බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය අතරේ හටගත් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය දිනෙන් දින ඔඩුදුවන බව විදෙස් මාධ්‍ය පවසයි. ඊශ්‍රායල රජය, නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සල් ජනරාල් කාර්යාලය වසා දැමීමට උත්සාහ ගැනීම, මෙම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයේ නවතම තත්ත්වයයි.

නැගෙනහිර ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සල් ජනරාල් කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායලය කටයුතු කළහොත්, එම කොන්සල් කාර්යාලයෙන් පිටවී යන සෑම බ්‍රිතාන්‍ය රාජ්‍ය නියෝජිතයකු වෙනුවෙන්, බ්‍රිතාන්‍යයේ සිටින ඊශ්‍රායල රාජ්‍යතාන්ත්‍රිකයකු නෙරපා දමන බව බ්‍රිතාන්‍ය රජය අවධාරණය කර ඇත.

බ්‍රිතාන්‍ය රජය, එ​ම තීරණය ක්‍රියාත්මක කළහොත්, බ්‍රිතාන්‍යයේ සිටින ඊශ්‍රායල රාජ්‍යතාන්ත්‍රිකයන් 27 දෙනකුට පමණ බ්‍රිතාන්‍යයෙන් පිටවී යෑමට සිදුවනු ඇතැයි ද මාධ්‍ය වාර්තා ​පෙන්වා දෙයි.

යුදෙව් ඊශ්‍රායලය බිහිවීමෙන් පසු, මහා බ්‍රිතාන්‍ය සහ සහ ඊශ්‍රායල අතර හටගත් දරුණුම රාජ්‍යතාන්ත්‍රික අර්බුදය මෙය යැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය අතරේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වීමට හේතුව, බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස මුල්කොට ගනිමිනි. පලස්තීනුවන් වාසය කරන්නේ ගාසා තීරයේ සහ මෙම බටහිර ඉවුරේය. ගාසා තීරය හමාස් පාලනය යටතේ පවතින අතර, බටහිර ඉවුර පවතින්නේ පලස්තීන පාලන අධිකාරිය යටතේය.

ඊශ්‍රායල රජය, බටහිර ඉවුරේ පලස්තීනුවන්ගේ භූමියේ අනවසරයෙන් යුදෙව් ජනාවාස ඉදි කරයි. ඒ, ජාත්‍යන්තරයේ දැඩි විරෝධය මැදය.

මහා බ්‍රිතාන්‍යය ද එම නීති විරෝධී ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළ කර ඇත. එවැනි ඉදි කිරීම්වලට බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සමාගම් දායක වී සිටින අතර, එම සමාගම්වලට බ්‍රිතාන්‍ය රජය සම්බාධක පැනැවීමක් ද කර ඇත. බ්‍රිතාන්‍ය රජය ගත් මෙම තීරණය ඊශ්‍රායලයේ විරෝධයට හේතුවක් විය. ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය නිර්මාණය විය.