(අංජුල මහික වීරරත්න)

දඬුවමකට යටත්ව බන්ධනාගාර ගත කර ඇති පූජ්‍ය පක්ෂය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු පිළිවෙත් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක මගින් එම කාරක සභාවේ සභාපති වෙත ලිපියක් යොමුකොට ඇත. 

එම ලිපියේ මෙසේද සඳහන්ය.

විවිධ හේතූන් මත දඬුවමකට ලක්ව බන්ධනාගාර ගත කරන මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික පූජා ප්‍රසාදීන් වහන්සේලා බන්ධනාගාරයේ රඳවා සිටින විට සහ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒමේදී පැළඳිය යුතු වස්ත්‍රය පිළිබඳව බරපතළ කතිකාවක් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝග අංක 550 අනුව මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික පූජ්‍ය පක්ෂයට එම නියෝග ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියා කළ යුතු ආකාරය මත බේදාත්මක තත්වයක් මතු කොට තිබේ. මෙම ගැටලුව විසඳීමට රජය කඩිනම් හා සාධනීය මැදිහත්වීමක් සිදු නොකරන බවට හැඟී යන්නාවූ තත්ත්වයක් හමුවේ රට තුළ මහජනතාව දැඩි කම්පනයකට ලක්කොට ඇත.

එබැවින්, එකී නියෝග නැවත සලකා බැලීම හා අවශ්‍ය සංශෝධනයන් සිදු කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම ව්‍යවස්ථාදායකය සතු වගකීමක් බව සඳහන් කරනු කැමැත්තෙමි.

ඒ උදෙසා මෙම විෂය පථයට අදාළ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. එසේම, එහි පළමු රැස් වීමට පහත පාර්ශ්ව කැඳවීමට කටයුතු කරන්නේ නම් මැනවි.