ති‍්‍ර රෝද රියට ගොඩවී අතුරුදන් වුණු සුදු-වත හැඳි කත


සුදු පැහැති හැට්ටයකින් හා සායකින් සැරසුණු ඇය රාති‍්‍ර 9.00 පමණ දෙවිනුවර නගරයේ ති‍්‍ර රෝද රථයකට ගොඩවූයේ සිය නිවස වෙත යාමට අවශ්‍ය බව පවසමිනි. බැලූ බැල්මට ඇය සතු රූමත් බව නිසාම චුට්ටා යන අන්වර්ථ නමින් හඳුන්වන ති‍්‍රරෝද රථ රියදුරු අනෙකුත් සහෝදර රියදුරන්ට පෙර එම කුලී ගමන යාමට ඉදිරිපත්විය. දෙවිනුවර කපුගම පාරේ ටික දුරක් ගොස් ති‍්‍ර රෝද රථය නතර කෙරිණි. එම ස්ථානය තරමක් පාළුවට ගොස් ඇත. ඒ නිසා චුට්ටාට යම් අමුත්තක් ද දැණිනි. එහෙත් ඈතින් පෙනෙන නිවසක විදුලි බුබුලක් යාන්තමින් හෝ පෙනෙන්නට තිබූ නිසා යම් සැනසීමක් ඔහුට තිබුණි. ති‍්‍රරෝද රථයෙන් බැසගත් කාන්තාව සිය අත්බෑගය පරීක්ෂාකොට ”මල්ලී දැන් පොඩි සල්ලි නැහැ. හෙට උදේට ගෙදරට එන්න. මම හයර් එක දෙන්නම්” යයි කියා විදුලි ආලෝකය දල්වා තිබූ නිවස වෙත පිටත්ව ගියාය. ඒ අනුව චුට්ටා නැවත දෙවිනුවර නගරයේ ති‍්‍ර රෝද රථ ගාල වෙත පැමිණි අතර ආ අද හොඳ කෑල්ලක් අරගෙන ගියානේ කියමින් අනෙක් තරුණ රියදුරන් ඔහුට නිකමට විහිළු කළහ. කෙසේ වෙතත් පසුදින උදෑසන ඔහු ති‍්‍රරෝද රථ ගාස්තුව ලබා ගැනීම සඳහා අදාළ ස්ථානය වෙත ගොස් ඇත. අදාළ නිවස වෙත ගොස් පෙරදින රාති‍්‍ර පැමිණි කාන්තාව පෙනෙන්නට ඇත්දැයි සොයා බැලීය. එහෙත් එම නිවසේ දොරකඩට පැමිණියේ වයස්ගත කාන්තාවකි. ”අම්මේ ඔයාලගේ දුවද කොහෙද? ඊයේ රෑ මාත් එක්ක හයර් එකක් ආවා. උදේට සල්ලි ගෙනියන්න එන්න කීවා” යයි චුට්ටා කියන විටම ”මොන දුවද, මෙහෙ ඇති දුවෙක් නැහැ. යයි වයස්ගත කාන්තාව ඊට පිළිතුරු දුන්නාය.” චුට්ටා තව දුරටත් ඒ ගැන ඇසුවද එයින් ඵළක් නොවීය. ආපසු හැරී ඒමට පෙර ඔහුගේ ඇස එම නිවසේ සාලයේ මේසය මත තිබූ රාමු කරන ලද ඡායාරුපයක් දෙසට යොමු වූයේ ඉබේටමය. මෙන්න මෙයා තමා ඊයේ රෑ ආවේ. චුට්ටා කියන විට ”ඒ අපේ දුව දැන් අවුරුද්දක් විතර වෙනවා මිය ගිහින්” කියා වයස්ගත කාන්තාව කියන විටම චුට්ටාට ක්ලාන්තය සැදී ඇද වැටුණි. මුහුණට වතුර ස්වල්පයක් ඉසීමෙන් පසු ඔහුට පියවි සිහිය ලැබුණි. මෙම සිද්ධිය මේ වනවිට මුළු දකුණු පළාත පුරාම පැතිර ගොස් ඇත. කටකතාවක් ලෙස පවතින දෙවිනුවර කපුගම පාරේ හොල්මන් සිද්ධිය ගැන සොයා බැලීමට මා එම ප‍්‍රදේශය වෙත පිටත්ව ගියෙමි. පළමුව චුට්ටා සොයා ගැනීමට වෙහෙසුනද එය අසාර්ථක වූයේ ඔහු මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින බව දැන ගන්නට ලැබීම නිසාය. කලකට පෙර කළ මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අදාළව මීට දින කිහිපයකට ඉහතදී මාතර මහාධිකරණය ”චුට්ටා” යන අන්වර්ථ නමින් හඳුන්වන ති‍්‍ර රෝද රථ රියදුරුට මරණ දඬුවම ලබාදී තිබුණි. ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවද මා හට චුට්ටාගේ ඥාති සහෝදරයෙකු මුණ ගැසීමට හැකියාව ලැබුණි. හැලවත්තේ පදිංචි තමීර හෙන්දාවිතාරණ (32) නම් වන ඔහු එම සිද්ධිය තහවුරු කරමින් මෙසේ කීය. ”මම ධීවර රැකියාව කරනවා. දරුවෙකු සිටිනවා. චුට්ටා මගේ බාප්පාගේ පුතෙක්. ඔහු රාති‍්‍ර කාලයේ තමයි දෙවිනුවර නගරයේ ති‍්‍රරෝද රථ රැකියාව කළේ. අදාළ කාන්තාව කුලී ගමනක් යන්න නැගලා සල්ලි නොදී බැහැලා ගිහින් පහුවදා එන්න කියපු කතාව චුට්ටා මට කියා තිබෙනවා. පසුව බලද්දී ඒ ”හොල්මනක්” තමයි රැගෙන ගිහින් තිබෙන්නේ. ගෙදර තිබූ ෆොටෝ එකෙන් අඳුරගෙන තිබුණා. ඔහු හොඳටම බය වෙලා තිබූ නිසා තොවිලයක්ද නටන්න වුණා. ඒත් ඊට පසුවත් ඔහුට වගතුවක් වුණේ නැහැ. අවසානයේ හිරේට යන්නත් වුණා.” හොල්මන් සිද්ධියෙන් පසු චුට්ටාට හිරේ යාමට සිදුවුවද දෙවිනුවර කපුගම පාරේ නුගගස අසළදී පසුගියදා තවත් ති‍්‍රරෝද රථ රියදුරෙකුට සිය ජීවිතයෙන්ද වන්දි ගෙවීමට සිදුවිය. හැලවත්තේ පදිංචි ඔහු එක්දරු පියෙකි. ඒ පිළිබඳ මූලික තොරතුරු මා හට ලබා දුන්නේ මාතර නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවය කරන යූ. එම්. මාධව දසුන් නමැති මාගේ සගයෙකි. ඔහු ඒ ගැන වඩාත් දන්නේ අදාළ ති‍්‍රරෝද රථය එම මූළ්‍ය ආයතනයෙන් ලීසිං වාරික ක‍්‍රමය යටතේ මිලදීගෙන තිබූ නිසාවෙනි. දෙවිනුවරට ගිය ගමනේ දී එම රිය අනතුර පිළිබඳවද සොයා බැලූවෙමි. ඒ පිළිබඳවද නොයෙක් කට කතා පැතිර යයි. එම අනතුර ද සිදු වී තිබුණේ කපුගම පාරේ නුග ගස අසලමය. ති‍්‍ර රෝද රථය පාරෙන් ඉවතට ගොස් පෙරළී රියදුරා ඊට යටවී තිබුණි. එහෙත් ප‍්‍රදේශවාසීන් පැමිණෙන විටත් ති‍්‍රරෝද රථය නැවත පෙර තිබූ ආකාරයටම පාර අයිනේ තිබී ඇත. තී‍්‍ර රෝද රථ රියදුරාට ද පෙනෙන්නට තුවාලයක් බාහිරව නොවීය. කෙසේ වෙතත් ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සදහටම දෙනෙත් පියා ගත්තේ සියලූ දෙනාට කුතුහලයක් එකතු කරමිනි. ශරීර අභ්‍යන්තරයට සිදුවූ තුවාල හේතුවෙන් ඔහු මිය ගිය බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිවිය. කෙසේ වෙතත් එම මරණය සම්බන්ධයෙන් ඥාතීන් තවමත් කම්පාවට පත්ව සිටින නිසා ඒ පිළිබඳ තොරතුරු හෙළි කිරීමට ඔවුන් අකමැත්ත ප‍්‍රකාශ කරන ලදී. මේ සිද්ධිය ගැනද බොහෝ දෙනා කතා කරති. කාන්තාවක් එම ති‍්‍රරෝද රථයට ගොඩවී ඇති බවද අතරමග දී ඇය පෙනෙන්නට නොසිටීමත් සමග ති‍්‍රරෝද රියදුරු බියට පත්ව එය පෙරළී අනතුර සිදුවී ඇති බවද කියති. එහෙත් සිදුවූ දෙය හරියටම දන්නේ මිය ගිය තැනැත්තාම පමනි. අජං ගෙදර පදිංචි චන්දරේ අයියාද එවැනිම සිද්ධියකට මුහුණ දුන් අයෙකු බව මට කීවේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ ධර්මේ කපු මහතාය. මා චන්දරේ අයියාගේ ජංගම දුරකථන අංකය සොයා ගෙන ඔහුට ඇමතුමක් ලබාගෙන හමුවීමට අවශ්‍ය බව පැවැසීය. ඔහු රාති‍්‍ර 10.30 රැකියාව සඳහා දෙවිනුවර නගරයේ ති‍්‍රරෝද රථ ගාලට පැමිණෙන බව දැන්වූ නිසා මා තව දුරටත් එම ප‍්‍රදේශය තුළ රැඳී සිටියෙමි. පවසන ලද වේලාවටම ඔහු පැමිණියේය. කපුගම කුරුඳුවත්තේ පදිංචි පී. එච්. චන්ද්‍රසේන (50) යන නමින් හඳුන්වන ඔහු මෙසේ කීය. ”මහත්තයෝ මම මේ රැකියාව කරන්න අරගෙන දැන් අවුරුදු 16 ක් විතර වෙනවා. රෑට විතරයි. වැඩ කරන්නේ. රෑ වැඩකරලා උදේ 8.00 විතර ආපසු යනවා. දවල් දවසේ ගෙදරට වී නිදා ගන්නවා. අළුයම 2.00 විතර හොඳට ඇඳ පැළඳ ගත් පුද්ගලයෙකු ති‍්‍රරෝද රථය අසලට ආවා. ඔහු අත ගමන් මල්ලක්ද තිබුණා. කපුගමට යමු කියලා මට කතා කළා. මම පිටුපසට ගිහින් සීට් එක උස්සලා බෑගය යටින් තිබ්බා. එය විශාල නිසා හිර වෙලයි තිබුණේ. ඒ යන අතරතුරදී ඔහු ති‍්‍රකුණාමලයේ යුද හමුදා කඳවුරේ සේවය කරන බවද කීවා. ටික දුරක් යද්දී කළුවර තැනක් තිබුණා. ඈතින් සුදු කොඩි එල්ලා තිබෙනවා මම දැක්කා. ති‍්‍රරෝද රථයට නැග සිටින පුද්ගලයාද මළ ගෙදරක යන බව කියපු නිසා මම එය ඒ තරම් ගණන් ගත්තේ නැහැ. අනේ මහත්තයෝ ඉස්සරහද බහින්නේ කියා ඇසුවා. කිසි ශබ්දයක් නැහැ. ආපසු සැරයක් ඇහුවා. නින්ද ගිහිල්ලවත් ඇති දැයි සිතා පිටුපස හැරී බැලූවා. ඒ පුද්ගලයා පෙනෙන්න නැහැ. මම ති‍්‍රරෝද රථය නවතා හොඳට බැලූවා. ඔහුට කුමක් වුණාද කියලා. හිර වෙන්න දමලා තියපු ගමන් මල්ලත් නැහැ. මම ආපු වේගයට කාටවත් අතරමගදි පනින්න අමාරුයි. එහෙම පැන්න නම් බිම වැටිලා අතපය කැඩෙන්න  ඕනෑ. හිතට යම් අමුත්තක් දැනුණු නිසා ඉක්මනින් ති‍්‍ර රෝද රථය හරවා ගෙන ආපසු පැමිණියා.ඒ ඇවිත් ගුරුකම් කරන ආඩිෂන් අයියට කීවා. ඔහු මෙය භූත දෝෂයක් බව කියන විට මට උණ හැදුනා. ඊට පසු මොනවාදේ මතුරලා දුන්නා. මම විවාහකයි. දරුවන් දෙදෙනෙකු සිටිනවා. දැනටත් දවල්ට කපුගම පාරෙන් යනවිට ඒ සිද්ධිය මතක් වී හිතට බයක් දැනෙනවා. මා එක්ක ගිය පුද්ගලයා වගේ කෙනෙක් ඉන්නවද කියා සොයා බැලූවත් හමුවුණේ නැහැ. තවත් ති‍්‍රරෝද රථ රියදුරෙකු වූ ඞී. ටී. ජනක් (52) මහතා මෙසේ කීය. මම 1982 ඉඳලා කාර් හයර් කරලා දැන් ති‍්‍රරෝද රථ රැකියාව කරනවා. ලියන මහත්තයා කියලා මා දන්න මාළු ව්‍යාපාරිකයෙකු සිටිනවා. ඔහුගේ බෝට්වලට මාළු අහුවෙන්නේ නැහැ කියලා අපි දෙවිනුවර පොදු සුසාන භූමිය අසළ හූනියමක් කැපීමේ වැඩක් කළා. මිනී අළු ආදිය අවසානයේ මුහුදට දැමුවා. ඒ ගිහින් ඇවිත් මම ති‍්‍රරෝද රථ ගාලට ඇවිත් වැඩ ආරම්භ කළා. අළුයම 1.30 විතර සුදු පැහැති ඇඳුමක් ඇඳගත් මහත්තයෙක් ති‍්‍රරෝද රථයට ගොඩවුණා. කතරගම යන බස් එකකින් බැහැලයි ආවේ. ටික දුරක් යනකම් කතා කරමින් ගියා. කළුවර හරියකදී ඔහු කතා කළේ නැහැ. ඒ නිසා පිටුපස හැරී බැලූවා. ඒ පුද්ගලයා පේන්න හිටියේ නැහැ. මම ති‍්‍රරෝද රථය හරවගෙන ආපසු ආවා. අදටත් ඒ සිද්ධිය මතක් වෙනවිට ඇඟේ මයිල් කෙලින් වෙනවා. ඒවගේම ඊට පසු තවත් සිද්ධියක් මට වුණා. ”සුදු ගවුමක් ඇඳගත් අවුරුදු 25 පමණ තරුණියක් ති‍්‍රරෝද රථයට ගොඩවුණා. රුපියල් 100ක් දීලා යමු කීවා. ඇය කිසිවක් කතා කළේ නැහැ. කපුගම පාරේ ගිහින් එකේ කණුව ළඟදී කොහාටද කියා ඇසුවාම අතින් තමයි පාර පෙන්නුවේ. ඊට පසු ති‍්‍රරෝද රථය නතර කරන්න අතින් කීවා. ඒ අනුව මම නතර කරන විට ති‍්‍රරෝද රථයෙන් බැසගත් කාන්තාව පේන්න හිටියේ නැහැ. මම අවට බැලූවත් සොයා ගන්න බැරිවුනා. ඈතට යන්නත් ඇයට වෙලාවක් තිබුණේ නැහැ. මේ පාරේ රෑට මොනව හරි දේවල් වෙනවා. ඒ වගේම අනතුරු වෙනවත් වැඩියි. ඔහු කීය. දෙවිනුවර කපුගම පාරේදී පිරිමින් ගැහැනුන් මෙන්ම සතුන්ද දැක බියට පත්වූ අය සිටිති. සුනඛයෙකුගේ වැනි ඡායාවකට බියවී අනතුරට ලක්ව තලල්ලේ පදිංචි එන්. එම්. ඩබ්ලිව්. දයාරත්න (49) මහතා තුවාල ලැබීය. ඔහු දෙවිනුවර නගරයේ එළවළු වෙළෙඳසැලක සේවය කරයි. ඒ පිළිබඳව ඔහු මෙසේ කීය. ”මම ගෙදර ඉඳන් යතුරු පැදියෙන් තමයි රැකියාවට එන්නේ. පසුගිය දවස්වල බයික් එකේ රක්ෂණ සහතිකය අවසන්ව තිබූ නිසා ප‍්‍රධාන පාරේ එන්නේ නැතිව කපුගම පාරෙන් තමයි ආවේ ගියේ. දවසක් රෑ 9.00 විතර ගෙදර යද්දි මාලියංගොඩ හංදිය ආසන්නයේ දී කළු පැහැති බල්ලෙක්ගේ වගේ ඡායාවක් දැක්කා. ඒ වගේම මට බයක් ඇතිවුණා. හරියටම මොකාද කියලා හිතාගන්න බැරිවුණා. යතුරු පැදිය නවත්ව ගන්න තිරිංග තද කළත් හරි ගියේ නැහැ. එක පාරටම යතුරු පැදිය පාරෙන් ඉවතට ගියා. පස් කණ්ඩියකට දාලයි නතර කර ගත්තේ. බේරා ගන්නා ලෙස මම කෑ ගැසුවා. ඒ අවට කිහිප දෙනෙකු පැමිණ මට උදව් කළා. තුවාලත් සිදුවී තිබුණා. දෙවිනුවර නගරයේ පුද්ගලික බෙහෙත් ශාලාවක් වෙත ගොස් ප‍්‍රතිකාර ලබාගත්තා. මැහුම් හතක් දැමුවා. අදටත් කකුලට වූ තුවාලය සුව වෙන්නේ නැහැ. දෙවිනුවර කපුගම පාර ආසන්නයේම පදිංචි එච්. පී, මංගලිකා (54) මහත්මිය ”මේ පාරේ රෑට විවිධ දේ වෙනවලූ. ඒ නිසාම බයිසිකල් පෙරළෙනවා. ති‍්‍රරෝද රථ පෙරළෙනවා පුද්ගලයින්ට තුවාල වෙනවා. මීට පෙර එක් අයකු මිය ගියා. නුග ගහ ආසන්නයේ දී තමයි මේ දේවල් වෙනවා කියන්නේ. අපේ කඬේ වැඩ කරන කිරි මහත්තයත් හොඳටම බයවෙලා. කොහොම වෙනවද මොනව වෙනවද කියලා හිතාගන්න බැහැ. කෙසේ නමුත් කාලයක ඉඳලා මේ ”හොල්මන” තිබෙනවා. රෑට බයවෙලා අපේ ගෙදරට දුවගෙන ආපු ගොඩක් අය ඉන්නවා.” මේ පිළිබඳව අදහස් දැක්වූ දෙවිනුවර ඉන්ධන පිරවුම්හල අසළ ශ්‍රී මහා භද්‍රකාලි දේවාලයේ ගමගේ සවිරු අනුරුද්ධ (22) කපු මහතා මෙසේ කීය. ”හොල්මන් කියන්නේ සත්‍යයක්. මළගිය අය මිනිසුන්ගේ ඇඟට වහන්න පුළුවන්. දෙවිනුවර කපුගම පාරෙදි හොල්මන්වලට බයවෙලා ගොඩක් අය මා ළඟට ඇවිත් තිබෙනවා. සමහර අයට දෙහි කපනවා. තවත් අයට නූල් බඳිනවා. තොවිල් කරලා සුව කරන්න වෙන අවස්ථාත් තිබෙනවා. කොහොම හරි අපේ මන්ත‍්‍ර ශාස්ත‍්‍ර බලයෙන් ඒ අයව සුව කරලා දෙන්න පුළුවන්. මේ සියලූ තොරතුරු රැස්කර ගෙන අවසන් වනවිට වේලාව රාති‍්‍ර 12.30 පමණ විය. දැන් මා හට අවශ්‍ය වී තිබෙන්නේ දෙවිනුවර කපුගම පාරේ හොල්මන් තිබෙනවා යැයි කියන ස්ථානය වෙත යාමටය. බොහෝ අය ලබාදුන් තොරතුරු අනුව මාගේ සිත තුළද යම් දෙගිඩියාවක් හටගෙන තිබුණි. පළමුව එම පාරේ ගිහින් ඇවිද තොරතුරු සොයා ගත්තා නම් හොඳ යයි මට සිතුණේ ඉන් පසුවය. හොල්මන් තිබෙන බව කීවද රාති‍්‍ර කාලයේ ඒ ඉසව්ව සොයා ගැනීමට මා හට තනිවම අපහසුය. ටික වේලාවක් ඒ ගැන සිතමින් දෙවිනුවර දේවාලය වටේ ඇවිදිමින් සිටින විට ගාමිණි හෙට්ටි ආරච්චි යකදුරු මහතා මා හට මුණ ගැසුණේ අහම්බෙනි.මගේ අවශ්‍යතාවය පවසන විටම ඔහු උදවු කිරීමට ඉදිරිපත්විය. අළුයම 2.00ට පමණ වන තෙක් අප දෙවිනුවර කපුගම මාර්ගයේ හොල්මන් තිබෙන බව කියන ස්ථාන අසල රැඳී සිටියෙමු. මා ඡායාරූපද ලබා ගත්තෙමි. ඒවායෙහි විවිධ දේ සටහන්ව තිබිණි. එහෙත් සියැසින් අපට හොල්මනක් දැකගත නොහැකි විය. මෙතැන ගොඩක් වෙලාවට අපි පෙරේත තටු ගෙනවිත් තබනවා. දුම්මල ගහලා දිෂ්ඨි නවත්වන්නේ මේ නුග ගහ යටයි. කාලයක් තිස්සේ කරන දෙයක්. අපේ යන්තර ශාස්ත‍්‍ර සත්‍යයක්. ඒ නිසා මෙතැන කිසියම් අදෘෂමාන දෙයක් පවතින්න පුළුවන්” යයි ගාමිණි හෙට්ටිආරච්චි මහතා මා සමග කීය. දෙවිනුවර නගරයේ බොහෝ ති‍්‍රරෝද රථවල මේ දිනවල ආරක්ෂක යන්තර එල්ලා තිබේ. ඒ විපතක් සිදු නොකර ගැනීමටය. යම් හෙයකින් කපුගම පාරේ කුලී ගමනක් යාමට ති‍්‍රරෝද රථ රියදුරෙකු රාති‍්‍ර කාලයේ ඉදිරිපත් වුවද ඔහු ගමන අවසන් වනතෙක් ඉතිපිසෝ ගාථාව සිතින් කියමින් වැඩි ආරක්ෂාව සලසා ගන්නා බව ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ. මීට පෙර මාතර කැකණදුර ප‍්‍රදේශයෙන්ද මෙවැනිම සිද්ධියක් වාර්තාවිය. එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳවද මේ දක්වා හෙළිවී නොමැත. ඒ ගැන කටකතා තවමත් පැතිර යයි. කැකණදුර සිද්ධිය අප හෙළිදරව් කිරීමෙන් පසු ”ඉරිදා ලංකාදීප”යෙන් යැයි පවසා වෙනත් පුද්ගලයින් එම ගම්මානය වෙත ගොස් ගම්වැසියන්ගෙන් තොරතුරු රැස්කර ගැනීමට උත්සාහ කර ඇත. ඔවුන් කවරුන්ද යන්න මෙතෙක් හෙළිවී නොමැත. එහෙත් මෙවැනි සිද්ධීන් හරහා තොරතුරු රැස් කිරීමේ අදහසින් ගම්මාන තුළට පැමිණෙන එවැනි පුද්ගලයින් ගැනද විමසිල්ලෙන් සිටීම වඩා වැදගත්වේ. කැකණදුර මෙන්ම දෙවිනුවර කපුගම මාර්ගයේද සිදුවන බව කියන මේ අදෘෂ්‍යමාන සිද්ධීන් පිළිබඳ විමසිල්ලෙන් සිට එහි පසු විපරම පිළිබඳව මුළු රටම දැනුවත් කිරීමට අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙමු.
සටහන හා ඡායාරූප : මාතර කි‍්‍රෂාන් ජීවක ජයරුක්
දයාරත්න මහතාගේ කකුලට තුවාල සිදුවී.