කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාවක දේශනයක් පවත්වා ඉන් පිටව යද්දී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට දැඩි විරෝධයක් එල්ල කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ඩඩ්ලි සිරිසේන මහතා දේශනය නිමකර විශ්වවිද්‍යාල භූමියෙන් පිටව යද්දී ඔහුගේ මෝටර් රථය නතර කළ සිසුන් පිරිසක් ඔහුට බැණ වදිමින් විරෝධය දැක්වූ බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. ඩඩ්ලි සිරිසේන මහතා විශ්වවිද්‍යාලයට ගෙන්වීමට නුසුදුසු බවත් ඔහුට දේශන පැවැත්වීමට සුදුසුකම් නැති බවත් පවසමින් සිසුන් විරෝධය පළකළ බවත් අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ආරාධිත දේශනයක් පැවැත්වීම සඳහා ඩඩ්ලි සිරිසේන මහතා කැඳවූ බවය. මහජන සම්බන්ධතා හා මහජන කළමනාකරණය පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසුන් සඳහා ව්‍යවසායකයකු ලෙස ඔහු පැය දෙකක පමණ දේශනයක් පැවැත් වූ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයකි. ඩඩ්ලි සිරිසේන මහතා යනු මෙරට සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකි. විශේෂයෙන්ම බිංදුවෙන් පටන් ගෙන ව්‍යාපාරික ලෝකයේ ඉහළටම පැමිණියෙකි. ඒ මහතා සම්බන්ධයෙන් විවිධ විවේචන, මති මතාන්තර තිබිය හැකිය. එහෙත් ඒවා සාකච්ඡා කළ යුත්තේ ඒ සඳහා වෙන් වූ වේදිකාවකය. එහෙත් බිංදුවෙන් පටන් ගෙන ව්‍යාපාරික ලෝකයේ ඉහළටම පැමිණියෙකු ලෙස ඒ මහතාගෙන් අංකුර ව්‍යවසායකයන්ට විද්‍යාර්ථින්ට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ. එම අත්දැකීම්, දැනුම බෙදාහදා ගැනීමට ඒ මහතා නිර්ලෝභි වී තිබේ. එය පැසසුම් කටයුතුය. විද්‍යාර්ථින් සඳහා දේශනයක් පැවැත්වීමට ආරාධනා කළ විට ඔහු එම ආරාධනාව පිළිගෙන පැමිණ දේශනය පැවැත්වීමෙන් ඒ බව පැහැදිලිය.
ඩඩ්ලි සිරිසේන මහතා කැලණිය විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ බලහත්කාරයෙන් නොවේ. ඔහු පැමිණෙන්නේ අදාළ අධ්‍යයනාංශයෙන් ලැබුණු ආරාධනාවකට අනුවය. ඒ මහතා විශ්විද්‍යාලයට ගෙන්වීම නුසුදුසුනම් ඔහුට දේශන පැවැත්වීමට සුදුසුකම් නොමැතිනම් සරසවි ශිෂ්‍යයන් විරෝධය පළ කළ යුත්තේ ඒ මහතාට නොව ඒ මහතාට ආරාධනා කළ බලධාරීන්ටය. තමන්ට ලැබුණු ආරාධනාවකට පැමිණි සම්පත්දායකයකුට මෙසේ නිගරු කිරීම ශිෂ්ට සම්පන්න නැත. එමෙන්ම යුක්ති සහගත ද නැත.
විශ්වවිද්‍යාලයක් හැඳින්වෙන්නේ දහසක් මල් පිපෙන දහසක් මත ගැටෙන තාර්කිකත්වයේ දෙවොලක් ලෙසය. මත අතර ගැටුමෙන් නිපදෙන තාර්කිකත්වය තුළ ඥානය වර්ධනය වේ. එහෙයින් විශ්වවිද්‍යාල භූමිය තුළ මතවාදි අරගලයට ඉතා නිදහස් අවකාශයක් තිබිය යුතුය. ‘‘ඔබ පවසන දේ සමග මම එකඟ නොවෙමි. එතේ ඔබේ මතය ප්‍රකාශ කිරීමට ඔබට තිබෙන අයිතියට මම ගරු කරමි.’’ යන්න දියුණු ශිෂ්ට සම්පන්න ජන සමාජයන්හි ඉහළම පිළිගැනුමකට ලක් වූවකි.
ඇතැම් විශ්වවිද්‍යාල යුද සමයේ තිබු මුදා නොගත් ප්‍රදේශ සිහිකරවන්නකි. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් මාධ්‍යයට බොහෝ විට ප්‍රකාශ කර තිබෙන්නේ අන්තවාදී මත දරන සුළුතරයක් වූ ශිෂ්‍ය කණ්ඩායමක් බහුතර ශිෂ්‍ය ප්‍රජාව යටපත් කරගෙන සිටින බවය. ඒ මැර බලයෙන් බවද එම ආචාර්ය මහාචාර්යවරු පෙන්වා දෙති. මෙම තත්වය විශ්වවිද්‍යාල පද්ධතියට කිසිසේත්ම හිතකර නැත.
සිද්ධිය සම්බන්ධයෙන් අප පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේදී තමාට සිසුන් කීප දෙනකුගේ සුළු විරෝධයක් එල්ල වූ නමුත් ඉතා සුළු වේලාවකින් එය නිම වූ බවය. එමෙන්ම ජන සන්නිවේදන අධ්‍යයන අංශය මගින් ලද ආරාධනාවක් අනුව එහි ගොස් සිසුන්ට පැය දෙකක පමණ කාලයක් දේශනයක් පැවැත් වූ අතර එය සාර්ථක වූ බව තමාගේ අදහස බවය. සිසුන් සුළු පිරිසකගේ මෙම විරෝධය තමන් ගණන් නොගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
විරෝධයක් දැක්විය යුත්තේ කුමට ද? එය දැක්විය යුත්තේ කෙසේද? යන්න සම්බන්ධයෙන් සටන්කාමී ඉතිහාසයක් සහිත ශිෂ්‍ය ව්‍යාපාරයෙන් නූතන ශිෂ්‍යයා තව බොහෝ දේ උගත ගත යුතු බව අපි අවධාරණය කරමු.
(***)