බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නිර්මානය කර තිබූ ප්‍රවර්ධන වීඩියෝවක්, ඔහු ලොස් ඇන්ජලීස් නුවර සිට කොළඹ බලා පැමිණීමට දින කිහිපයකට පෙර, එකිනෙකා අතර හුවමාරු වෙමින් පැවැතිණ.
කලුසුදු වීඩියෝවක් වූ එහි අවසාන තත්ත්පර කිහිපය විමසිලිමත් අයෙකුගේ අවධානය දිනාගැනීමට සමත් වූ ආකාරයේ විය. BRAIN යන වදන දිස්වී තිබිය දී, වීඩියෝව එකතැන නැවතුණු අතර, ඊළග තත්ත්පර කිහිපයේ දී AIN යන අකුරු තිරයෙන් මැකී ගොස්, BR යන අකුරු ද්විත්වය පමණක් තිරය මත දිස්විය. එම අවස්ථාව වන විට එතෙක්, බැසිල් රාජපක්ෂගේ 51 වසරක දේශපාලන තොරතුරු කියමින් සිටි පසුබිම් කථනය නිහඩව තිබිණ.
මෙය කියවන කෙනෙකු මොහොතකට හෝ, මෙම වීඩියෝව බැසිල් රාජපක්ෂ මහතා පැසසීම වෙනුවෙන් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් දේශපාලන පක්ෂය තනිවම ගොඩනැගීම, ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කරවමින් එම පක්ෂය රටේ පාලන පක්ෂය බවට පත්කරවීම, යනාදියට, නිර්මාණය කර තිබුණේ යැයි සිතුවේ නම් එය වැරදිය. ඔහුගේ එම ජයග්‍රහණයන්ට මේ වන විට ඇති තරම් ප්‍රශංසා සහ ඇගයුම් සිදුකර හමාරය. නැත, මෙවර එවන් වීඩියෝ ඇතුළු වෙනත් ප්‍රවර්ධන වැඩසටහන්වලින් ඇගයීමට ලක්කර තිබෙන්නේ පසුගිය බ්‍රහස්පතින්දා බැසිල් රාජපක්ෂ මහතා රටේ බලවත්ම අමාත්‍යංශයක් වන මුදල් අමාත්‍යංශය භාරගැනීමය.
බැසිල් රාජපක්ෂ යනු මොළය මෙහෙයවා වැඩකරන පුද්ගලයෙක් බව යන පණිවුඩය ඉහත වීඩියෝවෙන් මොනවට ලබා දී තිබිණ. එයින් නොකියා කීවේ උතුර ගොඩනැගීමට උතුරු වසන්තය වැඩසටහන හඳුන්වා දුන්, ගම සංවර්ධනය කිරීමට දිවි නැගුම වැඩසටහන හඳුන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා දැන් ඒ සියල්ලට වඩා වැදගත් සහ විශාල භූමිකාවකට සූදානම් බවය.
වේලාසනින් කළ සැලසුම්
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා ලොස් ඇන්ජලිස් නුවර බලා යෑමට පෙරම, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමේ ගනුදෙනුව ඔහු අවසානයක් කරගෙන තිබිණ. ඒ නිසාම ඔහු නැවත සියරට පැමිණි පසුව කිරීමට තිබුණේ මුදල් අමාත්‍යවරයා දැරිය යුතුව තිබෙන අදාළ වගකීම් මොනවාද යන්න හරිහැටි ලැයිස්තු ගතකර ගැනීම පමණකි.
අමතර වගකීම් පැනවෙන බව සහ වෙනස්කම් සිදුකැරෙන බවට ඔහුව දැනුම්වත් කළ අවස්ථා කිහිපයකදීම, “ඒවා හරියන කම් මම ඉන්නම්. මට කිසිම හදිස්සියක් නැහැ” යැයි බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන් බව ඔහුගේ සමීපතමයෝ පැවසූහ.
තමා කැබිනට් මණ්ඩලයට එකතු වන්නේ රාජකාරියක් කිරීමට මිස තනතුරක් අපේක්ෂාවෙන් නොවන බවත්, ඔහු එක් අවස්ථාවක පවසා තිබිණ. මේ කාරණාවලදී, ළඟින් මෙන්ම දුරින් එල්ලවූ පීඩනයන්ට නතු නොවී වැඩකටයුතු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්වූවේය යන්නත් සඳහන් කළ යුතුමය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් නොවන නමුත් පාලක සන්ධානයේ සාමාජිකයන් වන කිහිපදෙනෙක්, බැසිල් රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පිවසීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනු හදුනාගත හැකිවිය. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැනි කිහිපදෙනෙක් මේ අරබයා ප්‍රසිද්ධියේම විවිධ අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාද වන ජයසේකර මහතා කියා සිටියේ ඇතැම් අමාත්‍යංශවලට වෙනස්ම ආකාරයේ නම් තබා තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා යැයි දැන් පැහැදිලි බවය. දයාසිරි ජයසේකර මහතා, බතික්, අත්කම් සහ දේශීය ඇගලුම් රාජ්‍ය අමාත්‍යවරයා වේ.
හුදු අමාත්‍යවරයකු ලෙස පත්වීමට අමතරව, බැසිල් රාජපක්ෂ මහතා නිල වශයෙන් රජය හා එක්වීම අරබයා අවධානයට ගතයුතුව තිබෙන ඉතාම වැදගත් කාරණා කිහිපයක්ම තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2019 පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව, පළමුවෙන්ම මුදල් අමාත්‍යධූරය හිමිවූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාටය. ඔහු දැනට තෙවරක් රටේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. අන්තර්ජාතික ප්‍රජාවගේ පිළිගැනීම දිනාගෙන සිටින සන්ධාන රජයේ නායකයින් කිහිපදෙනා අතරින් නව අමාත්‍යවරයා ඉහළින්ම සිටින අතර එනිසාම කලාපීය වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් විදේශ සබඳතා අරබයා නව ප්‍රතිපත්තීන් සකස් වනු ඇති බව ඉතාම පැහැදිලිය.
සතුරන් මිතුරුකර ගැනීම
අතීතය සැළකිල්ලට ගැනීමේ දී බැසිල් රාජපක්ෂ මහතා නොයෙක් අවස්ථාවලදී ප්‍රධාන විදේශ රටවල් සමග ගනුදෙනු කර තිබෙන නමුත් ඒවා ප්‍රසිද්ධ නොවිණ. එසේ වුවත් දැන් ඒ කිසිවක් සැඟවීමේ වුවමනාවක් නැත. එනිසා ඉතාම නුදුරේ දී අන්තර්ජාතික ප්‍රජාවේ ශ්‍රී ලංකාව සතුරු යැයි සැළකුණු රටවල් කිහිපයක්ම අපගේ මිතුරන් බවට පත්වනු දැකගැනීමට ඉඩ ඇත. එවැනි තත්ත්වයක, අපට දැන් සිටින මිතුරන් කුමක් කරනු ඇති ද?
මෙවර, රටේ වාතාවරණය සැළකීමේ දී, මුදල් අමාත්‍යංශය රාජපක්ෂ පවුලේ බාල සහෝදරයාට භාරදීම වැදගත් කාරණයකි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවතින්නේ ඉතාම භයානක තත්ත්වයකය. රටේ විදේශ සංචිත බරපතල ලෙස පහත වැටී තිබෙන අතර ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 215 ක් දක්වා නොනිල වශයෙන් ඉහළ ගොස් තිබේ. කෝවිඩ්-19 වසංගත තත්ත්වය ආර්ථිකයට කර තිබෙන හදිය හමුවේ දහස් ගණනකට රැකියා අහිමිව ඇත.
කුඩා මෙන්ම විශාල ව්‍යාපාර බොහෝමයක් වසා දමා ඇත්තේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ දුෂ්කරතාවය නිසාය. ජීඑස්පී ප්ලස් බදු සහනය අහිමිවීමේ තර්ජනයක් පවතින නිසා රටේ ඇගලුම් කර්මාන්තකරුවෝ සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකය.
අගමැති අභිමතය
සංචාරකයින් නොපැමිණෙන නිසා රටේ සංචාරක කර්මාන්තයේ කිසිදු සංවර්ධනයක් නොමැත. ඉතාම ධෛර්ය සම්පන්න දේශපාලඥයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා, අදටත් ජනතාව අතර ජනප්‍රිය මෙන්ම අවස්ථාවට අනුව තීරණ ගැනීමේ මෙන්ම දේශපාලනයේ දී රාජපක්ෂ සහෝදරයන් හසුරුවාගැනීමේ පමණක් නොව විපක්ෂය ද, හසුරුවා ගැනීමේ සමතෙකි.
එහිලා, මෙවර සිය දේශපාලන ගමනේ තමන්ට පැවරී තිබූ වගකීම් බොහෝමයක් අන් අය අතර බෙදා දීමට මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. එසේවුවත් තීන්දු තීරණ ගැනීමේ දී සිය අභිමතාර්ථය අනුව කටයුතු සිදුවිය යුතු බව ඔහු තවමත් අවධාරණය කරන්නේය යන කාරණය ගෙවුණු බ්‍රහස්පතින්දා රාත්‍රියේ වූ සිදුවීමකින් පැහැදිලි වුනි.
මුදල් අමාත්‍යංශ විෂය පථයට කර තිබූ වෙනස්කම් අනුව බැසිල් රාජපක්ෂ මහතාට පවරා දී, තිබූ බුද්ධ සාසන අමාත්‍යංශය, සංස්කෘතික අරමුදල සහ පුනරුද අරමුදල, ගැසට් නිවේදනයක් හරහා නැවතත් තමන් යටතට ගැනීමට ඔහු පියවර ගත්තේය. ආර්ථික කටයුතු සම්බන්ධ අමාත්‍යවරයා ලෙස ද, සැළසුම් ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව එම අමාත්‍යංශය යටතට පත්කර තිබේ.
යන්තම් එක් රැයක ඇවෑමෙන්, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ළගට සිටින ඊළග වැදගත්ම පුද්ගලයා බවට බැසිල් රාජපක්ෂ මහතා පත්ව සිටී. ගෙවුණු බ්‍රහස්පතින්දා දිනය වන තෙක් ඔහුගේ රාජකාරි සහ වගකීම්, ආර්ථිකය නඟා සිටුවීම සම්බන්ධයෙන් වූ ජනපති කාර්යසාධක බළකාගේ ප්‍රධානියාගේ තනතුරට සීමාවී තිබිණ.
දේශපාලනමය වශයෙන් ගත්විට බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වේ. ඊට අදාළ කටයුතුවල ඔහු බොහෝ විට නියැලුනේ බත්තරමුල්ලේ පිහිටි කාර්යාලයක සිටය. බැසිල් රාජපක්ෂ මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණියේ සිය දේශපාලන දිවියේ තෙවැනි වතාවටය. මෙවර ඔහුගේ ධූරය රටේ මුදල් අමාත්‍යවරයා ලෙස වෙනස්ව තිබිණ. එම ධූරය යටතට ව්‍යවස්ථාපිත ආයතන 27 ක් සහ රාජ්‍ය සංස්ථා පත්කර තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිව්රුම්දුන් වහාම වාගේ අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට නියමිතව තිබුණේය යන්න බොහෝ ශ්‍රී ලංකා පුරවැසියන් නොදන්නා කාරණයකි. නමුත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත්ව තිබෙන නිසා එම කටයුත්ත තවත් සතියකින්- දෙකකින් කල්දැමීමට තීරණයව ඇත. මෙම වෙනසේ දී අඩුම තරමින් අමාත්‍යවරුන් දෙදෙනෙකුට සිය තනතුරු අහිමිවීමේ ඉඩ පවතින බව සැළය.
ගෙවුණු සතියේ වාර්තා වූ දේශපාලනමය වශයෙන් වැදගත් සිදුවීම් රැසක පසුබිම ඇත්තේ මෙතැනය.
ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර