යහපාලන ආණ්ඩුවේ වසරක ප්‍රගතිය පිළිබඳ ඒ සඳහා සහයෝගය දැක්වූ ප්‍රවීණ කලාකරුවකු වන සුනිල් පෙරේරා මෙවර “-මුහුණට මුහුණ” සමඟ එක්වී අදහස් දක්වයි.
■ සුනිල් පෙරේරලත් කර තියල අරගෙන ආපු යහ පාලන ආණ්ඩුවට අවුරුද්දකුත් ගත වුණා. ඔබට සතුටුයිද දැන්?
මොකද නැත්තේ. අපිට සතුටුයි. අපි බොහොම සංතෝෂ වෙනවා එදා අපි කරපු වැඬේ ගැන. අද යහ පාලනය දිහා සමහරුනම් වපර ඇහින් බලනවා. ඒත් තිබුණු ආණ්ඩුවත් එක්ක බලනකොට දාහෙන් සම්පතයි. අපට ඕනෑ දෙයක් නිදහසේ කියන්න පුළුවන්. නිදහස් අදහස්වලට අද වැට බඳින්න කෙනෙක් නෑ. ඔයගොල්ලන්ට ඕනෑ දෙයක් පත්තරවල ලියන්නත් පුළුවන්. සුදු වෑන් පස්සෙන් එන්නේ නෑ. හිටපු කට්ටියම ආපහු ආවනම් අපේ ජීවිතත් ෂුවර් නෑ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාම කිව්වනේ ආපහු රාජපක්ෂලා බලයට ආවනම් එයත් අඩි හයක් යට කියලා. යහපාලනයට උදවු කරපු අයටත් එහෙනම් පෝලිමට සම්බුව හම්බවෙන්න තිබුණා. ඒක නිසා සරලවම කියනව නම් තිබුණු එකට වඩා මේ ආණ්ඩුව ගොඩක් හොඳයි.
■ ඔබට සතුට වුණාට මේ ආණ්ඩුවෙන් යහපාලනයට ගැලපෙන්නෙ නැති වැඩ ඕනෑ තරම් වෙනවා.
අපොයි වෙනවා. ඒවා නම් අපි අනුමත කරන්නේ නෑ. ඒ වැරදි වැඩ කරන අය යහපාලනයත් ගඳ ගස්සනවා. එහෙමයි කියලා කලින් ඉඳපු කට්ටිය ආපහු ගේන්න බෑ. ඒක මිනිස්සු තේරුම් ගන්න ඕනෑ. ඒක අසික්කිතම ක්‍රමයක් නේ. මේක ඊට වඩා සෑහෙන්න ඉදිරියෙන් තියෙනවා. හැබැයි යහපාලන ආණ්ඩුවෙ සමහර අයත් පරණ ක්‍රමයම අරගෙන යනවා. ඒ අය තමයි ඔය ජල්තර දාගන්නේ.
■ යහපාලන ආණ්ඩුවෙ වැරදි කරන සමහර ඇමැතිවරු කියන්නේ පහුගිය ආණ්ඩුවත් කරපු නිසා අපි කළාම මොකද කියලා..
ඕක තමයි සවුත්තුම දේ. මේ අයියලට වැරදි වැඩ කරන්න අයිතියක් නෑ. පහුගිය ආණ්ඩුව කරපු තාලෙට. පහුගිය ආණ්ඩුවෙ කට්ටිය කරපු වැඩ අප්සෙට් නිසා තමයි එයාලව ගෙදර යැව්වේ. ඒක නිසා කලින් අයත් කළා ඉතිං අපිත් කළාම මොනවා වෙනවද කියලා කවුරුහරි වැරදි වැඩ කරනවා නම් ඒ අය යහ පාලනයට කොහොමවත් ගැලපෙන්නේ නෑ. කලින් අයට වඩා අඩුවෙන්වත් මේ අයටත් හොරකම් වංචා දූෂණ කරන්න බෑ. අපිට කියන්න තියෙන්නේ කලින් අයට ගෙදර යන්න වුණු හැටි ආදර්ශයට අරගෙන හරි මේ අයත් හොඳ ළමයි වගේ වැඩ කරන්න කියලා තමයි.
■ යහපාලනය දෝරෙ ගලයි කියලා හිතුවට දෙගොල්ලොම අඩු වැඩි වශයෙන් එකම වල්ලෙ වගෙයිනේ.
කලින් අයට වඩා දැන් ඉන්න අයගෙ හොඳ පැත්තක් නෑ කියන්න බෑ. ඒත් මෙතනටත් කලින් තැන ඉඳපු අයමනේ එකතු වෙලා ඉන්නේ. මේ අය මකලා ගන්න බෑනේ. මේ ආණ්ඩුවට තමන්ගේ ශක්තිය ගැන ෂුවර් එකක් නැති නිසා අනිත් පැත්තෙ අප්සෙට් ජොකියොත් ආණ්ඩුවට ගන්න සිද්ධවෙලා. ඒක තමයි මේ අවුලට මූලික හේතුව. ආණ්ඩුව දිගට පවත්වගෙන යන්න තමයි ජනාධිපතිතුමාට මේ දේවල් කරන්න වෙලා තියෙන්නේ. ආණ්ඩුව බයයි කට්ටිය පැනලා ආණ්ඩුව වට්ටයි කියලා. ඒක නිසා මොනවා හරි දීලා කට්ටිය රඳවගන්න බලනවා. ඒකට හොරුත් ළංකර ගන්න සිද්ධවෙලා.
ඒක තමයි මිනිස්සුත් කියන්නේ. පහුගිය ආණ්ඩුවෙ හොරු වංචාකාරයො දූෂිතයො කියපු අයගෙන් රාජපක්ෂලා ඇරෙන්න අනිත් ඔක්කොම වගේ දැන් ජනාධිපතිතුමාගෙ රෙද්ද අස්සේ.
ජනාධිපතිතුමාටත් මේකෙන් ගැලවෙන්න බෑ. හැබැයි අපි මේකට විරුද්ධයි කියලා ජනාධිපතිතුමාට කෙළින්ම කිව්වා. එතුමට සහයෝගය දක්වපු සිවිල් සංවිධාන නිතර නිතර මේවාගැන ඒ අයගේ විරෝධය විවේචනය දක්වනවා.
මේ ආණ්ඩුවෙ ඉන්නවා යහපාලනයට වැද්දගන්න හොඳ නැති සමහරු. ඇවන්ගාඞ් සිද්ධියට නම ඈඳුණු සමහරු විලිලැජ්ජ නැතුව ඇමැතිකම්වල ඉන්නවා. ඒ ගජ මිතුරුකම් සාක්ෂි ඇතුව එළිවෙලා තියෙද්දි ඒ අයට සදාචාරයක් නෑ ඉල්ලලා අස්වෙන්න. යහපාලන ආණ්ඩුවක ඇමැති මණ්ඩලයේ වාඩිවෙන්න සුදුසුකම් නැති අය ඕනෑ තරම් ඉන්නවා. අලුතෙනුත් ඇමැතිකම්වලට එක එක්කෙනා පත්වෙනවා. මෙහෙම නම් යහපාලනයක් කරගෙන යන්න බෑ.
■ හොරු අල්ලන වැඩෙත් සාධාරණව කෙරෙනවද?
පහුගිය ආණ්ඩුවෙ ඉද්දි චෝදනා එල්ලවුණු අය මේ ආණ්ඩුවට සෙට්වෙලා ඇඟ බේරගන්න වගේ බලන්නේ.
හොරු අල්ලන වැඬේ නොකෙරෙනවාම නෙවෙයිනේ. ඒවා ටික ටික කෙරෙනවා. අපි කවුරුත් කැමැතියි හොරු ඉක්මනට අල්ලලා ඉවර කරන තරමට. ඒත් අපේ නීතිය ඒකට ශක්තිමත් නෑනේ. පහුගිය ආණ්ඩුවෙ හොරු වගේම මේ ආණ්ඩුවෙ හොරුත් අනිවාර්යෙන්ම අල්ලන්න කියලා තමයි අපි නම් කියන්නේ හැබැයි මේ අයට වඩා කලින් ඉස්සෙල්ලා ආණ්ඩුවෙ ඉඳපු හොරුටික අල්ලලා හිටියොත් වැඩිය හොඳයි. ඊට පස්සේ මේ කට්ටිය ගැනත් බලන්න පුළුවන්.
■ එහෙම කරන නිසාම තමයි රාජපක්ෂ දඩයමක් ගැන කිය කිය පලිගන්නවා කියලා රාජපක්ෂලට කියන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ.
වැරදි කරපු කාටවත් සමාවක් නම් නොලැබිය යුතුයි කියන අදහසේ තමයි මමනම් ඉන්නේ. මේ අය කියනව නම් තමන්ගෙන් බොරුවට පලිගන්නවා කියලා. ඒ අයට පුළුවන් හොඳ නීතිඥවරු දාලා නඩුව කතා කරන්න. එතකොට එහෙම කරලා නැත්නම් ඒ අයට අපහාසයට වන්දි ගන්නත් පුළුවන්නේ. එහෙම නැතුව -පලිගන්නෝ....පලිගන්නෝ...” කිය කිය කෑගහලා වැඩක් නෑ. රාජපක්ෂලා දැන් කතා කරන්නේ බබ්බු වගේ. ඇයි එයාලා තොත්ත බබ්බුද? දැන් ඔය සමහරුන්ගේ බැංකු ගිණුම්වලට නිකම්ම සල්ලි වැටෙනවා කියලත් කියන්නේ. ඒ අයට පිස්සුද එක එක්කෙනාගේ ගිණුම්වලට සල්ලි දාන්න. අපේ ගිණුම්වල එහෙම සල්ලි දාන්න මොකෙක්වත් නෑනේ. තවත් අයගේ මාළිගා වගේ ගෙවල් නඩු දැම්මට පස්සේ අයිතිකාරයෙක් නැති වෙනවා. මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? මේවා රාජසන්තක කරපු එක නම් හොඳ වැඬේ.
■ යහපාලන ආණ්ඩුවෙ ලොක්කො කරන වැරදි ගැන ආණ්ඩුව පිහිටුවන්න සහාය දීපු සිවිල් සංවිධානවල විවේචන ආණ්ඩුව ගණන් ගන්නෙ නෑ වගේ නේද?
සමහර තීරණ ආණ්ඩුවට ආපස්සට ගන්න සිද්ධ වුණා. සිවිල් සංවිධානවල බලපෑම නිසා. විශේෂයෙන් මහ බැංකු අධිපතිවරයාගේ සිද්ධියේදී සිවිල් සංවිධානවලින් ආපු ප්‍රෙෂර්එකට ආණ්ඩුව සරෙන්ඩර් වුණා. පුරවැසි බලය සංවිධානයේ අය නිතර නිතර ආණඩුවට ප්‍රෙෂර් කරනවා. ආණ්ඩුව මේවට ඇහුම්කන් නොදෙන්නෙම නෑ.
ඒත් මහින්ද රාජපක්ෂලගෙ සාටකේ එල්ලිලා ඉඳපු සමහරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් තමන්ගෙ තුරුල්ලට අරගෙන උපදේශකකම් පවා දුන්නු එකට එහෙම ඔය සිවිල් සංවිධානවල විරෝධතාවය ජනාධිපතිතුමා නොසලකා හැරලා වගේ.
ඔව්. ඔය වගේ පත්කිරීම් කීපයක් තියෙනවා. ඒවා කවුරු කිව්වත් වෙනස්වෙලා නෑ. මේ අය මහින්ද ළඟ ඉඳගෙන මහින්දව විනාශ කළා. දැන් මේ පැත්තට පැනලා. අපිට මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ පරිස්සම් වෙන්න කියලා තමයි. මේ සමහර පත්වීම් නම් අන්තිම කැතයි. අපි ඒවා ගැන කණගාටුවෙනවා.
■ අලුත් පරපුරට පහර දීපු පළාත් සභා මන්ත්‍රීටත් ශ්‍රීලනිප සංවිධායකකමක් දීලා ජනාධිපතිතුමා ළඟට ගත්තා. ජයතිලක බණ්ඩලට පහරදීපු සෙල්ලම් පිස්තෝල නගරාධිපතිටත් සංවිධායක කමක් දීලා තමන් ළඟට ගත්තා. හරි ෂෝක් නේද? ජනාධිපති යහපාලනය රකින හැටි?
අපිටත් ඕවට නම් හතර විලිලැජ්ජයි. මේවා දකින්න නෙවෙයි මිනිස්සු යහපාලනය ගෙනාවෙ. ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන හිත හිත ඉඳලා හරියන්නේ නෑ දැන්. එයා ආණ්ඩුව ශක්තිමත් කරගන්න කියලා මේ වගේ අය ළංකර ගැනීම භයානක වැඩක්.
■ මෛත්‍රීපාල සිරිසේන කිව්වෙ ජනාධිපතිවුණාම පක්ෂය ගැන නෙවෙයි රටට ප්‍රමුඛතාවය දීලා වැඩ කරනවා කියලා. දැන් මේ අත දිග ඇරලා එතුමා සලකන්නේ යහපාලනයට කොඩිවින කරපු අයට. දැන් පක්ෂයනේ එතුමට ලොකුවෙලා තියෙන්නේ?
මෛත්‍රීපාල ජනාධිපතිතුමා කරපු ලොකුම මෝඩකම පක්ෂය බදාගත්තු එක. ඒක තමයි මේ ප්‍රශ්න ඔක්කෝටම මුල. එතන තමයි එයාට වැරදුණු තැන. මේ වෙලාවෙ රට අංක එකට දාලා වැඩ කරනවා මිසක් පක්ෂය බදාගෙන ඉඳලා හරියන්නේ නෑ. එයාට දැන් රටේ නායකයා මිසක් පක්ෂෙ නායකයා කියන තැනට කොටුවෙන්න බෑ. නිර්පාක්ෂිකව ස්වාධීන පුද්ගලයෙක් විදියට කටයුතු කරන එකනේ එයා කරන්න ඕනෑ. එහෙම වැඩ කළා නම් එයාට මීට වඩා ගෞරවයක් ලැබෙනවා.
■ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන සුනිල්ගෙ ඇත්ත අදහස මොකක්ද අද දවස වෙනකොට?
එයා අවංක උත්සාහයක් ගත්තා අමාරු අවස්ථාවක. හොඳ මනුස්සයෙක්. එයාට ජනාධිපති විදියට ඉස්සරහට යන්න බාධා රාශියක් තියෙනවා. ඒවා හරියට මැනේජ් කරගන්න බැරිකමත් තමයි තියෙන්නේ. හොරුන්ගෙත් සහයෝගය ගන්න තැනට වැටිලා. අපහසුතාවයට එයා පත්වෙලා ඉන්නේ. ඇත්තටම මට නම් එයා ගැන කණගාටුවක් තමයි තියෙන්නේ.
■ ජනතාවට පටි තද කර ගන්න කියලා ඇමැතිලා කෝටි ගණන් වාහන අරගෙන සැප විඳින්නයි හදන්නේ. මේ ආණ්ඩුවත් රාජපක්ෂ පීල්ලෙමනේ යන්නේ?
ඒවටත් අපි විරුද්ධයි. මම නම් කියන්නේ ඇමැතිලට වාහන පර්මිට් දෙන්නම ඕනෑ නෑ. වාහනයක් දුන්නම ඇති. ඇමැතිකම කරන කාලෙට. කෝටි ගණන් වාහන දෙක තුනක් නැතුව අද මේ අයට ඇමැතිකම් කරන්න බෑ. අඩුම තරමෙ වෙන අය පාවිච්චි කරපු ඒව ගන්නෙවත් නෑ. අලුතෙන්ම වාහන ඕනෑවෙලා තියෙන්නේ. මුං ජනතා සේවකයොද? අද බලන්නකො ඔලිම්පික් එකේ තරග කරන්න යන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හත්අට දෙනයි. ඇමැතිත් එක්ක නිලධාරියො තිහ හතළිහක් යනවා. මේවා මොන විහිළුවක්ද? හරි යයිද මේ වගේ රටකට.
■ ජනාධිපතිවරණයට කලින් මෛත්‍රීපාල සිරිසේනට -හිටං” -හුටං” කියලා සවුත්තු කරපු අය ළඟට අරගෙන ක්‍රීඩා ඇමැතිකම් දීලා. මේවාට උඩගෙඩි දුන්නෙත් ජනාධිපතිතුමාමනේ.
ඒක තමයි කියන්නේ. එහෙම සවුත්තු අයත් යහපාලනය ඇතුළට ගන්න වුණා. මේ විදියට නම් යහපාලනය ගෙනියන්න බෑ. මේවා දැක්කෙ නෑ වගේ ඉන්න තමයි අද ජනාධිපතිතුමාට සිද්ධවෙලා තියෙන්නේ. නැත්නම් ආණ්ඩුව වැටෙයි කියලා බයයි. වැරැද්ද දැක දැක අහක බලාගෙන ඉන්න එකේ ප්‍රතිඵල මේ ජනාධිපතිතුමාටත් භුක්ති විඳින්න ලැබේවි. ඒක එයා තේරුම් ගන්න ඕනෑ. අන්තිම ජරා සිස්ටම් එකකට වැටිච්ච මේ රට එක පාරට වෙනස් කරලා ගොඩගන්නත් බෑ.