ඇෆ්ගනිස්තානය තලෙයිබාන් පාලනයට නතු වී තිබේ. සති ගණනක් තිස්සේ පැවැති අරගලය අවසානයේ දී තලෙයිබාන්වරු අශ්රෆ් ගානි ජනාධිපතිවරයාගේ නිල නිවෙස වට කළහ. ඔහු නික්ම යෑම සමග තාවකාලික ජනාධිපතිවරයකුගේ පාලනයකට එකඟ වී ඇත.
ඇෆ්ගනිස්තානයේ ඉකුත් දශක දෙක තුළ ගෙන ගිය වැඩපිළිවෙළ එක්තරා අවසානයකට පැමිණ ඇත. බටහිරට නතු එරට පැලැන්තියක් එරට රිද්මය වෙනස් කරන්නට වැර දරන ලදී. අන්තවාදී සහ පැරැණි දැඩි මතධාරී ශිෂ්‍ය කණ්ඩායමක් වන තලෙයිබාන්වරු එයට එකඟ නොවූහ. දිගින් දිගටම ගැටුම් ඇති කළේය. නගරයේ ජීවත්වන බටහිරට අනුව හිතන සමාජය සහ පිටිසරබද ජනතාවගේ තද ආකල්ප අතර නොගැළැපීම මෙයට හේතු වූ බව පෙනේ. ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් මෙකී අභ්‍යන්තරය වටහා ගත්තේ නැත. තමන්ට හිතවාදී නාගරික කණ්ඩායම ගැන පමණක් අවධානය යොමු කළ අතර රට තුළ පවතින ගැඹුර අධ්‍යයනය නොකළේය.
ඉකුත් විසි වසර තුළ ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් පමණ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැය කර ඇත. දස දහස් ගණනක් ඇෆ්ගන් හමුදා භටයන්ට හමුදා පුහුණුව ලබා දී තිබේ. දක්වන වාර්තා අනුව ඇමෙරිකානු භටයන් 2,448ක් ඇෆ්ගනිස්තානයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විසිඑක් දහසක පමණ පිරිසක් එහි මෙහෙයුම්වල දී තුවාල ලබා ඇත. දහස් ගණන් ඇමෙරිකානු භටයන් මානසික අවුල් සහිතව නිහඬවම ආපසු නික්ම ගොස් ඇත. තවදුරටත් ඇෆ්ගනිස්තානය වෙත අවධානය යොමු නොකරන බව ඇමෙරිකාව ප්‍රකාශ කර ඇත.
එරට වැසියන්ගේ අභිමතාර්ථ ඉක්මවා ලෝක බලවතුන්ගේ අභිලාශ සඳහා පැවැති උග්‍ර තරගය අවසානයේ දී තලෙයිබාන්වරු අත්පත් කරගත් වාසිය මෙහි දී අධ්‍යයනය කිරීම වැදගත්ය. ලෝකයේ රටවල් ගණනාවක් විසින් කරන ලද අතපෙවීම අවසානයේ දී උග්‍ර මුහුණුවරක් ගත්තේය. ඇෆ්ගනිස්තානය ලෝක බල කඳවුරුවල පාපන්දුවක් බවට පත්විය. තලෙයිබාන්වරු එය නැවත තමන් වෙත අත්පත් කරගෙන ඇත. පිටින් එන කණ්ඩායම් රටක පැවැත්මට කරන බලපෑම සියුම්ය. උත්සාහය ව්‍යර්ථ වන අවස්ථාවේ දී අත්හැර දමන ස්වභාවය ගැන අවබෝධ කරගන්නට ද ඇෆ්ගන් සිද්ධිය හොඳ උදාහරණයකි.
තලෙයිබාන් තරුණ සටන්කාමීන් හිස ඔසවන්නේ 1990 ගණන්වලදීය. ඉස්ලාම් සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් ඔවුහු පෙනී සිටියහ. එම පිරිස් එරට කාන්තාවන්ගේ අයිතීන් පාලනය කළහ. හිජාබ් ඇඳුම අනිවාර්ය කළේය. ආගමික බලපෑම තද කරන ලද අතර කාන්තාවන්ට නිවෙසේ රැඳෙන්නට බල කළ බව සඳහන් කළ යුතුය. කාන්තා අධ්‍යාපනය හෝ වෘත්තීය අවස්ථා තහනම් කළේය. මේවා වෙනස් කිරීම බටහිර පාලකයන්ගේ සහ නාගරික පිරිසගේ වුවමනාව වී තිබුණි.
තලෙයිබාන්වරු ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගැනීම සමග ජාත්‍යන්තර දේශපාලනය කැළඹී ඇත. ඇමෙරිකානු හිතවාදී රටවල් පැත්තකට වී තිබේ. චීනය හා රුසියාව අලුත් පාලකයන් සමග සාකච්ඡා අරඹා ඇත. ඇෆ්ගනිස්තානයේ යටිතල පහසුකම් දියුණු කරන යෝජනා ක්‍රම යෝජනා කර තිබෙන බව අනාවරණය වෙන අලුත් පැත්තකි. ලෝකයේ පැවැත්ම එක හා සමාන විය යුතු ද සහ විෂමතා තුළින් වෙනස්ම හැඩතල පෙන්නුම් කළ යුතු ද යන්න කාලයක් තිස්සේ සාකච්ඡා වෙමින් පවතින කරුණකි. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර කඳවුර එයට බලමින් සිටියේය. බටහිර අධිපතිවාදී මත හැසිරවීම් ලිහිල් වී ඇත. නවීන මාධ්‍ය භාවිතාව එයට බලපා ඇති එක කාරණයකි. ලෝකය එකම තනි යායක් කරන්නට ප්‍රයත්නය වෙනුවට එකිනෙකට වෙනස් ඇදහිලි, සංස්කෘතික අනන්‍යතා සහිත පාලන ක්‍රම මතුවෙමින් තිබේ.
ජනතාවගේ සිතුම් පැතුම් එම රටවලටම තීරණය කරන්නට ඉඩ දෙන පියවර ඉතාම වැදගත්ය. ප්‍රශ්න අපම විසඳාගත යුතුය. එක පැත්තකින් ආධාර දෙන අතර අනෙක් පැත්තකින් ඔවුන්ගේ රාමුවලට රටවල් ඇතුළු කරගන්නට දරන ඍජු හා වක්‍ර බලපෑම් බටහිරෙන් පමණක් නොව චීනය ප්‍රමුඛ අනෙක් කඳවුරෙන් ද එල්ලවිය හැකිය. ජවහල් ලාල් නේරු මහතා වරක් ප්‍රකාශ කළ පරිදි සියලු පැතිවලින් හමා එන සුළඟ ඇතුළු වෙන්නට දොර ජනෙල් විවෘත කරන නමුත් එම සුළඟෙන් ගසාගෙන යන්නට ඉඩ දිය යුතු නැත.
(***)