‘‘අප කන හැටි ළිපා දනී’’ යැයි පුරාණයේ දී කීවේ එතරම් ගැඹුරු අදහසකින් නොව නිකමට මෙන්ය. එහෙත් එම කියමනේ අරුත මේ මොහොත වනවිට රටේ පොදු මහජනයාට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානයෙන්ම අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබී තිබේ. ඒ සාරවත් පසකින් හෙබි කෘෂිකාර්මික රටක් ලෙස හැඳින්වෙන අප රටේ එළවළු මිල ගණන් නිසාය.
‘‘රත්‍රං’’ කැරට්වලින් මනින්නේ ඇයිදැයි ජනතාවට ඉස්තේරුවෙන්ම තේරුම් ගත හැකි පරිදි කැරට් මිල ඉහළ ගොස් තිබේ. මීට දින දෙක තුනකට ඉහතදී පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කැරට් කිලෝව රුපියල් 2100කි. ‘‘කැරට් වනාහි අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ යැයි යමකුට තර්කයක් මතු කළ හැකිය. එහෙත් තමන් කැමති කෑමක් අනුභව කිරීමේ හිමිකම රටේ පොදු මහජනයාට හිමිවිය යුතුය. එය වූ කලී කැමති ආගමක් ඇදහීමේ අයිතිය කැමැති භාෂාක් කතා කිරීමේ අයිතිය මෙන්ම කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතිය මෙන්ම අනුල්ලංඝණීය මූලික මානව අයිතියකි. එහෙත් කැමැති කෑමක් අනුභව කිරීමේ අයිතිය අද ජනතාවගෙන් උදුරාගෙන තිබේ. එහෙත් එම අයිතිය රටේ මූලික නීතිය හා ඈදුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නැත. ඒ ‘‘මෙහෙම රටක්’’ මේ සම්මජ්ජාතියේවත් පහළවනු ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් නොසිතුව නිසා විය හැකිය.
අප රටේ ජනතාව තරම් ‘‘මානව ආඥාවකට’’ ලක්වූ ජනතාවක් ලොව වෙනත් රටක නොමැති විය යුතුය. හතර පස් වසරක් පුරා මෙරට ජනයා නිමක් නැති පීඩාවලට ගොදුරුවී සිටිති. ආර්ථික අර්බුදය දිනෙන් දින තීව්‍රවූවා විනා සමහන් වන බවක් පෙනෙන්නට නැත. සාතිශය බහුතරයක් ජනයාගේ ආදායම එකම තැනක රැඳී තිබේ. ඇතැමකුගේ තිබුණු ආදායම අහිමිව ගොස් තිබේ. එහෙත් වියදම හත් අට ගුණයකින් ඉහළ ගොස් තිබේ. ඉකුත් සති අන්තය වනවිට එළවළු මිල ගණන්වලින් ඒ බව මනාව පැහැදිලි වේ.
අප පුවත්පත වාර්තා කළ පරිදි ඉකුත්දා කොළඹ, පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ එළවළු මිල මෙසේය. බෝංචි කිලෝව රුපියල් 1100කි. ගෝවා කිලෝව රුපියල් 750කි. තක්කාලි කිලෝව රුපියල් 400කි. බටු කිලෝව රුපියල් 800කි. අමු මිරිස් කිලෝව 1100කි. රතුලූනු කිලෝව රුපියල් 500කි. විදේශීය ලොකු ලූනු කිලෝව රුපියල් 430කි.
එළවළු මිල අහස උසට නැගීම නිසා දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන පාළුවට ගොස් තිබූ බව අප පුවත්පත වාර්තා කළේය. ඒ පාරිභෝගිකයන් නොපැමිණීම නිසාය. අඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙඳුන්ගේ පැමිණීම සියයට 75කින් අඩු වී ඇති බව අප පුවත්පත වාර්තාකර තිබිණි.
රටකට මෙසේ පැවතිය හැකිදැයි යන්න අතුරු ප්‍රශ්නයක් නොව ඍජු ප්‍රශ්නයකි. ආර්ථික වශයෙන් හෙම්බත්ව සිටින ජනයාට මේසා මිලක් වැයකර එළවළු මිලදී ගත හැකිද යන ප්‍රශ්නය ද මග හැර යා නොහැක. තට්ටු නිවාසවල ජීවත්වන ජනයා මෙන්ම ‘වතු’ නමින් හැඳින්වෙන ජනපදවල ජීවත්වන ජනයාට එළවළුවක් වගා කර ගැනීම දුෂ්කරය. එමෙන්ම නේවාසිකාගාරවල උයාපිහාගෙන වේල සරි කරගන්නා පිරිස් ද අති විශාලය. මෙම ජනයා වේලෙන් වේලට අලුත්වන බඩගින්න නිවා ගන්නේ කෙසේද යන්න ‘‘කනවා හෝ ලෙවකන ජනයා’ පවා සිතිය යුතු ප්‍රශ්නයකි.
එළවළු මිල ඉහළ යාමට අයහපත් කාලගුණික තත්වය ද හේතු විය. එමෙන්ම කූට වෙළෙඳුන්ගේ මෙන්ම මජර අතරමැදියන්ගේ ජාවාරම් ද හේතු වී තිබේ. හේතුව කුමක් වුවත් එයින් පීඩාවට පත්ව සිටින ජනයා එම පීඩාවෙන් මුදාගනු පිණිස ක්ෂණික මැදිහත්වීමක් බලධාරීන් කළ යුතුමය. රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ එයටය.
(***)