වසර 30කට වැඩි කාලයක් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සිටි උබේසේකර හෙන්නායක මහතා කිසිවකු නොසිතූ මොහොතක සැමගෙන් සමුගෙන ගියේය.
ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයෙකු මෙන්ම ලංකාදීප මැදපෙරදිග වෙබ් අඩවියේ හා මැදපෙරදිග ලංකාදීප පුවත්පතේද කර්තෘවරයා වූ උබේසේකර හෙන්නායක මහතා ලංකාදීප ‘රජවීදිය’ අතිරේකයේ සංස්කාරකවරයා ලෙස ද කටයුතු කළේය.
අන්තර්ජාතික දේශපාලනය සහ එහි නවතම ප්‍රවණතා පිළිබඳ හසළ දැනුමක් තිබූ හෙන්නායක මහතා හදිසියේ අසනීප වන තුරුම ජාත්‍යන්තර බල අරගල පිළිබඳ නිරන්තර විමසිල්ලකින් පසුවිය. ඔහු ලෝක දේශපාලනය තම ජීවිතය කරගෙන සිටි අයෙකි. ලෝකයේ බල පෙරළි ගැන ඔහු කී අනාවැකියක් වැරදී නොගිය තරම්ය. ලෝක දේශපාලනය පිළිබඳව මෙන්ම අති නවීන තාක්‍ෂණය ආදී සියල්ල ගැන ඔහුගෙන් දැනගත හැකි දේ බොහෝ විය.
ඉතාමත් නිහතමානී මෙන්ම තැන්පත් තැනැත්තකු වූ හෙන්නායක මහතා කාර්යාලය තුළ ඇවිදින විශ්වකෝෂයකි. ඕනෑම තරාතිරමක අයකුගේ ප්‍රශ්නයකට පිළිතුර ඔහුගේ දිවග නිතැතින්ම රැඳිණ. එවන් උදාර පුරුෂයකුගේ වියෝව අදහාගත නොහැකිව කාර්යාලීය සගයෝ ළතැවෙමින් සිටිති.
1987 වසරේ සිට ලංකාදීප කර්තෘමණ්ඩලයේ සේවය කළ උබේසේකර හෙන්නායක මහතා එහි විශේෂාංග කර්තෘවරයා ලෙසද කටයුතු කළේය. නාරම්මල මයුරපාද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වූ ඔහු රුසියාවේ මොස්කව් නුවර ජනතා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.
ජාත්‍යන්තර දේශපාලනය හා විශ්ව සාහිත්‍යය පිළිබඳ බොහෝ දේ හැදෑරූ හෙන්නායක මහතා ‘ටෝල්ස්ටෝයිගේ අන්තිම දවස්’, හිට්ලර් පොල්පොට් සහ ඉඩී අමීන්ලා’, ‘හිට්ලර් නම් පොත්ගුල්ලා’, ‘නවකතා ලියන හැටි’, ‘ඔහු ලෝරන්ස් නම් විය’ ආදී කෘතීන් ගණනාවක් රචනා කළේය. ඔහු අවසන්වරට රචනා කළ ‘උගන්ඩාවේ ඉඩී අමීන්’ කෘතිය පසුගිය වසරේ සාහිත්‍ය මාසයේ දී එළිදැක්විණි.
වසර ගණනාවක්ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ පරිවර්තන කෘතීන් සහ නවකතා අංශයන්හි විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු ලෙසද උබේසේකර හෙන්නායක මහතා කටයුතු කළේය.
විටෙක නිහඬව පොත් පත් අතරේ කිමිදෙන හෙන්නායක මහතා තවත් විටෙක අන්තර්ජාලයේ සැරිසරමින් විහිළු තහළු කරමින් කාර්යාලයේ සියල්ලන් සිනහ ගැන්වීය. නවකයින්ට සෙවණ දුන් මහා නුග රුකක් වූ හෙන්නායක මහතා ඔවුන්ට නිසි මග පෙන්වූ ගුරුවරයෙක් මෙන්ම පියගුණ පිරි සැබෑ මහත්මයකු විය. හෙන්නායක මහතාගේ වියත්බව, ගුණවත් බව, නැණවත් බව ගැන සියල්ලෝම අදහස් දක්වනු ඇසේ. කිසිවෙක් හෝ වරදක් නොකියන්නේ ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරිපුන් මිනිසෙකු බැවිනි.
කාර්යාලයේ අපට ලබැඳි සොහොයුරෙකු, ගුරුවරයෙකු වූ ඔබ බිරිඳට සෙනෙහෙබර සැමියෙක්, දරුවන්ට සෙනෙහෙබර පියෙක් මෙන්ම ඥාතීන්ට සෙනෙහෙබර ඥාතියෙක්ද විය.
හෙන්නායක මහතාණෙනි. අප ඔබගෙන් උගත් දේ බොහෝය. ඔබ සෙවණේ ගුරුහරුකම් ලැබූ කාලය කිසිදිනෙක අමතක නොවන මතක රැසකින් පිරී ඇත. සැමට සමානව සැලකූ නිහතමානී ගුණයෙන් පිරි ඔබ අද දින අපෙන් සමුගෙන යනු ඇත. නමුත් ඔබේ නාමය සදා අප හදවත් තුළ ජීවමාන වනු ඇත.
හෙන්නායක මහතාණෙනි, ඔබට නිවන් සුව!!