දේශපාලනයේ තුන්කල් දක්නා රනිල්


එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය අදට (24) යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
 
ශ්‍රී ලංකාවේ පස් වරක් අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා මෙරට දේශපාලන වංශ කථාවේ ලංකාවේ මෙතෙක් බිහි වූ ළාබාල අගමැතිවරයා වන්නේය. ඔහු අගමැති වශයෙන් ප්‍රථමයෙන් දිවුරුම් දෙන විට 44 වැනි වියේ පසු විය. වික්‍රමසිංහවරුන්ගේ දේශපාලනය ඇරඹෙන්නේ දකුණු සිරිලක ගාලු‍ පුරවරයෙනි. රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජන්ම ලාබය ලැබුවද ඔහුගේ පිය පරපුර ගාලු‍ දිසාවේ බද්දේගම නම් සුන්දර ප්‍රදේශයෙන් කොළඹ, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්කය දක්වා ව්‍යාප්ත වූ ශක්තිමත් ආර්ථිකයක් තිබූ පවුල් පරම්පරාවකි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පිය පරපුරේ මුල්ම දේශපාලන පුරුක වන්නේ සී.එල්. වික්‍රමසිංහ මහතාය. ලංකා නිදහස් සටනට ජීවය දුන් ලංකා ජාතික සංගමය බිහි වීමටත් පෙර දකුණු පළාත මුල් කරගෙන ගාල්ලෙන් ඇරැඹි දේශපාලන සංවිධානය වනුයේ ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා විසින් පිහිටුවන ලද ගාලු‍ ජාතික සංගමයයි. කන්නන්ගර මහතා මෙම සංගමය පිහිටුවන විට ඔහු සමග ක්‍රියා කළ දෙවෙනියා සී.එල්. වික්‍රමසිංහ මහතාය. 1923 වසරේ කන්නන්ගර මහතා ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරයා වූ විට ගාලු‍ ජාතික සංගමයේ ඔහු දැරූ ලේකම් පදවිය හිමි වූයේ සී.එල්. වික්‍රමසිංහ මහතාටය. සී.එල්. වික්‍රමසිංහ මහතා යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන්ගේ පියාය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මව්පස දේශපාලනය ඇරැඹෙන්නේ සබරගමුව පළාතේ කෑගල්ලෙනි. රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑණියන් වූ නාලනී විජේවර්ධන මාතාවගේ මෑණියන්ගේ පියා වූ ජෝන් හෙන්රි මීදෙණිය මහතා ශ්‍රී වික්‍රමසිංහ රජුගේ දිසාවේ තනතුරක් හෙබවූ හුම්බැද්ද දිසාවගේ මුණුබුරෙක් විය. ජෝන් හෙන්රි මීදෙණිය දිසාව 1921 දී ව්‍යවස්ථා දායක සභාවට නිල නොලත් මන්ත්‍රීවරයකු ලෙස පත්ව ආවේ ආණ්ඩුකාරවරයා විසින් යෝජනා කිරීමෙනි. ඔහු උඩරට සිංහල ජනතාව නියෝජනය කරන ප්‍රථම මන්ත්‍රීවරයා ලෙසද පත් වූ අතර, 1931 දක්වා දේශපාලනයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රුවන්වැල්ල කොට්ඨාසයේ මන්ත්‍රීවරයා ලෙස නිතරගයෙන් පත් වී මාස කිහිපයකින් අභාවප්‍රාප්ත විය. මෙම පුරප්පාඩුව පිරවීම සඳහා පැවති අතුරු මැතිවරණයෙන් ජයගෙන මැති සභා ඉතිහාසයේ ප්‍රථම කාන්තා නියෝජනය සිදු කළේ මීදෙණිය මන්ත්‍රීවරයාගේ දියණිය වූ ඇඩ්ලින් මොලමුරේ මැතිණියයි.

රනිල් වික්‍රමසිංහ යනු මෙවන් දේශපාලන පවුල් පරම්පරාවක් තුළින් මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

මෙම දේශපාලන පරපුරු දෙක එක්වූයේ නාලනී විජේවර්ධන මෙනවිය හා අතිනත ගත් එස්මන්ඩ් වික්‍රමසිංහ දෙපළගේ සුසංයෝගයෙනි. මෙම මවුපියන්ට දාව මීට වසර 72 කට පෙර, 1949 මාර්තු මස 24 වැනිදා මෙලොව එළිය දුටු රනිල් වික්‍රමසිංහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පාසල් අධ්‍යාපනය නිමා කර කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති පීඨයට ඇතුළත්ව නීතිය හදාරමින් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම්වල ද නායකයකු ලෙස ක්‍රියා කළේය. ඒ අනුව නීති පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති පදවියත්, කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ උප සභාපති පදවියත් රනිල් එකවර දැරීය.
නීති අධ්‍යාපනය අවසන් කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු වශයෙන් දිවුරුම් දී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සොහොයුරු රාජ නීතිඥ එච්.ඩබ්. ජයවර්ධන මහතා යටතේ එම ක්ෂේත්‍රයේ පුහුණුව ලැබුවේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු පක්ෂයේ නායකත්වය ගත් ජේ.ආර්. ජයවර්ධන මහතා පක්ෂය ඉදිරියට ගෙන ගියේ පක්ෂයේ දියුණුවට නව මං විවෘත කරමිනි. පක්ෂය නගා සිටුවීමට එතුමන් නව තරුණ ජවය එක් කරගත්තේය. විවිධ හැකියාවන් තිබෙන ඒ ඒ අංශවල නිපුණයන් පක්ෂයට එකතුකරමින් පක්ෂය ජයග්‍රහණ මාවතට ගෙන ආවේ සියලු‍ බාධක ජයගනිමිනි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අභිනවයෙන් ඇරැඹුණු බියගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුර පැවරුණේ නීතිඥයකු වූ තරුණ රනිල් වික්‍රමසිංහ මහතාටය.
1977 වසරේ ජූලි මස පැවැත් වූ මහ මැතිවරණයෙන් රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව ජේ.ආර්. ජයවර්ධන නව රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් වූයේය. 1978 වසරේ දී යෞවන කටයුතු හා රැකි රක්ෂා අමාත්‍ය පදවිය රනිල්ට හිමි විය.

කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමති පදවිය, අධ්‍යාපන ඇමති පදවිය රනිල් දැරූ නව අමාත්‍ය පදවියන්ය. ඔහු විද්‍යාපීඨ ඇතිකර පක්ෂ බේදයෙන් තොරව සුදුසුකම් මත ගුරු පත්වීම් ලබා දී පුහුණු කර රටට නව ගුරු පරපුරක් හඳුන්වා දුන්නේය.

මෙරට දේශපාලනයට නව උගත් පරපුරක් බිහිකළ දේශපාලකයන් අතර ප්‍රමුඛයා වන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. දෙවැන්නා රනිල් වික්‍රමසිංහය. ජේ.ආර්. යටතේ සිටි ඔහු බිහි කළ නව දේශපාලන පරපුර කිසිවිටෙක නායකයා ඉක්මවා යන්නට වෙර දැරුවේ නැත. ඔවුන් අතර තරගය තිබුණේ දෙවැන්නා වීමටය. එහෙත් නායකයා වීමට යමෙක් පොර කෑවා නම් ජේ.ආර්. ඒ අය දේශපාලන පොරපිටියෙන් අතු ගා දැම්මේය.

ඇතැම් අය රනිල්ට චෝදනා කරනුයේ පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවී රැඳී සිටිනවා යනුවෙනි. එහෙත් ඔවුන් අමතක කරන ඉතිහාසයක් ඇත. 1935 ඇරැඹුණු ලංකා සම සමාජ පක්ෂයේ නායකයා වූ එන්.එම්. පෙරේරා 1979 අගෝස්තු දක්වා මිය යනතුරු වසර 44ක් සම සමාජ නායකයාය. සම සමාජයෙන් බිඳී ගොස් 40 දශකයේ බිහි වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ 1981 මියයනතුරු වසර 40 ක් පමණ කොමියුනිස්ට් පක්ෂයේ නායකයාය. බණ්ඩාරනායක මහතාගේ මරණයෙන් පසු පක්ෂයේ නායකයා වූ. සී.පී. ද සිල්වාට නායකත්වයේ සිටින්නට ඉඩ දුන්නේ මාස 6 කි. 1960 ජූලි මස සිට 2000 වසරේ මිය යනතුරු වසර 40 ක් ශ්‍රී.ල.නි. පක්ෂයේ නායිකාව සිරිමාවෝය. පිලිප්ගෙන් පසු මහජන එක්සත් පෙරමුණේ නායකයා වසර 50 ක් පමණ දිනේෂ්ය. වසර 90ක් වන සම්බන්ධන් දෙමළ ජාතික සංවිධානයේ නායකයාය. රනිල් නායකයා වූයේ 1994 සිටය. ඒ මේ වන විට වසර 26 ක කාලයකි.

රනිල් පසුගිය කාලයේ තමාට හිමි ජනපතිවරණ අපේක්ෂකත්වය පිරිනැමුවේය. විපක්ෂ නායක ධුරය පිරිනැමුවේය. අගමැති අපේක්ෂකත්වය පිරිනැමුවේය. බලය ඉල්ලන්නට බොහෝ දෙනා දනිති. එහෙත් ඔවුන් ඉල්ලන්නේ රනිල්ගේ හිසය. රනිල් සිරිසඟබෝ කෙනකු නොවන නිසා එසේ ඉල්ලන හිස ලබා ගැනීම අපහසු වී ඇත.

ජනාධිපතිවරණයට තරග වැදී පරාජය වුවද එයින් වසරක් ගෙවෙන්නට පෙර රනිල් චන්ද්‍රිකා මැතිණියගේ රජය ගෙදර යවා නව පෙරළියක් සිදු කළේ වචන හරඹ තුළින් වේදිකා දෙදරවා නොව බුද්ධියේ, ප්‍රඥාවේ, ශික්ෂණයේ අනුහසිනි. එම රජය අතරමගදී විසුරුවා හැරියේ රනිල් වික්‍රමසිංහ තමාගේ පාලන කාලය සම්පූර්ණ කළහොත් ඊළඟ මැතිවරණයේදී ඔහු 5/6 ත් වඩා වැඩි බලයක් හිමි කරගන්නා බව ඔවුන්ට පෙනී ගිය නිසාය. 2005 ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් වූයේ ජයග්‍රහණය අතේ තබාගෙනය. රනිල් ඉන් පැරදුනේ ඡන්ද සොච්චමකිනි. උතුරු නැගෙනහිර නොව කොළඹ ඡන්ද හරියට වැටුණා නම් රටේ ජනපති රනිල්ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ඇතැම් දේශපාලකයන් සිදු කළ කුමන්ත්‍රණ නිසා මෙරට දෙමළ ජාතිකයන්ගේ ඡන්ද රනිල්ට නොලැබී ගියේය. එහෙත් තමා පැරදුණත් මෙරට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පැරදවීමට රනිල් අගමැති ධුරය දැරූ සුළු කාලය තුළ අවශ්‍ය සියල්ල සිදු කළේ සාම ගිවිසුම හරහාය. ඔහු ප්‍රභාකරන්ගෙන් කරුණාඅම්මාන්, පිල්ලෙයාන් ගලවා දැම්මේය. මුදුන් මුල දිරූ ගසක් මියයන්නා සේ එල්.ටී.ටී.ය දිරා යන්නට විය. ඒ දිරාගිය ගස පෙරළා දමන්නට බලයට පැමිණි රජයට හැකි නොවුණා නම් පුදුමයකි.

2005 වසරේදී බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය 2015 දක්වා ජය පැන් බිව්වේය. 2017 පැවතිය යුතු ජනාධිපතිවරණය 2015ට ආවේය. මා සමග තරඟ කරන්නට එන අපේක්ෂකයා කවුරුද යනුවෙන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ඇසුවේ ඔච්චමටය. ජනාධිපතිවරණයට දින නියම විය. විපක්ෂයට අපේක්ෂකයෙක් නැති සේය. සියල්ල සංවිධානය වූයේ වේදිකාව මත නොව වේදිකාව යටය. ජනාධිපතිවරයා ඇතුළු බල පිරිස සිටියේ වේදිකාව උඩය. රනිල් ජනාධිපතිවරයාගේ ළඟම සිටි පක්ෂයේ ලේකම්වරයා රහසේම වේදිකාවෙන් බස්සවාගෙන තිබුණි. ජනතාව තුෂ්නිම්භූත කරමින් තරගයට පැමිණියේ ඔහුගේම ළඟ සිටි දෙවැන්නාය. රනිල් චන්ද්‍රිකා රජය 2000 පෙරලු‍වා මෙන් 2015 මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැව්වේය.

ඔහු එකවරක් නොව කිහිපවාරයක්ම රනිල්ට පුළුවන් බව රටට පසක් කළේය.
එදා රනිල්ට බෑ කිව් අය රනිල්ට පුළුවන් කියා ඔහු පසු පසින් වාඩි වූයේය. විපක්ෂයෙන් ගෙන ආ රනිල්ට බෑ කියන කොරෝනාව වැලඳුනේ අපේ පක්ෂයේ අයටය.

ජේ.ආර්. මෙරට ජනාධිපති වූයේ වයස අවුරුදු 72 දීය. රනිල්ට උදාවනුයේ එදා ජයග්‍රාහී ජේ.ආර්.ගේ වයසයි. ජේ.ආර්. සෙවණේ දේශපාලනයට පැමිණි රනිල්ට ඒ ශූර බුද්ධිය නැතුවා නොවේ. ජේ.ආර්. ඉවසුවේය. බුදු දහමින් හික්මුණේය. ජේ.ආර්.ට ලොකු කථිකත්වයක් නොතිබුණි. රනිල්ටත් එසේය. දේශපාලකයෙකුට තිබිය යුත්තේ ළඟට වඩා දුර බලනා නුවණකි. රනිල්ට එය ඕනෑවටත් වඩා ඇත. එහෙත් ඔහු ජනප්‍රිය ඉන්ද්‍රජාලිකයකු මෙන් නොවේ. ඔහුට විසිල් දේශපාලනයක් හෝ බල්ටි දේශපාලනයක් නැත. රනිල් දේශපාලකයකුට වඩා රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. දේශපාලකයා බලන්නේ ඊළඟ ඡන්දය දිනන හැටිය. රාජ්‍ය තාන්ත්‍රිකයා බලන්නේ ඊළඟ පරම්පරාව දිනවන හැටිය. ඊළඟ පරම්පරාව දිනවිය හැකි දැක්මක් ඇති දේශපාලකයකු රටේ නැති තරම්ය. දේශපාලනයේ එවැන්නකු සිටිනවා නම් ඒ රනිල්ය. එවන් අයෙකු කිසිම පක්ෂයක පේන තෙක්මානයේ නැති බව අද බොහෝ දෙනා පවසන කරුණකි.

වෙන් වුණ, බිඳුණු, හැප්පුණු සියලු දෙනාම බේද දුරලා යළි එක්විය යුතුව පවතී. ඒ කිසිවකුට ඔටුනු පැලඳවීමට නොව රටට ජාතියට ඔටුනු පැලඳවීමටය. ජේ.ආර්.ට වයස 72 වන විට රට වැටී තිබුණු දුර්භික්ෂ සමය රනිල්ට 72 පිරෙන විට එළඹෙමින් තිබෙන ආකාර පුදුමසහගතය.

මතු වී තිබෙන අඳුරු දසාවත් මතුවෙමින් පවතින මහ අනතුරුත් නිමාකොට, නව ආලෝකයක් ගෙන දෙන්නට පුළුවන් නායකයෙක් වේ නම් ඒ රනිල්ය. සමස්ත දේශයම බේරාගෙන යළිත් සංවර්ධන යුගයකට පා ඔසවන්නට රනිල් වැනි දූරදර්ශී නායකයකු අවශ්‍යව ඇත. එයට අවස්ථාව උදාවෙමින් පවතී. ජනතාවෙනි මේ ඔබට කාලයයි.

නායකතුමනි, ඔබට පතනෙමි චිරං ජීවතු!


(***)
එක්සත් ජාතික පක්ෂ සභාපති,
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන හිටපු අමාත්‍ය.
වජිර අබේවර්ධන