උදාර මිනිසකු වූ රිස්වාන්ගේ දරු පවුල අසරණ නොකරමු


ඉහළ කොත්මලා ජලාශයට වැටී සිටි තරුණියක බේරා ගැනීමට උත්සාහ කළ දෙදරු පියකු දියේ ගිලී අතුරුදන්වීමේ පුවතක් අප පුවත්පත පෙරේදා වාර්තා කළේය. මෙසේ අතුරුදන්ව ඇත්තේ ළිඳුල රත්නිල්ලකැලේ ජනපදයේ පදිංචිව සිටි හමීඩ් රිස්වාන් නැමැත්තා බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. සාමාන්‍ය සිදුවීමකට එහා ගිය මනුෂ්‍යත්වය සම්බන්ධ බැරැති හැඟීමක් ඇති කිරීමට මෙම පුවත යටත්ය.

සිදුවීම සංක්ෂිප්තව මෙසේය.

ඉහළ කොත්මලා ජලාශයට තරුණියක වැටී ඇති අතර එය දුටු බොහෝ පිරිසක් වේල්ල මත සිට ඇය බේරා ගැනීමට මඟක් සෙවූහ. තරුණිය වේගයෙන් දිය රල සමඟ ඈතට ගසාගෙන යනුදුටු හමීඩ් රිස්වාන් සිය ජීවිතය පිළිබඳව නොසිතා වහා ජලාශයට පැන්නේය. තරුණිය අල්ලා ගැනීමට ඔහු සමත් වුවද ඊළඟ නිමේෂයේදී ඔහුට පරාජය බාර ගැනීමට සිදුවිය. රිස්වාන් ගැඹුරු දියේ නොපෙනී ගියේය. මේ මොහොතේ වහා එතැනට පැමිණ සිටි තලවකැලේ පොලිස් ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු මහතා ද ජලාශයට පැන්නේය. දියකඳ සමඟ පොර බදා දියේ ගිලෙමින් සිටි තරුණිය බේරාගෙන ගොඩට රැගෙන ඒමට ඒ මහතා සමත් විය.

සමාජ මාධ්‍ය ජාලාවල පළවූ විස්තරවලට අනුව ජලාශයට වැටුණු තරුණිය දෙමළ ජාතිකය. දෙමළ ජාතික තරුණියගේ ජීවිතය බේරාගැනීමට තම ජීවිතය ගැන නොසිතා ජලාශයට පැන්න හමීඩ් රිස්වාන් මුස්ලිම් ජාතිකයෙකි. දියේ ගිලෙමින් සිටි තරුණිය බේරා ගොඩට රැගෙන ආ තලවකැලේ පොලිස් ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු මහතා සිංහල ජාතිකයෙකි.

සැබැවින්ම මනුෂ්‍යත්වය අවර්ණය. එයට වර්ණයක් නැත. ජාතියක් ආගමක් නැත. තලවකැලේ සිදුවීම අපට කියාදෙන පාඩම එයය. හැඳුනුම්පත විමසා දෙවැනුව මරාගෙන කෑමට පනින වියරු අන්තවාදී ජාතිවාදී උම්මත්තකයන්ට කියාදෙන පාඩම එයයි.
ඕනෑම අයකුට තමන්ගේ ජීවිතය තරම් වටිනා අන් යමක් නැත. අප සියල්ලම කරන්නේ ජීවත්වීම සඳහාය. තමන්ට වටිනාම සම්පතවන ජීවිතය තවත් ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් කැප කිරීමට යමකුට හැකිනම් මානව සමාජයේ වීරයන් බවට පත්වන්නෝ ඔවුහුම වෙති. මානව සමාජයේ ශ්‍රේෂ්ඨයෝ ඔවුහුම වෙති. කොත්මලා ජලාශයේ රුදුරු ජලකඳ අතර නොපෙනී ගිය හමීඩ් රිස්වාන් වීරයකු වන්නේත් ශ්‍රේෂ්ඨයකු වන්නේත්, තලවකැලේ පොලිස් ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු මහතා වීරයකු වන්නේත් ශ්‍රේෂ්ඨයකු වන්නේත් ඒ අර්ථයෙනි.

හමීඩ් රිස්වාන් මෙන්ම රුවන් ප්‍රනාන්දු පළ කළ ආදර්ශය මිනිස් සමාජයක් ගව් ගණනකින් ඉහළට ඔසොවා තැබීමට සමත්ය. මිනිස් සමාජය ඉදිරියට ගලා යන්නේ මිනිසුන්ගේ ආදර්ශ මතිනි. එම ආදර්ශ ගුණවත් වන්නේ නම් සමාජය තුළ ප්‍රමිති තීරණය වන්නේ ඒ අනුවය. වීරත්වය හා දීනත්වය අතර බෙදුම් රේඛාව බවට පත්වන්නේ ගුණවත් ආදර්ශය. රිස්වාන්ගේත් රුවන් ප්‍රනාන්දුගේත් ආදර්ශ උත්කර්ෂයට නැංවෙන්නේ එහෙයිනි.

අප බොහෝවිට අත්විඳිමින් සිටින්නේ මනුෂ්‍යත්වයට තරම් නොවන මනුෂ්‍යත්වයට නිගා දෙන සිදුවීම්ය. මිනිසුන් ලෙස අපටම ලජ්ජා සිතෙන සිදුවීම්ය. පරාර්ථකාමීත්වයෙන් විතැන්ව ආත්මාර්ථකාමීත්වයේ පතුලටම ඇද වැටී තුච්ඡ ලෙස හැසිරෙන මිනිසුන්ය. මිනිසුන්ගේ හදවත් කම්පා කෙරෙන එම හදවත්වලට දරා උසුලා සිටිය නොහැකි තරමේ බරැති අශිෂ්ට ක්‍රියා සිදුකරන මිනිසුන්ට සම්බන්ධ සිදුවීම්ය.

එක් අතකින් ජාතිවාදයේත් ආගම්වාදයේත් අන්තයටම ගොස් මරාගෙන මැරෙන විකල් සිහියක් ඇති පුද්ගලයන් වෙතින් සිදුවන මාරාන්තික අශිෂ්ට ක්‍රියා සම්බන්ධ මතකය තවමත් අලුත්ය. තමන් සොයන විමුක්තිය සැඟවී ඇත්තේ අන්‍ය ජාතික අසල්වැසියා තුළ යැයි සිතා ඒ මිනිසාගේ ළය කුහර පාදන පාදඩ කඩප්පුලියන්ගෙන් මානව සමාජයට අබමල් රොනක තරම් හෝ යහපතක් නැත.

රිස්වාන් මෙන්ම රුවන් ප්‍රනාන්දු අපට වඩාත් වැදගත් වන්නේ එහෙයිනි. එම බලගතු ආදර්ශ එයට හිමි නිසි බරින් නිසි ගුණයෙන් හා නිසි අරුතෙන්ම හඳුනාගැනීම සෙස්සන්ගේ වගකීමය. අපගේ ආකල්ප අලුත් වන්නේත්, තුරුණු වන්නේත්, අප අමුතුම මිනිසුන් බවට පත්වන්නේත් එම හඳුනා ගැනීම තුළය.

හමීඩ් රිස්වාන් 28 හැවිරිදිය. ඔහු කොත්මලා ජලාශයේ ගැඹුරු දියේ නොපෙනී ගොස් ඇත. ඔහු දෙදරු පියෙකි. රිස්වාන් ගේ වයස අවුරුදු 28 ක් වන හෙයින් ඔහුගේ දරුවන් ඉතා කුඩා අවධියක පසුවන්නේ යැයි සිතිය හැකිය. එම කුඩා දරු දෙදෙනා සමඟ ඒ අම්මා අද මේ මහ පොළොව මත අසරණව සිටින්නීය. රිස්වාන්ට හරි හමන් රස්සාවක් නොමැති බවත්, කුලී වැඩෙන් දරු දෙදෙනාගේ සාපිපාසා සංසිඳවූ බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්ය. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් වුවද පොහොසත් වුවද රිස්වාන්​ෙග් දිළිඳු බව එපරිදිය. මේ මොහොතේ එම දරු පැටවුන් දෙදෙනාට පිහිට වී ශ්‍රේෂ්ඨත්වයේ මාවතට පිවිසීමේ අනගිතම අවස්ථාවක් ඔබට විවර වී ඇත. ඔබ ඔබේ මනුස්සකම පෙන්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.