ගිලෙන නැවකට පනින මෝඩයන් එජාපයේ නෑ


ළඟ එන පළාත් සභා ඡන්දය, එජාප අභ්‍යන්තරය හා කාලීන දේශපාලනය ගැන කොළඹ දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක දැක්වූ මතවාදයයි මේ.
 ප‍්‍රශ්නය:- එජාපය තුළ තිබූ ගැටලූ දැන් බොහෝ දුරට සමනයවී ඇති බව කියතත් ඇතැම් ජනමාධ්‍ය දෙස බැලීමේදී පෙනෙන්නේ ගැටලූව තවත් උග‍්‍රවී ඇති බවයි. මැතිවරණයක් මැද එජාපය අභ්‍යන්තරයේ අද තත්ත්වය කෙබඳුද? පිළිතුර:- ඇත්තටම එජාපයේ ඇතුළේ දැන් ප‍්‍රශ්නයක් නැහැ. ඒත් ඔබ කී පරිදි රාජ්‍ය මාධ්‍ය හා පුවත් පතකට නම් එජාපය තුළ හුඟක් ප‍්‍රශ්න තිබෙන හැඩයි. මේ අය ඡන්ද කාලෙට එජාපයට පුදුම ආදරයක් තියෙන්නේ. ඡන්ද කාලෙ නෙවෙයි හැමදාම ඇති දේ නැති කරලා, නැතිදේ ඇති කිරීමයි පෙන්වන්නේ. සත්‍ය වාර්තා කිරීමයි මාධ්‍යයක වගකීම වෙන්නේ. ඒත් ජනතාව මෝඩ නෑ. ආණ්ඩුව වගේම මේ ඇතැම් ජනමාධ්‍ය කරන ජනතා නොමග යැවීම ගැන ජනතාවට හොඳ අවබෝධයක් තියෙන නිසා ඔවුන් ජනමාධ්‍යවල ලණු කන්නෙ නෑ.   ප‍්‍රශ්නය:- විපක්ෂය මේ ආණ්ඩුවට විශාල චෝදනා එල්ල කරනවා. ජීවන බර අධික වීම, විරැකියාව ඉහළ යෑම, රට තුළ නීතියේ ස්වාධීන බව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස නෑ. හොරකම් ළමා අපචාර වලටත් ආණ්ඩුව සම්බන්ධයි කිව්වත් ආණ්ඩුව බය නැතුව මැතිවරණවලට යනවා නේද? පිළිතුර:- ආණ්ඩුවට දැන් හොඳටම දැනිල තියෙනවා තමන් ජනතාවට තිත්තයි කියලා. ඒක මකාගන්න ඡන්දය හොඳින් හෝ නරකින් සියලූ බලය දාලා දිනන්නයි බලන්නේ. මෙයාල රටට කියන්නේ ජනාධිපති, ආණ්ඩුව, පළාත් සභා, පළාත් පාලන ඔක්කොම අපේ නිසා මේ ඡන්දත් දිනවල දෙන්න කියලයි. ජනතාව දැන් හිතන්න  ඕනෑ ආණ්ඩුවේ මේ ලණු තවත් කනවද මේ වළෙන් ගොඩ ඇවිත් දුදරු වන්ගේ අනාගතය සැපවත් කරනවද කියලයි. ජනතාව පෙළෙන ආර්ථික විරැකියා ප‍්‍රශ්නවලින් ඔවුන් ගලවා ගත හැකි රට සංවර්ධනය කළ හැකි එකම පක්ෂය එජාපයයි. රාජපක්ෂ ආණ්ඩුව ජනතාව රටටාගෙන එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් දඩයම් කරන්නයි බලන්නේ. රට තුළ ගිලිහෙන බලය රඳවා ගැනීමයි, ජනතාව ආණ්ඩුව එක්ක බව ලෝකයට පෙන්වීම ඒ දඩයම් දෙකයි. ඒත් ජනතාව මෙවර රැවටෙන්නෙ නෑ. කොට්ටෝරුවා ගහෙන් ගහට ඇන ඇන ගියත් කෙසෙල් ගහට ඇන්නම හොට පැටලෙනවා. ආණ්ඩුවට මේ පාර වෙන්නෙ ඒකයි.   ප‍්‍රශ්නය:- එජාපය තුළ අභ්‍යන්තර ගැටුම් දැන් අවසන් බව ඔබ කිව්වත් තවත් එජාප පිරිසක් ආණ්ඩුවට යන්නේ කවර පදනමකින්ද? පිළිතුර:- ආණ්ඩුව පරදින ඡන්දවලට බයෙන් නැව ගිලෙන්න කලින් අපෙන් දෙතුන් දෙනෙක් තනතුරු වරප‍්‍රසාද දීලා ලාබෙට බිලීබාල ජනතාව නොමග යවලා ඡන්ද දිනන්න හැදුවත් මේ පාර ඒක හරියන්නෙ නෑ. ගිලෙන නැවකට පනින මෝඩයො එජාපයේ නෑ. එජාපයේ ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ චරිත ඝාතන කරන වෑයමක් ආණ්ඩුව මේ කරන්නේ. යමෙක් පැන්නොත් එහෙම කරන්නේ තමන්ගෙ දුෂණ වහගන්නයි.

ආණ්ඩුවේ ලණු කනවද?

වළෙන් ගොඩට එනවද?

ජනතාව තීන්දු කළ යුතුයි


කොළඹ දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී රවි කරුණානායක


ප‍්‍රශ්නය:- උතුරු පළාත් සභා ඡන්දය පවත්වන්නේ නැතුව වසර 1 1/2 කට පෙර මේ ඡන්ද තුන පැවැත්වීම ගැන එජාපය ප‍්‍රශ්න කරනවා. ඉතා සංකීර්ණ හා තීරණාත්මක නැගෙනහිර පළාතේ එජාපය ඡන්ද සටන මෙහෙයවන්නේ ඔබයි. ඊට අදාළ ඔබේ දැක්ම කෙබඳුද? පිළිතුර:- 2013 මැද තිබිය යුතු නැගෙනහිර ඡන්දයයි මේ දැන් පවත්වන්න හදන්නේ. උතුරේ ඡන්දය තියන්නේ නැත්තේ ඇයි කියලයි අපි අහන්නේ. නැගෙනහිර දිස්ත‍්‍රික් තුනටම එජාපය ඉතා හොඳ අපේක්ෂක කණ්ඩායම් දාලා තනිවම තරග කරන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතියකම අය අපේ ලිස්ට් එකේ ඉන්නවා. ජනතාවගේ දුක වේදනාව හා ඔවුන් පෙළෙන ප‍්‍රශ්න අපට පේනවා. ඒවා සමනය කළ හැකි එකම පක්ෂය එජාපය බව නැගෙනහිර ජනතාවගේ පිළිගැනීමයි. එජාපය කියන්නේ වැඩ කරල පෙන්නපු පිරිසක්. මේ ආණ්ඩුවට පුළුවන් කයිවාරු විතරයි. ඞී.ඇස්. මැතිතුමා නිදහස ලබාගත්තේ සියලූ ජාතීන්ට එකට ජීවත්වෙන්නයි. ඒත් දැන් සුළු ජාතීන් නෙවෙයි මහ ජාතියත් අනාථ කරල තියෙන්නේ. ඒ නිසා නැගෙනහිර ඡන්දය ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්නාවි. ආණ්ඩුවේ පක්ෂ 14 ක් ඉන්නවා. කොමියුනිස්ට්, සම සමාජ, වීරවංශ හා තොණ්ඩමන්ගේ පක්ෂ වගේම නැගෙනහිරදී හකීම්ලගෙ මුස්ලිම් කොංග‍්‍රසයත්, හෙළ උරුමයත් මේ ඡන්දයේදී ආණ්ඩුව එක්ක නෑ. ආණ්ඩුව දැන් කැඳ හැලියක් වෙලා. මේ අය රෑට ආණ්ඩුව එක්ක නිදාගත්තට උදේට ආණ්ඩුවෙන් එළියට ඇවිත් බනිනවා. හකීම්ගෙ ඇඟ ආණ්ඩුව ඇතුලෙ. ඔළුව එළියේ. ජනතාවට ජීවන වියදම දරාගන්න බැරි නිසා අපි ඡන්දවලට එන්නෙ නැති බවයි හෙළ උරුමය කියල තියෙන්නේ. ආණ්ඩුවේ දෙදරීම මේ පේන්නේ. ගිලෙන නැවකට ජනතාවත් පනින්නෙ නෑ. අද සියලූ ජාතීන්ගේ සහාය ලැබෙන එකම පක්ෂය එජාපයයි. මුස්ලිම් කොංග‍්‍රසය එජාපය එක්ක මහ මැතිවරණය තරග කරල දිනලා ආණ්ඩුවට හේත්තු වෙලා ඇමැතිකම් ගත්තා. රටට ජනතාවට කරපු දෙයක් නෑ. රට පුරා මුස්ලිම් පල්ලි කැඩුවා. හකීම්ල අහක බලාගත්තා. එයා අධිකරණ ඇමැති. මුස්ලිම් ඇමැතිකෙනෙක් උසාවියට ප‍්‍රහාර එල්ල කරලා විනිශ්චයකරුවන්ට තීන්දු දෙන හැටි ගැන තර්ජන කලා කියලා චෝදනාවක් ආවා. හකීම් සද්ද නෑ. මුස්ලිම්වරු මේවායි දැන් හිතන්නේ. හකීම් මුස්ලිම්වරු රවටලා ඡුන්ද අරන් ඒවා ආණ්ඩුවට උගස් කරනවාට ඒ ජනතාව විරුද්ධයි. අපේ නායකයා කිව්වා වගේ තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා. ජනතාව මේ පාර ඒකට ඉඩ තියන්නෙ නෑ.   ප‍්‍රශ්නය:- ආණ්ඩුවේ බලය සම්පත් ජනමාධ්‍ය පාතාලය ආදී සියල්ල මේ ඡන්දවලට දැම්මොත් එජාපය ඒ අභියෝගය බාර ගන්නෙ කොහොමද? පිළිතුර:- මේ ආණ්ඩුව හැමදාම ඔය පහත් වැඬේ කලා. ජනතාව හිතන්න  ඕනෑ තමන් හා දු දරුවන්ගේ දුකින් මිදෙනවාද එය දිගටම පවත්වාගෙන යනවාද කියලයි. එජාපයට ජනතාව නොමග යවන ජනමාධ්‍ය හොරණෑ ඇත්තෙත් නැති නිසා එජාපය පෙන්වා දෙන දේ හිතට අරන් බුද්ධිමත්ව ක‍්‍රියා කිරීම ජනතා වගකීමයි. එහෙම කළාම ආණ්ඩුවේ බලය, පාතාලයට කරන්න පුළුවන් බම්බුවක් නෑ. එජාපය රට හදනවා. මේ අය රට කනවා. අප අතර වෙනස ඒකයි. 2001 දී එජාපය බාරගත්තෙ ඍණ 1.6% ක බංකොලොත් රටක්. අපි ඒක ගොඩ ගත්තා. 2005 ඉඳලා ආපහු රට බංකොලොත් හා ණය කරන ගමනක් මේ ආණ්ඩුව යන්නේ. නිදහස ලැබූදා ඉඳලා ශ්‍රීලනිප ආණ්ඩු කලේ එජාපය දියුණු කළ රට හා ආර්ථිකය කඩා වැට්ටවීමයි.   ප‍්‍රශ්නය:- ආණ්ඩුව කියන්නේ කන්න නැතුව ජනතාව මැරිල නැති නිසාත් තමන් රට පුරා විශාල සංවර්ධනයක් කරන නිසාත් විපක්ෂය කියන ප‍්‍රශ්නයක් රට තුළ නැති බව නේද? පිළිතුර:- අද මේ ආණ්ඩුව කරන බොහෝ දේ එජාපය හෝ චන්ද්‍රිකා-මංගලලා පටන් ගත් දේවලූයි. විදුලිය දියුණු කළාලූ. එහෙම නම් කපන්නෙ ඇයි. විදුලි මණ්ඩලයේ අධික ලාභ තැනට ගෙනාවා කියපු ඇමැති දැන් කියනවා දිනකට කෝටි 06 ක් පාඩුලූ. වරායක් හැදුවා. මාස 02 කට විතර නැවක් එන්නේ. වරාය හදන්න ගත්ත ණය ගෙවන්න ඒකෙන් පුළුවන්ද? ගුවන් තොටුපොළවල් හදන්න කියලා ජනතාව කියන්නේ නෑ. අපේ ප‍්‍රශ්න විසඳන්න කියලයි ඔවුන් ඉල්ලන්නේ. මේ වගේ ව්‍යාජ සංවර්ධනයක් කරන්නේ රටට ආදරේටද? තමන්ගේ සාක්කුවට ආදරේටද? යුද්ධ කාලේ රු. 65 ට තිබුණු සීනි අද 110 යි. 35 ට තිබුණු පාන් අද 55 යි. ස්ත‍්‍රියකට, ළදැරියකට අද පාරේ යන්න බෑ. ආණ්ඩුවේ දේශපාලකයෝ අතවර කරනවා. වැරදි කරන අය රැකීම මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය නිසයි ආණ්ඩුවේ ඉහළ සිට පහළ දක්වා අය මේ වගේ හැසිරෙන්නේ. ඉන්දියාව ඇතුළු ලෝකය අද ලංකාවට විරුද්ධව නැගී සිටිනවා. ලංකාවට ලැබෙන ආධාර හා දීමනා මේ ආණ්ඩුව රටට අහිමිකර තිබෙනවා. අද නියඟය කියලා ගොවීන්ට වතුර නොදී ඉන්න හදන්නේ. කලා වැවේ වතුර නැතත් සෙසු වැව්වල වතුර තිබෙනවා. කලාවැව තාවුල්ලේ ආණ්ඩුවේ දේශපාලකයන් විවිධ ඉදිකිරීම් සඳහා ජලය හිස් කිරීම හා මේ ආණ්ඩුවට ජල කළමනාකරණය නොතේරීම මේ ජල ගැටලූවට හේතුවයි. වී වලට රු. 30 ක සහතික මිලක් දෙනවා කීවාට රු. 18-20 ට වඩා වී විකුණා ගන්න බෑ. නියං සහන පවුලකට රු. ලක්ෂය බැගින් දෙනවා කියලා ආණ්ඩුව දැන් ඒක කර අරිනවා. ඒනිසා මහ පොළොවේ පස් කන්න  ඕන නම් දු දරුවන්ට අනාගතයක් නැති කරන්න නම් යළිත් මේ බොරු කාරයන් දිනවන්න. යුද්ධය ඉවර වෙලා වසර 04 කට ආසන්නයි. ඒත් සාමයේ ප‍්‍රතිලාභ ජනතාවට දීලා නෑ. යුද වියදම අදත් ඒ විදියමයි. යුද්ධය ඉවර වුණාම දෙන බව කී සහන ජනතාවට දෙන්නෙ නෑ. ලෝක වෙළෙඳ පොළේ පෙට්රල්, ගෑස් මිල 50% කින් අඩුවෙලා. ඒ වාසියවත් ජනතාවට දෙන්නෙ නෑ. රු. 72 කට ලංකාවට පෙට්රල් ලීටයක් ගේන්නේ. ජනතාවට විකුණන්නේ රු. 150 කටයි. මේක ආණ්ඩුවක් නොවෙයි කළු කඩයක්. ගිය ජනපතිවරණ වෙලාවේත් අද වගේම බඩු මිල සොච්චමක් අඩු කරලා ඡන්ද දිනුවාම තිබුණාටත් වඩා වැඩි කළා. ජනතාව ඒකත් මතක තියාගන්න  ඕනෑ. ඡන්ද කාලෙට ආණ්ඩුව ජනතාවට බොලිවුඞ් ෆිල්ම් එකක් පෙන්නලා අන්දලා සුරංගනා ලෝකය වෙත ගෙනියනවා. චිත‍්‍රපටය ඉවර වුණාම එනම් ඡුන්දය ඉවර වුණාම හිටපු වළේම තවත් පතුලට වැටිලා බව ජනතාවට තේරුම් යනකොට පෙරහැර ගිහින්. විධායක ජනපතිකම අහෝසි කරන්න ආවේ. ඒත් 17 අහෝසි කරලා 18 ගෙනැත් දිවි ඇතිතෙක් බලයේ ඉන්නයි හීන දකින්නේ. කැබිනට් එක 25 ට අඩු කරනවා කීවා. අද ඇමැතිවරු දුසිම් කීයක් ඉන්නවද? ජනතාවට දුන් ආර්ථික පොරොන්දු, රු. 2500 පඩි වැඩිවීම, පෝෂණ මල්ල කෝ?.   ප‍්‍රශ්නය:- එජාප විග‍්‍රහය අනුව අද මේ රටේ ආර්ථිකය බිඳ වැටිලා. විදේශ සංචිත පිරිහිලා. රුපියල බිංදුවට බාල්දු වෙලා. රට පරම්පරා ගණනකට උගස් කරලා ණය අරන් කිව්වත් ජනතාව මේවා ගණන් ගන්නවාද? පිළිතුර:- ඉස්සරහට වඩා නම් ජනතාවට මේ ආණ්ඩුවේ බොරු ආර්ථික කෙරුවාව තේරෙනවා. 08% ක ආර්ථික වර්ධනයක් තියෙනවලූ. ඩොලර් 2700 ක ඒක පුද්ගල ආදායමක් තියෙනවලූ. මේවා ඇත්ත නම් ජනතාවට ඒ වාසිය නොදැනෙන්නෙ ඇයි. එහෙම නම් මේ රටේ හැම පුරවැසියෙකුටම රු. 26,000 ක් ලැබෙන්න  ඕනෑ. ස්ථිර රැකියාවක් කරන පොලිස් කොස්තාපල් කෙනෙකුටත් සියලූ දීමනා එක්ක රු. 21,000 යි ලැබෙන්නේ. එතකොට රැකියා නැති අයගේ ඉරණම හිතල බලන්න. සමෘද්ධි අය 51% ක් ඉන්නවා. ඔවුන් ගැන හිතල බලන්න. රටේ ආර්ථිකය අනලා තියෙන්නේ. එදා මේ ආණ්ඩුවේ හෙජින් ජාවාරමට එරෙහිව මමයි තිනියාවල පාලිත හිමියි උසාවි ගියා. ආණ්ඩුව ඒ උසාවි තීන්දුවලට පයින් ගහල වැඩ කලා. අන්තිමේ මොකද වුණේ. රටේ ජනතාවගේ මුදලින් රු. කෝටි 2850 ක් ගෙවන්න ලන්ඩන් අධිකරණය නියම කරලා තියෙන්නේ. ඒ මදිවාට සක්විති ළඟ සල්ලි දැම්මා වගේ මේ ආණ්ඩුව රු. ලක්ෂ 35,000 ක් ග‍්‍රීසිය කියන බංකොළොත් රටේ ආයෝජනය කරලා ලාබ තියා මුදලත් නැතුව අත පිහදාගෙන ඉන්නේ. රටේ ජනතාව එක වේලක් කාලා මේවාට වන්දි ගෙවන කොට මේ ගනු දෙනුවලට මුල් වන අයගේ පරම්පරා හතකට අත යටින් වාසි ලැබෙනවා. එජාපය ණය අරන් රට උගස් කරනවා කියලා මේ ආණ්ඩුවේ අය එදා විපක්ෂයේ ඉඳන් මැරෙන්න හැදුවා. එජාපය ණය අරන් මහවැලිය, කෝට්ටේ පාර්ලිමේන්තුව, වෙළෙඳ කලාප හැදුවා. ගාල්ල අධිවේගී මාර්ගයට මුල් වුණෙත් එජාපයයි. ඒත් මේ අය ණය අරන් කලේ ඒවා විනාශ කිරීමයි. 1948 නිදහස ලැබූදා ඉඳලා 2005 දක්වා පැවැති සියලූ ආණ්ඩු ණය ගත්තේ රු. බිලියන 1784 යි. 2005 සිට මේ වසරේ ජුනි දක්වා රු. බිලියන 4166 ක් මේ ආණ්ඩුව ණය අරන් රට විකුණලා තියෙන්නේ. ණය ගෙවන්න ණය ගන්නා අඩියකට ආණ්ඩුව වැටිලා ඉන්නේ. ජනතාව මේවා තේරුම් අරන් ඡන්දය දෙන්න. ගිය අවුරුද්දේ රු. 1000 කින් ගත්ත භාණ්ඩ මේ වසරේදී ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ආර්ථිකය දියුණු වෙලා නැහැ. ඇත්ත ඒකයි.   ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුව යටතේ මීට පෙරත් බාල ඞීසල්, පෙට්රල් ආනයනය කර වාහන විශාල සංඛ්‍යාවකට ආපදා ගෙනාවා. මෙවරත් ”බ්ලැක් ලිස්ට්” වූ සිංගප්පූරු සමාගමෙන්ම ඞීසල් ගෙනාවේ කවුද? බස්, වෑන්, කාර්, බෝට්ටු දහස් ගණනකට මෙවර ආපදා සිදුවීම ගැන එජාප විග‍්‍රහය කුමක්ද? පිළිතුර:- මේ ආණ්ඩුව හතර වැනි වතාවටයි මේ පහත් බාල ඉන්ධන ගෙනැත් ජනතාව හා රටේ මුදල් විනාශ කලේ. වැරදි කරන කාටවත් දඬුවම් නොදීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය නිසයි එකම වැරැද්ද කීප වරක් වෙන්නේ. හැම අවස්ථාවකම නිලධාරියෙක් පිට වරද පටවලා ආණ්ඩුවේ දේශපාලකයො ඇඟ බේරාගන්නවා. මේ පාරවත් බාල ඉන්ධන ගෙනාපු, ඉන් කොමිස් ගහපු අයට දඬුවම් නොදුන්නොත් රට කොහාටද යන්නේ. මේ ආණ්ඩුවේ ඊළඟ බොරුව මැතිවරණයක් ළඟදී ලංකාවට තෙල් ලැබෙන කතාවයි. ගිය ජනපතිවරණ කාලේ මන්නාරමෙන් තෙල් ලැබුණා කිව්වා. කොළඹ නගර සභා ඡන්ද කාලේ කිව්වේ ලංකාවට ගෑස් ලැබුණා කියලයි. 1977ට ඡන්ද ආසන්න කාලේ මැතිනියටත් පේසාලේ තෙල් ලැබුණා. පුදුම වැඩක්. ශ්‍රීලනිප අයට තෙල් හම්බ වෙන්නේ ඡන්ද කාලෙට විතරයි. ජනතාව මේ බොරුකාරයන්ට රැවටෙනවාද නැත්නම් රටේ ආර්ථිකය හදන්න පුළුවන්. ජනතා අත මිට සරු කළ හැකි, රැකියා උත්පාදනය කළ හැකි, විදෙස් ආයෝජන මෙන්ම ආධාර උපකාර ගෙන ආ හැකි, ලෝකයේ උපකාර ලැබිය හැකි එජාපය බලයට පත් කරන්න මේ ඡන්දයේදී පදනම දමනවාද කියලා තීන්දු කරන්න. නැගෙනහිරට ”දැයට කිරුළ” හරහා රු. දශලක්ෂ 27,000 ක් වැය කරන්න යනවා. ඒත් ගිය පාර අනුරාධපුරේ ”දැයට කිරුළ”ට රු. දසලක්ෂ 22,000 ක් වැය කළා. ජනතාවට කිසිම දෙයක් නෑ. අද එතන හිස් ඉඩම විතරයි. නැගෙනහිරටත් ඒ ආනිසංසයම තමයි. ජනතාව මෙවර මේවා තේරුම් ගන්නවාට සැක නැහැ.
සංවාද මෙහෙවර - අශෝක ජයතුංග