ජවිපෙ එදා - මෙදා ඇසින්


හරියටම වසරකට පෙර 2023 පෙරබවාරි මාසයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණ 1980 ගණන්වල සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ධනපති දේපළ පවරා ගැනීම ගැන කර තිබූ සඳහනක් සිහිපත් කරමින් එම පෙරමුණ විවේචනය කළේය.

ඊට පිළිතුරු දුන් ජවිපෙ හා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලෝකය දේශපාලන ධ්‍රැව දෙකකට බෙදි තිබු කාලයේ ප්‍රකාශයට පත් කළ ප්‍රකාශනයක එල්ලෙන්නේ නැතිව යාවත්කාලීන වන්නැයි ප්‍රේමදාස මහතාට කීවේය.

දිසානායක මහතා ඇතුළු ජාතික ජනබලවේගයේ නායකයන් ඉකුත් 5 වැනිදා ආරම්භ කළ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලනඥයන්ට ඔහු ඒ ආකාරයෙන්ම පිළිතුරු දෙන්නට ඉඩ තිබේ. ඒ ඔවුන් ජවිපෙ 1972ට පෙර ඉදිරිපත් කළ ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ අදහස මෙම දේශපාලනඥයන් සිහිපත් කරන හෙයිනි.

කෙසේ වෙතත් ජවිපෙ යනු ඉන්දියාවට එරෙහි දේශපාලන පක්ෂයක්ය යනුවෙන් ජනතාව අතර මතයක් තිබෙන බව ජවිපෙ නායකයන්ද අවබෝධ කරගත යුතුය. ඒ ජවිපෙ පළමු කැරැල්ල සමයේ පැවැති ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ මතය නිසා පමණක් නොව ඔවුන්ගේ දෙවැනි කැරැල්ලේ කොටසක් වශයෙන් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නමින් ඔවුන් එවක මෙරට සිටි ඉන්දීය හමුදාවට එරෙහිවද සන්නද්ධ ක්‍රියාමාර්ගවල නිරත වූ නිසාය.

ඒ අනුව මේ දිනවල ඉන්දීය ආණ්ඩුවේ ආරාධනාවක් අනුව ජාතික ජනබලවේගයේ නායකයන් පිරිසක් ඉන්දියාවට ගොස් එරට ඉහළම නිලධාරීන් හමුවී කලාපීය සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන විට බොහෝ දෙනකුට එම අතීත සිදුවීම් සිහිපත් වීම සාධාරණය. එහෙත් සැබෑ තත්වය නම් ජවිපෙ මුල පටන් අඛණ්ඩවම ඉන්දියාවට එරෙහි මතවාදයක සිටියේ නැත යන්නයි. එසේම වෙනත් ප්‍රධාන පක්ෂ ද අතීතයේ දී දැඩි ඉන්දීය විරෝධී මතයක සිට ඇත.

ජවිපෙ 1971 කැරැල්ලට පෙර පක්ෂයට සම්බන්ධ වන නවකයන්හට පන්ති යනුවෙන් හැඳින්වුණු දේශනා පහක් පැවැත්වීය. ඉන් දෙවැන්න වූයේ ‘‘ඉන්දියානු ව්‍යාප්ත වාදයයි’’ එහෙත් ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ මෙම මතය ජවිපෙ විසින් මුලින්ම ඉදිරිපත් කරන ලද්දක් නොවේ. මෙය 1960 ගණන්වල දී චීනය විසින් ප්‍රචලිත කරන ලද මතයකි. එවක ජවිපෙ චීන හිතවාදී පක්ෂයක් වූ හෙයින්  එම පක්ෂය ද එම මත නවක ආධාරකරුවන්ගේ දේශපාලන චින්තනය වෙනස් කිරීම සඳහා යොදා ගත්තේය.

මෙය ජාතිවාදී මතයකැයි චෝදනා එල්ලවීම නිසාත් 1971 කැරැල්ල නිසා බන්ධනාගාර ගත වූ ජවිපෙ නායකයන් මාඕවාදය වෙතින් මාඕවාදය හා ට්‍රොට්ස්කිවාදය අතර වූ මතවාදයක් වෙතට තල්ලුවීම නිසාත් ඔවුන්ගේ ‘‘පන්ති පහ’’ වෙනස් වී ඉන්දියානු ව්‍යාප්තවාදයද අහෝසි වී ගියේය. ඒ 1972දී පමණය. එහෙයින් තවමත් ජවිපෙ හා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැට ගසන්නට උත්සාහ කරන්නත් අනුර කුමාර දිසානායක මහතා කියන්නා සේ යාවත්කාලීන විය යුතුව ඇත.

‘‘ඉන්දීය සාම සාධක හමුදාව’’ ‘‘වඳුරු හමුදාව’’ යැයි නම් කරමින් දේශප්‍රේමි  ජනතා ව්‍යාපාරය  ඔවුනට පහර දීමේ කතාවේ ද වත්මන් වලංගු බව ඉතාමත් සුළුය. ජවිපෙ තම දෙවැනි කැරැල්ලට වසර තුනකට පමණ පෙර එනම් 1984දී ඉන්දියාවට හිතවත් මතවාදයක් දැරීය. ඒ ඉන්දියාව 1983  කළු ජුලියෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුවට තරවටු කරමින් සිටියදීය.

විදේශීය ජනමාධ්‍යවේදියකු සමඟ ජවිපෙ නායක රෝහණ විජේවීර මහතා කළ බව කියන සම්මුඛ  සාකච්ඡාවක පිටපතක් 1984 දී ජවිපෙ සිය හිතවතුන් අතර බෙදා හැර  තිබිණි. එකල බංග්ලාදේශය හා පාකිස්ථානය ඇමරිකාවට හිතවත් හමුදා පාලකයන් යටතේ පැවති හෙයින් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ද ඇමෙරිකාවට හිතවත් ස්ථාවරයක් ගෙන ඇමෙරිකාවට ඉන්දියාව තුන් පැත්තකින් වටලන්නට උපකාර කරන බවට එමඟින් චෝදනා කොට තිබිණි.

එහෙත් 1987 දී ඉන්දියාව ශ්‍රී ලංකාව මත ඉන්දු- ලංකා ගිවිසුම පිහිටුවීමත්, එමඟින් ජවිපෙ නොපිළිගන්නා පළාත් සභා පිහිටුවීමට මඟ පැදීමත්, ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීමත් නිසා ජවිපෙ යළිත් ඉන්දියාවට  සතුරු විය. ජවිපෙ දෙවැනි කැරැල්ලේ සන්නද්ධ ප්‍රහාර ඉන්දී හමුදා වෙතද යොමු විය.

එහෙත් එම කැරැල්ලෙන් ජවිපෙ පමණක් නොව එහි දේශපාලන මණ්ඩලයම විනාශ කෙරිණි. ඉතිරි වූ එකම දේශපාලන මණ්ඩල සභිකයා වූ සෝමවංශ අමරසිංහ මහතා ඉන්දියාව හරහා  එංගලන්තයට පලා ගියේය. එම සිද්ධියේ විශේෂත්වය නම් තමන්ට එසේ ජීවිතය බේරා ගැනීමට උපකාරී වීම සම්බන්ධයෙන් අමරසිංහ මහතා 2000 දී යළි මෙරටට පැමිණ පැවැත් වූ පළමු ප්‍රසිද්ධ රැස්වීමේදී ඉන්දීය රජයට හා 1989-90 කාලයේ ඉන්දීය අගමැතිවූ  වී.පී. සිංහට ස්තුති කිරීමය.

අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයන් ඉන්දීය නායකයන් මුණගැසී ඇත්තේ මෙවැනි පසුබිමක් යටතේය. එහෙයින් ජවිපෙ හා ඉන්දියාව අතර අතීතයේ යම් යම් කාලවල පැවැති ප්‍රතිවිරුද්ධතා අදට බලපෑ බවක් පෙනෙන්නේ නැත.

වඩාත් වැදගත් කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වසරක ඉන්දීය රජය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායකයාට ඉන්දියාවට පැමිණෙන ලෙසට ආරාධනා කිරීමත් එම සංචාරයේ දී ඉන්දියාවේ ඉහළම නිලධාරීන් ජාතික ජන බලවේගයේ නායකයන් සමග සාකච්ඡා  කිරීමත්ය. ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිෂංකර්, විදේශ ලේකම් විනායි මෝහන්, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවල් මෙසේ සාකච්ඡා පැවැත් වූ ප්‍රධාන ඉන්දීය නිලධාරීහු වූහ.

ජවිපෙට මෙම පිළිගැනීම ලැබුණේ හදිසියේම නොව පසුගිය වසර කිහිපයක සිට ගොඩනැඟුණක් ලෙසය. විශේෂයෙන්ම 2022 ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයත් ලෙස පුපුරා ගොස් මහජන නැඟීටීමක් ඇති වීමත් අවසානයේ එය දරුණු මර්දනයකට ලක්වීමත් නිසා විශාල පිරිසක් අලුත් බලවේගයක් වශයෙන් ජාතික ජනබලවේගය දෙසට යොමු වූහ. ජාතික ජනබලවේගයේ සභාපති නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියතාව පසුගිය වසර මුල සිට වර්ධනය වන්නට විය. ඒ කාලය තුළ පැවැති ජනමත සමීක්ෂණවලින් ද මේ බව තහවුරු විය.

පසුගිය වසරේ මාර්තු මාසයේ දී සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පැවැත්වූ එවැනි සමීක්ෂණයකදී පෙනී ගියේ මහ මැතිවරණයකදී ජාතික ජනබලයට සියයට 32 ජන ප්‍රසාදයකුත් සජබට සියට 31ක ජනප්‍රසාදයකුත් ලැබෙන බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එජාප  ලබා ගත්තේ සියයට 4ක ජනප්‍රසාදයකි. ඉකුත් දෙසැම්බරයේදී ජා.ජන. සියයට 39, සජබ සියයට 27, එජාප සියයට 6හා පොදුජන පෙරමුණ සියයට 10 වශයෙන් වෙනස් වී තිබිණි.

 එම මාසයේම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයේ දී අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ හා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ලබාගෙන තිබුණු ජනප්‍රසාදය වූයේ පිළිවෙළින් සියයට 50, 33, 9, 8 ක ජනප්‍රසාදයකි. මෙම සමීක්ෂණය වසර දෙකක පමණ කාලයක සිට පැවැත්වුණද මෙතෙක් කිසිවකු එහි ක්‍රමවේදයට අභියෝග කොට ද නැත.

මේ නිසා ඇතැම් ප්‍රබල රටවල් ජවිපෙ සමඟ යම් ගනුදෙනුවක් පවත්වා ගෙන යන්නට පසුගිය කාලයේ උත්සාහ ගන්නා බවක් බවක් පෙනෙන්නට තිබිණි. අරගලය පැවැති කාලයේ ජවිපෙ නායකයන් හමුවූ ඇමෙරිකානු තානාපතිනි ජුලි චං 2023 ඔක්තෝබර් 20 වැනිදා ද බත්තරමුල්ලේ පිහිටි ජවිපෙ මූලස්ථානයේ දී යළිත් ජාජබ නායකයන් හමු වී සාකච්ඡා කළාය. ඉකුත් නොවැම්බර් 17 වැනිදා හිටපු ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සිය කාර්යාලයේදී ජා.ජ.බ නායකයින් හමුවිය. ජනවාරි 19 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ද ජවිපෙ කාර්යාලයේ දී ජාජබ නියෝජිතයන් හමුවී තිබිණි. (ඔවුන් සජබ නායකයන්ද හමුවී තිබිණි.) ජනවාරි 23 වැනිදා නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ජනවාරි 31 වැනිදා ජර්මන් තානාපති ෆීලික්ස් නියුමන්ද ජා.ජබ නායකත්වය සමඟ සාකච්ඡා පැවැත්වූහ.

ජවිපෙ/ ජාජබට මෙම පිළිගැනීම ලැබෙන්නේ ඊළඟට බලයට පත්විය හැකි පක්ෂයක් ලෙස මෙම රටවල තානාපතිවරුන් එම පක්ෂය දකින නිසා විය යුතුය. මන්දයත් එම රටවලට මෙරට තුළ විවිධ ඵල ප්‍රයෝජන තිබේ. එහෙයින්  ඒවා ආරක්ෂා කර ගැනීමේ දී අනාගත ශ්‍රී ලංකාවේ නායකයන්ගේ සිතුම් පැතුම් දැන ගැනීම් හා ඔවුන් සමඟ යම් ගනුදෙනුවක් පවත්වාගෙන යාම උචිත වන හෙයිනි.

අනෙක් අතට ඉදිරි මැතිවරණවලින් තමන් බලයට පත්වනු ඇතැයි ජවිපෙ ද දැඩි ලෙස විශ්වාස කරන බව පෙනේ. එහෙයින් අතීතයේ දී කැරලිකාරී සංවිධානයක් වශයෙන් හා පසුව බලයට පත්වීමේ සම්භාවිතාවක් නැති පක්ෂයක් වශයෙන් කෙසේ හැසුරුණ ද දැන් තමන්ට එසේ කටයුතු කළ නොහැකි බව ජවිපෙ ද තේරුම් ගෙන සිටිනවා විය යුතුය. අනෙක් අතට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිවාදය හා දූෂණය මුල් කරගෙන විදේශයන් සමඟ කටයුතු කිරීමේ ප්‍රතිඵල පසුගිය කාලයේ ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

ඉන්දු ලංකා ගිවිසුමට හා පළාත් සභා ක්‍රමයට එරෙහි විශාලම උද්ඝෝෂණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එහෙත් එය පසුව ඉන්දියාව සමඟ ගනුදෙනු කරන්නට එම පක්ෂයට බාධාවක් නොවීය.

මීළඟ මැතිවරණයෙන් බලයට පත් වේ යැයි සිතන ජවිපෙ/ජාජබ ඉන්දියාව සමග සුහද සබඳතාවක් ඇතිකර ගැනීමට  සිතුවද ඉදිරියේදීද දෙපාර්ශ්වය අතර යම් යම්  ප්‍රතිවිරෝධතා ඇතිවිය හැකිය. ජාජබ දැනටමත් සාම්පූර් විදුලි බලාගාරය, මන්නාරමේ සුළං විදුලි බලාගාරය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය ආශ්‍රිත ව්‍යාපෘති ආදියේ දී දරන්නේ ඉන්දීය බලධාරින් දරන මතයට වෙනස් මතයකි.

මෙවැනි ප්‍රශ්න ජාජබට වෙනත් රටවල් සමඟද තිබේ. වරාය නගරය, හම්බන්තොට ආයෝජන කලාපය හා චීන පොහොර නැව යන ප්‍රශ්න සම්බන්ධයෙන් ජාජබට චීනය සමගද ප්‍රති විරෝධතා තිබේ. මේවායේ දී ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතාව හෝ අදක්ෂතාව පෙනෙනු ඇත්තේ ඔවුන් බලයට පත් වූ විටෙකය.

 

(***)

එම්.එස්.එම්. අයුබ්