නමක් දිනාගත් ක්‍රිකට්වල ගෞරවය දිගටම රකිමු


ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගන්නා බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඉකුත්දා නිවේදනය කළේය. තහනම පැනවූ දිනයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය පිළිබඳව ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මෙම ප්‍රවෘත්තිය ක්‍රීඩාලෝලීන් තුළ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන් තුළ බලවත් ප්‍රීතියක් නිර්මාණය කිරීමට හේතු වන්නකි. මන්දයත් දුගී අප සතු පරම ධනය මෙම ක්‍රීඩාව වන හෙයිනි. ලෝක සිතියමේ අබැටක් තරමේ කුඩා රටක් වුවද දේශ දේශාන්තර දිග්විජය කරමින් ප්‍රාතිහාර්ය පෑමට අප රට සමත් වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආනුභාවයෙනි. 1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට අර්ජුන රණතුංග සහ පිරිවර සමත්වීමත් සමග මෙරට ගම් නියම්ගම් නගර ජනපද සිසාරා ගංවතුරක් මෙන් ක්‍රිකට් ක්‍රීඩාව පැතිර ගියේය. අදටත් මෙරට ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්ය. සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, ටී.එම්. දිල්ෂාන්, ලසිත් මාලිංග වැනි අති විශිෂ්ට ක්‍රීඩකයෝ ලොව ඉදිරිපිට රට බැබලූහ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මේ මොහොත වනවිටත් ශ්‍රී ලංකා නාමය රනින් ලියමින් සිටින්නීය. ජාත්‍යන්තර ක්‍රිකට් සභාව 2023 වසරේ අයි.සී.සී. ක්‍රීඩිකාව ලෙස සම්මානයට බඳුන් කරනු ලැබුවේ චමරි අතපත්තු ය. එමෙන්ම 2023 අයි.සී.සී. එක්දින කණ්ඩායමේ නායිකාව ලෙස ද චමරි අතපත්තු නම් කළේය. මෙය වූ කලී අප රටට ඉමහත් අභිමානයකි. ගෞරවයකි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් අප රටට කොතෙක් දුර යා හැකි දැයි පෙන්වන කැඩපතකි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව අප රටට එරෙහිව වාරණයක් ගෙන ආවේ ඇයිද යන්න මේ මොහොතේ යළිත් විමසා බැලිය යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සාමාජිකයකු වශයෙන් එහි වගකීම සහ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව මෙන්ම එහි පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතළ ලෙස උල්ලංඝණය කර ඇති බව සැලකිල්ලට ගනිමින් පසුගිය නොවැම්බර් මාසයේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව අප රටට එරෙහිව වාරණය දැම්මේය.

ක්‍රිකට් යනු ඩොලර් උල්පතක් බව ඒකාන්ත සත්‍යයකි. එහෙයින් විවිධ වර්ගවලට අයත් බඩජාරීහු ක්‍රිකට් පරිපාලනයට බැල්ම හෙලති. 1996 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයත් සමග මෙම තත්වය ප්‍රචණ්ඩ ප්‍රවාහයක් බවට පත් විය. දේශපාලනඥයෝ ද තමන්ගේ රැස් වළල්ල වෙනුවෙන් ක්‍රිකට් පරිපාලනයට අත පොවති. එබඳු ‘තුට්ටු දෙකේ’ වැඩ අන්තර්ජාතික ක්‍රිකට් සභාව නොඉවසන බව මෙම දේශපාලනඥයෝ නොතැකූහ. අවසානයේදී සිදු වූයේ අප රටට ක්‍රිකට් වාරණයක් පැනවීමය.

යොවුන් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාවේය. ක්‍රිකට් තහනම නිසා එම තරගාවලිය දකුණු අප්‍රිකාවට ගියේය. එම ලෝක කුසලාන තරගාවලිය අප රටේ පැවැත්වීමට හැකි වූයේ නම් ඩොලර් අහේනියෙන් පෙළෙන මේ මොහොතට එය කදිම පිළිතුරක් විය හැකිව තිබිණි. එහෙත් එම අනගිතම අවස්ථාව අප රටට අහිමි විය.

ක්‍රිකට් ක්‍රීඩාව සමග ‘‘සෙල්ලම්’’ කරන ඒ බලාපොරොත්තුවෙන් පසුවන පිරිස් තේරුම් ගත යුතුව තිබෙන්නේ හන්දිවල චණ්ඩි මෙන් හැසිරෙමින් ජාත්‍යන්තරය සමග කටයුතු කළ නොහැකි බවය. එමෙන්ම ක්‍රිකට් පරිපාලනයේ කවුරු සිටියද එය අදූෂිතව හා අව්‍යාජව මෙන්ම විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට ඔවුන් වගබලාගත යුතුය. නොඑසේනම් අලාභය හා නින්දාව රටටය.

(***)