ගම්පහ නගරයේ විනාඩි අටේ මහා කොල්ලය


 

 

ගම්පහ රෝහල අසල පිහිටි පෞද්ගලික ලීසිං සහ රන් බඩු උකස් ආයතන ශාඛාවකට අවිගත් කොල්ලකල්ලියක් පැන එහි තිබූ රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක පමණ මුදල් හා රන් ආබරණ පැහැරගත්තේ පසුගිය බදාදා (22) ය. ඒ දහවල් 1.45ට පමණය.

ගම්පහ යනු ශ්‍රී ලංකාවේ කාර්යබහුල නගරවලින් ප‍්‍රමුඛ වූවකි. ඉහත කී ලීසිං සහ රන් බඩු උකස් ආයතන ශාඛාව පිහිටියේ සෙනග වැඩි පුර ගැවසෙන ස්ථානයක ය. එදින එහි කළමනාකරු සහ තවත් සේවකයකු සේවයට වාර්තා කර තිබුණේ නැත. වැඩ බැලූවේ සහකාර කළමනාකරු විසිනි.

සුපිරි මෝටර් රියකින් පැමිණි බව කියන ගනුදෙනුකරුවකු එම ආයතනය ඇතුළට ගියේ ගනුදෙනුවක් කතා කර ගැනීමට යන බව පෙන්වමිනි. ඔහු ගැන කිසිවකු සැක නොසිතන්නට ඇත. ඒ ඔහුගේ හැසිරීම සැකයකට තුඩු නුදුන් නිසා විය හැකිය. ඔහු කෙලින්ම ගියේ සහකාර කළමනාකරු අසලට ය. ඒ ගනුදෙනුවක් ගැන කතා කිරීමට මෙන්ය. වැඩි වේලාවක් ගත වූයේ නැත. විනාඩියකටත් අඩු කාලයක දී තවත් හතර දෙනකු ආයතනය තුළට පැමිණියේ අවි අතැතිවය. සහකාර කළමනාකරු ළඟ සිටි පුද්ගලයා ද ඉනේ සඟවාගෙන සිටි පිස්තෝලය එළියට ගත්තේය.

‘දැඟලූවොත් තොපි ඔක්කොම වෙඩි තියා මරා දමනවා’ එක් කොල්ලකරුවකු කීය. ඒ වන විට ආයතනයේ සේවකයන් හත් දෙනෙක සහ තවත් ගනුදෙනුකරුවෙක් එහි වූහ. සිදුවන්නේ කුමක්දැයි ඔවුහු බයෙන් භීරාන්ත වූහ.

සියලූ දෙනාගේම ජංගම දුරකතන ඔවුන් භාරයට ගැණිනි. සේප්පුවල යතුරු ඇති තැන් දැනගෙන සේවකයන් සියලූ දෙනා ඇතුළේ වූ කාමරයකට දමා දොරගුළු දැමූ කොල්ලකරුවෝ සේප්පු දෙකක තිබූ දේපල පැහැර ගත්හ. පැහැරගත් රන් ආභාරණ පැකට් ගණන 186කි. එහි උකස් වටිනාකම රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ අසූ දහස් හයසියයකි. රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑ නව දහස් අටසියයක මුදලක් ද කොල්ලකරුවෝ පැහැර ගත්හ. දේපල පැහැරගත් කොල්ලකරුවෝ වාහනයකින් පැන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඒ සැණින් පොලිසියට තොරතුරු ලැබුණේය. ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරි විජිත ඞී. කොමසාරු, ගම්පහ පොලිස් අධිකාරි , රංජිත් මාසිංහ, ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඩබ්ලිව්.එම්.එස් රාජකරුණා යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීහු එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ඇරැඹූහ.

ඇඟිලි සලකුණු සහ පොලිස් සොකෝ නිලධාරීහු ද සවස් වන විට එම ස්ථානයට ආහ. පොලිසියට හොඳ සාක්කියක් ලැබුණේය. ඒ සී.සී.ටී.වී කැමරා දර්ශනය. එම දර්ශනවල සැකකරුවන්ගේ සේයාරූ හොඳින් සටහන්ව තිබිණි. සැකකරුවන් කිසිදු බියක් සැකක් නැතිව ආයතනයට ඇතුළු වනු සහ අවි පෙන්වා සොරකම් කරන ඇයුරු එහි සටහන්ව තිබිණි.

සොරකම සඳහා ගතවී ඇත්තේ විනාඩි අටකටත් වඩා අඩු කාලයකි. ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට අමතරව තවත් කණ්ඩායම් දෙකක් මේ කොල්ලයේ පරීක්ෂණ සිදුකරති. ඒ පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය සහ පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයයි.

පොලිසිය සැකකටයුතු කාරණා කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි. හැකි ඉක්මනින්ම මේ කොල්ලයේ සුලමුල හෙළිකර ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය සැකකරයි. ප‍්‍රසිද්ධියේ සිදු වූ අපරාධ ගැන පසුගිය කාලයේ කොතෙකුත් අසන්නට දකින්නට ලැබුණි. මීට වසරකට පෙර ගම්පහ කප්රුක හිමිකරු ලැරික් සමන් රාජපක්‍ෂ කපා කොටා ඝාතනය කැරුණේ ගම්පහ නගර මධ්‍යයේදීය.

ඒකල ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හල් ප‍්‍රධානියෙකු සිය දියණියගේ විවාහ මංගලෝත්සවයට බැංකුවෙන් ගෙන ආ මුදල් ආයතනය අසල දී කොල්ලකෑවේ මීට මාස දෙකකට පමණ උඩදීය. ඒ සිද්ධියෙන් සති දෙකක් යන්නටත් මත්තෙන් එම ප‍්‍රධනියා මියගියේ හදිසි හෘදයාබාධයකිනි.

පසුගිය සතියේ පානදුරේ ස්වර්ණාභරණ හලක් කොල්ලකෑ බවට පොලිසියට පැමිණිලි ලැබිණි. ඒ ගැන විමර්ශන ඇරැඹූ පොලිසියට අනාවරණය වූයේ එය ව්‍යාජ පැමිණිල්ලක් බවයි. ස්වර්ණාභරණ අලෙවිහළ හිමි පවුලේ සාමාජිකයකු විසින් සැලසුම් සහගතව එය කර ඇතැයි පොලිිසිය සොයා ගත්තේය.

ගම්පහ පොලිසිය ගැන තවත් යමක් සඳහන් කළ යුතුමය. එහි දක්ෂ නිලධාරීහු සිටිති. නමුත් නිලධාරි හිඟයක් ද ඇති බව රහසක් නොවේ. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි. මේ සිද්ධියත් සමග පොලිසිය කල්පනා කළ යුතු තවත් කාරණයක් ඇත. ඒ නගර මධ්‍යයේ පිහිටි මූලස්ථාන පොලිසිය නගරයෙන් පිටතට ගෙන ගියාක් මෙන්ම නගරයේ ආරක්ෂාවට සරිලන ලෙස එහි නිලධාරීන් වැඩි කිරීමයි.

හයසියයක් පමණ සිටිය යුතු පොලිසියක තුන්සියයක් පමණ සිටීමෙන් දෙතුන් දෙනාගේ වැඩ එක් නිලධාරියකුට කරන්නට සිදුවීම ගැන පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ අවධානයට මේ මොහොතේ හෝ යොමු වෙතියි අපි සිතමු.

 

කොල්ලකරුවන් රන්බඩු රැගෙන යන අන්දම සීසිටීවී කැමරාවේ දිස්වන අයුරු මෙම ඡායාරූප වලින් දැක්වේ


 

 

ගම්පහ පෞද්ගලික ලීසිං ආයතනයේ කොල්ලය සම්බන්ධයෙන් සිකුරාදා (23) උදෑසන සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුවකු නෙළුව ප‍්‍රදේශයේ සිටින බවට ලද තොරතුරකට අනුව නෙළුව පොලීසියට සිද්ධිය දන්වා ඇත. ඉන් අනතුරුව නෙළුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. එම සැකකරුගේ රුව සහ ලීසිං ආයතනයේ සී.සී.ටී.වී ආරක්ෂක කැමරා දර්ශනවල සඳහන්ව තිබූ රුව සමාන යැයි පොලිසිය කියයි.

ගම්පහ කොට්ඨාස බාර පොලිස් අධිකාරි විජිත ඩි කොමසාරු මහතාට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගම්පහ රෝහල අසල පෞද්ගලික ලීසින් සමාගමක ශාඛාවක රන් ආභරණ සහ මුදල් පැහැර ගැනීමට සම්බන්ධ කොල්ලකරුවන් ගැන සාර්ථක තොරතුරක් ලබාදෙන පුද්ගලයකුට රුපියල් දස ලක්ෂය දක්වා මුදල් ත්‍යාගයක් පිරිනමන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

කොල්ලකරුවන් ගැන තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය සුරකින බවද සිරිවර්ධන මහතා පවසයි.
තොරතුරු ලබාදිය හැකි දුරකතන අංක මෙසේය.

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති - 0777 923922 සහ 011 2911197
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරි - 077 4784646 සහ 033 2222228
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති - 077 3917092 සහ 011 2947780
 

 

තරිඳු ජයවර්ධන