේ රටේ ජනතාවට විරුද්ධව ඔය යෝජනා එන්නෙ නෑ. ඒත් ආණ්ඩුව ජනතාව මෝඩයා කරලා වැරදි චිත‍්‍රයක් දෙන්නේ. ගියවර ජිනීවා යෝජනාවෙන් කිව්වේ මොකක්ද? මේ ආණ්ඩුවම ගෙනා උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරලා රට තුළ යහ පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කරන ලෙසයි. ආණ්ඩුව පරාජය වුණාට අපට කමක් නෑ. රටයි ජනතාවයි පරාජය කරන්න එපා කියලයි අපි කියන්නේ. ඇමෙරිකානු අධිරාජ්‍යවාදය යුරෝපා අධිරාජ්‍යවාදය ගැන මේ ආණ්ඩුව කතා කරනවා. මෙයාලට චීන අධිරාජ්‍යවාදය පේන්නෙ නැත්තෙ ඇයි කියන එකයි දැන් අලූත්ම තර්කය වෙලා තියෙන්නේ.
මේ ප‍්‍රශ්නවලදී එජාප සහාය දෙන්න අපි ඉදිරිපත් වුණා. ජී.එස්.පී. ප්ලස් වසරකට රු. කෝටි 11,800 ක අති විශාල මුදල රැුක ගන්න පවා අපේ සහාය දෙන්න හැදුවත් මහින්ද රාජපක්ෂ, ජී.එල්. හා මේ ආණ්ඩුව ඒවා ප‍්‍රතික්ෂේප කළා. මේ රටේ ව්‍යවස්ථාව හරිහැටි ක‍්‍රියාත්මක කරන්න කියලයි ලෝකය කියන්නෙ. මේ ආණ්ඩුවේ අඥාන ක‍්‍රියා නිසා ලෝකයට මේ රටට ඇඟිලි ගහන්න ජනෙල් නෙවෙයි දොරවල් විවෘත කර දීලා තියෙන්නේ මේ ආණ්ඩුවමයි. ගමේ බෝක්කුව උඩ ඉඳන් දාන චණ්ඩි පාට් ජාත්‍යන්තරයට දාලා හරියන්නෙ නෑ. දැන් ඇඟළුම් කම්හල් 247 ක් වැහිලා. ලක්ෂ 2 1/2 කට රැකියා නැතිවී තියෙනවා.
ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුවේ ආර්ථික ඝාතකයන් සිටින බව ඔබ කියනවා. වීරවංශ ඇමැතිතුමාත් කියන්නේ පී.බී. ජයසුන්දර ඇතුළු ආර්ථික ඝාතකයින් පන්නා දැමිය යුතු බවයි. ඔහුගේ ප‍්‍රහාරය යථාර්ථයක් ද තවත් නාට්‍යයක් ද?
පිළිතුර:- ඒක නාට්‍යයක්. එතුමා ඇඳුම් නැතුව රඟපාන එකයි ලොකුම ප‍්‍රශ්නය. ජනාධිපතිතුමාගෙ අවසර නැතුව එයා කටක් අරින්නෙ නෑ. 71 හා 89 දී එයාල තරම් ආර්ථික ඝාතකයො මේ රටට හිටියෙ නැහැ. පී.බී. මේ තනතුරට සුදුසු නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළාම මහින්ද රාජපක්ෂ එක්ක වීරවංශලා එකතුවෙලයි ඔහු යළිත් පත්කළේ. පී.බී. ආර්ථික ඝාතකයෙක් නම් මහ බැංකු අධිපති ආර්ථික සමූල ඝාතකයෙක් නෙවෙයි දැයි වීරවංශ නොකියන්නෙ ඇයි කියලයි මම අහන්නේ. ගෝල්ඩන් කී, ඉතිරි කිරීමේ බැංකුව, හෙජින් ඇතුළු විනාශ රැුසක් කළේ ඔහුයි. මේ ආණ්ඩුවට ආර්ථිකය මෙහෙයවන්න බෑ. රටයි, ජනතාවයි, ආර්ථිකයයි මෙයාලා කියන විදියට මෙහෙයවලා අනාථ වුණාම වැරැුද්ද නිලධාරීන් පිට දාලා ඇඟ බේරාගන්න ආණ්ඩුව හදන්නේ. ජනතාව ඒකත් තේරුම් ගන්න ඕනෑ. ජනාධිපතිම පී.බී. ට නොගහ වීරවංශ ලවා ගස්සවනවාද නැද්ද කියලත් ජනතාව තේරුම් ගන්න ඕනෑ. සීගිරියෙ ගියේ නැති අය ඩිස්නිලන්තෙ යනවා. එයාලා එක එක්කෙනාට ඕන හැටියට රූකඩ වගේ නටනවා. ජනතාවගෙ ඇහැට වැලි ගහන එක මේ කරන්නේ. ගෙවල් 200 ක් හදලා පේ‍්‍රමදාස ජනාධිපතිතුමා හදපු ඒවායේ තීන්ත ගාලා අපි හදපු ගෙවල් කියලා පෙන්නන තරමේ ලජ්ජා නැති අයයි මෙහෙම නටන්නේ. කෑගහන්නේ නැතිව ජනාධිපතිට කියලා ආර්ථික ඝාතක පී.බී. ව පැයෙන් අයින් කරන්න. මහ බැංකු අධිපතිට විරුද්ධව අල්ලස් එකේ පැමිණිලි ඇති නිසා එයාත් අයින් කරන්න. බොරු රඟපෑම් දාලා වැඩක් නෑ. මේ කට්ටිය එකතුවෙලා අද මේ රටයි ජනතාවයි සුද්දට උගස් කරල ණය උගුලේ ගිල්ලවල තියෙන්නේ.
ප‍්‍රශ්නය:- 1948 නිදහස ලැබූ දා සිට මේ රටේ හිටපු සියලූ ආණ්ඩු ලබාගත් ණය මෙන් හතර ගුණයක් 2005 සිට මේ දක්වා මේ ආණ්ඩුව අරන් තිබෙන බව සංඛ්‍යා ලේඛන සහිතව රටට එළි කළේ ඔබයි. යළිත් ණය ඉල්ලා නොලැබුණු විට අපට ණය එපා යයි මේ ආණ්ඩුව කියන බවට එජාපය තර්ක කරන්නේ ඇයි?
පිළිතුර:- මේ රටේ වසරක ආදායමෙන් 98% ක් දැන් ණය හා වාරික ගෙවන්න වැය වෙනවා. රට දුවන්න තවත් ණය ගන්නම වෙනවා. ඒ තරම් බංකොලොත් රටක් බවටයි මේ අය ලංකාව පත් කරලා තියෙන්නේ. අනික මේ ණය රටේ නිෂ්පාදනය හා අපනයනය ඉහළ දාන්න යොදවන්නේ නැතුව විශාල කොමිස් ගසා කෑම් කළ හැකි අසාර්ථක තැන්වලයි ආයෝජනය කරන්නේ. නොරොච්චෝලේ හැමදාම කැඩිලා. දැන් ඒක චීනයට දෙන්න යනවා. හම්බන්තොට වරායට නැව් නෑ. මාළු බානවා, බඩගිනි ජනතාව ණය ගෙවනවා. කීප දෙනෙක් කොමිස්වලින් සාක්කු පුරව ගත්තා.
48 සිට 2005 දක්වා මේ රට රු. කෝටි එක්ලක්ෂ හැත්තෑ අට දාහක් ණය අරන් තියෙනවා. 2005 සිට 2013 පෙබරවාරි දක්වා මේ ආණ්ඩුව පමණක් රු. කෝටි හය ලක්ෂ හතලිස් පන්දාහක් එනම් හතර ගුණයක් ණය අරන් රට විකුණලා තියෙන්නේ. රට දුවන්න තව තව ණය ගන්න වෙනවා. මේ ආණ්ඩුව තව තිබුණොත් රටට ජනතාවට මුහුදෙ පනින්න වෙන්නේ. මේ ආර්ථිකය ඝාතනය කරලා තියෙන්නේ රාජපක්ෂලා, වීරවංශලා, රණවකලායි. මූල්‍ය අරමුදලෙන් මේ පාර ණය ඉල්ලූවේ කබ්රාල් හා සරත් අමුණුගමයි. මෙතෙක් ලබාගත් ණය හරියට පාවිච්චි නොකළ නිසයි. මේ ණය නොදෙන්නේ කියලා ඒ නියෝජිතයො අපි හමුවුණාම කිව්වා. දැන් ණය නැතුව මේ ආණ්ඩුවට තව යන්න බෑ. මාළුවාට වතුර වගේ මේ ආණ්ඩුවට ණය නැති වුණොත් මැරෙනවා. මේ ආණ්ඩුවේ මධු සමය දැන් ඉවරයි. මූල්‍ය අරමුදල සතුටු කරලා යළි ණය ඉල්ලන්නයි ආණ්ඩුව පාඩු අඩු කරන්න හදන්නේ. ඒකට රු. 88 ට රටටගේන පෙට්රල් ලීටරය රු. 162 ට විකුණලා ජනතාව ගසා කනවා. මේ ආණ්ඩුවේ වැඩ බැරිකම, නාස්තිය, දුෂණය හෙජින්, බාල තෙල් ගෙන්වීම ආදිය නිසයි තෙල් සංස්ථාව, විදුලි මණ්ඩලය වගේ තැන් පාඩු වෙන්නේ. ඒවා හිරිකිතයක් නැතුව ජනතාව පිට පැටවීමයි මේ අය කරන්නේ. ළඟදීම විදුලි බිලත් නහුතෙට වැඩි කරනවා. මෙච්චර වැසි ලැබිලත් ගිය වසරට විතරක් විදුලි මණ්ඩලයේ රු. කෝටි 11,800 ක් පාඩුයි. ඔන්න රණවකලාගේ කෙරුවාව. අනික මේ ආණ්ඩුව සුද්දන්ට ඉඩම් විකුණන්නෙ නැතිලූ. ඒත් මේ රටේ කම්හල් විකුණනවා. ඒවා තියෙන්නේ ඉඩම්වල නොවෙයිද?
ප‍්‍රශ්නය:- ආණ්ඩුව රණවිරුවන්ට පින්සිදුවන්නට යුද්ධය දිනුවා හැර වෙනත් කිසිවක් නොකළ බව එජාපය ඇතුළු විපක්ෂයේ විග‍්‍රහයයි. රටේ ආර්ථිකය, ජනතාව පෙළන අධික ජීවන බර, විරැකියාව තුරන් කරන්නට ජාත්‍යන්තරය සුබවාදී කරන්නට එජාපය බලයට පත් වුණොත් පුළුවන්ද?
පිළිතුර:- අනිවාර්යයෙන්ම පුළුවන්. නිදහස ලැබුදා ඉඳලා එජාපය ඒක කරලා පෙන්නලා තියෙනවා. ඈතක යන්න එපා. 2001 දී එජාපය ඍණ 1.6% ක බංකොලොත් රටක් බාරගෙන මාස කිහිපයකදී ආර්ථික වර්ධනය 07% දක්වා ගෙනාවා. ජනතාවගේ ජීවන බර අඩු කරලා අතමිට සරු කළා. දැන් මේ ආණ්ඩුවට ලෝකයෙන් කිසිම සහයක්, උප කාරයක්, ආධාරයක් නෑ. ඒත් එජාප ආණ්ඩුවකට ඉහළ ආධාර ලැබෙන නිසා, ආයෝජකයන් එන නිසා ජනතාවට විශාල සහන ලබාදීමට අපට හැකිවෙනවා. දිගටම මේ ආණ්ඩුවට රැවටිලා දුක්විඳිනවද සහන හා රැකියා ලබමින් සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්ති විඳිමින් උසස් ජීවන තත්ත්වයක් ඇති කරගන්නවාද කියලා ජනතාව දැන් තීන්දු කළ යුතුයි.
සංවාද මෙහෙවර - අශෝක ජයතුංග